History

Monday, 15 May 2017

ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව  


ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව



නීතිඥයන් අතර යම් කරුණක් පිළිබඳ එකඟතාවක් නැහැ. ඔවුන් අතර විවිධ මත තිබෙනවා. උසාවි නීතිඥයන්ගෙන් පිරී පවතින්නේත් ප්‍රධාන වශයෙන් ම එකඟතාවක් නැති නිසා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයේදීත් එසේමයි. ඒ සම්බන්ධයෙන් මා නීතිඥයන් කිහිප දෙනකු විමසුවා. ඔවුන් අතර පොදු මතයක් නැහැ. මා දේශපාලනඥයන් සමග නම් ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් අතර විවිධ මත පමණක් නොව විවිධ බලාපොරාත්තුත් තිබෙන බව ඔවුන් දන්නා හඳුනන අය සමග කළ කතා බහෙන් පෙනී යනවා. දේශපාලනඥයන් අති විශාල බහුතරය ප්‍රශ්න දෙස බලන්නේ තමන්ගේ හා තම දරුවන්ගේ (පවුලේ) පැත්තෙන් මිස රටේ පැත්තෙන් නො වෙයි. රට විනාශයට අත වනන්නේත් එබැවිනුයි.




ඇතැම් නීතිඥයන් කියන්නේ මන්ත්‍රී ධුරය අහෝසි විය හැකි නමුත් ලැයිස්තුව ප්‍රතික්‍ෂෙප නොවනු ඇති බවයි. ඇතැමුන්ට අනුව ලැයිස්තුවත් ප්‍රතික්‍ෂෙප වනු ඇති. එහි දී ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර එ ජා පෙරමුණ අතර හා ජ වි පෙරමුණ අතර බෙදී යනු ඇතැයි කියන කණ්ඩායමක් ඉන්නවා. තවත් කණ්ඩායමකට අනුව අලුතෙන් මැතිවරණයක් පවත්වන්න වේවි. එයට සංධානයට ඉදිරිපත් විය හැකි ද යන්න ගැනත් වෙනස් මත තිබෙනවා.



මේ අතර ලැයිස්තුව ම අහෝසි කරනු ඇතැයි බලාපොරොත්තු වන දේශපාලනඥයන් ඉන්නවා. ඔවුන් සිතන්නේ එමගින් මෛත්‍රිපාල මහින්ද කණ්ඩායම් එකතුවකට මග පෑදී ආණ්ඩුව වෙනස් වේවි කියා හිතාගෙන!  එවිටත් ඇත්තේ මන්ත්‍රීන් 95 දෙනකු පමණක් බවත් ආණ්ඩුවක් පිහිටුවීමට 113 දෙනකුවත් අවශ්‍ය බවත් ඔවුන්ට අමතක වෙනවා. ලැයිස්තුව අහෝසි කළහොත් මන්ත්‍රී ධුර බෙදීමේ දී එ ජා පෙරමුණට මන්ත්‍රීවරුන් 114 දෙනකු හිමි වන බව ඔවුන් අමතක කරනවා. එසේ කළහොත් ඊනියා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. කල්ගත වුවත් දෝෂාභියෝගවලට වුවත් ඉන් ඉඩ ලැබෙනවා. සංධානයේ 95 දෙනාගෙන් ඇතැම් අයත් එ ජා පෙරමුණේ බින්න බහීවි.



ගීතාට විරුද්ධව පැවරූ නඩුවේ සඳහන් වන්නේ කුමක් ද යන්නවත් අභියාචනාධිකරණයේ තීන්දුව කුමක් ද යන්නවත් නිශ්චිත ව දැන ගැනීමට නොහැකි වුණා. මා දන්නේ ජනමාධ්‍යවල සඳහන් වූ තොරතුරු පමණයි. මා කලින් ලිපිය ලිවුවේත් එවිට මා සතු වූ තොරතුරු අනුවයි. ඊට පසු එකතු වූ තොරතුරු අනුව පසුව ලියම් යනුවෙන් කොටසක් එකතු කළා. තොරතුරු ගලා එන්නේ හෙමින්. අනෙක් අතට තොරතුරුවල සත්‍යතාව ගැනත් සහතික වන්න බැහැ. ජනමාධ්‍යවල, විශේෂයෙන් ම රූපවාහිනී නාළිකාවල පඬියන් තමන් සෑමදෙයක් ම දන්න බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් ඒ එසේ නොවන බව ඉතා පැහැදිලියි. 



ගාල්ල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුවට 2015 දී විරෝධතාවක් මතු වී තිබෙනවා. තේරීම් භාර නිලධාරිතැන (මැතිවරණ කොමසාරිස්ගේ නියෝජිතයා)  ඒ විරෝධතාව ප්‍රතික්‍ෂෙප කර ඇති බවයි කියැවෙන්නේ. ඒ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් ද්විත්ව පුරවැසිබව ගැන කියැවෙන්නෙ නැති නිසා කියලයි කියන්නෙ. එහෙත් විරෝධතා මතු කළ අය තේරීම් භාර නිලධාරියාට විරුද්ධව අධිකරණයට ගොස් නැහැ. මැතිවරණ කොමසාරිස් සංධාන ලැයිස්තුවේ අපේක්‍ෂකයන්ට අංක දීමටත් කටයුතු කර තිබෙනවා.



ඇතැම් නීතිඥයන් පවසන්නේ මැතිවරණයට ඉදිරිපත්වන අයකුගේ සුදුසු නුසුදුසු බව තීන්දු කෙරෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව නොව ව්‍යවස්ථාව අනුව බවයි. 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ඇත්තේ සුදුසු නුසුදුසු බව ව්‍යවස්ථාවේ 90 වැනි වගන්තිය අනුව තීරණය වන බවයි. 90 වැනි වගන්තියෙන් කියැවෙන්නේ 91 වැනි වගන්තිය අනුව නුසුදුස්සන් නොවන අයට මැතිවරණ තරග කළ හැකි බවයි. එැවින් ව්‍යවස්ථාව සංශෝධනය වීමෙන් පසු නුසුදුසුකම පිළිබඳ අදාළ නිර්ණායක දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කියැවෙන බව ඔවුන් කියනවා. ඒ නීතිඥයන්ට අනුව ගාල්ල තේරීම් භාර නිලධාරිතැන ක්‍රියා කර ඇති ආකාරය වැරදියි. අභියාචනාධිකරණයේ දී තීන්දුව දී ඇත්තේ එලෙස ව්‍යවස්ථාවේ 90 හා 91 වැනි වගන්ති යටතේ බවයි ඔවුන්ගේ වැටහීම.



මේ සම්බන්ධයෙන් වෙනත් මත ද තියෙනවා. කෙසේ වුවත් මේ නඩුව මෙසේ ගොනු කර ඇත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ව්‍යවස්ථාවේ 91 වැනි වගන්තිය යටතේ ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටවත් ඡන්දය දීමටවත් බැහැ. ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් පත් වූ ද්විත්ව පුරවැසියකුට වුවත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බැහැ. එහි දී පත්කළ ආකාරය හෝ පත් වූ ආකාරය හෝ බලපාන්නේ නැහැ.



මේ නඩුවේ තීන්දුව අනුව ආණ්ඩුවේ පැවැත්මට බලපාන ප්‍රශ්න මතු වේවි. පාර්ලිමේන්තුවට පත් වූ ආකාරය සලකා බැලීම මත ගීතාට මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ගාල්ල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුව ප්‍රතික්‍ෂෙප කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කිරීමටත් ඉඩ තිබෙනවා. එය අර්බුදකාරී තත්වයකට මග පාදාවි. රනිල්ට එ ජා පෙරමුණේ පමණක් ආණ්ඩුවක් අවශ්‍ය නම් එලෙස පෙත්සමක් ගොනු කරවීමට ඔහු පසුබට වන එකක් නැහැ. මේ සියල්ලෙහි අවසාන තීරණය ඇත්තේ කතානායකටවත් මැතිවරණ කොමිසමටවත් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයට බව අප අමතක කළ යුතු නැහැ. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 15