History

Sunday, 11 June 2017

බුද්ධාගමට හිමි විශේෂ තැන

බුද්ධාගමට හිමි විශේෂ තැන

අද අප පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑ සළ පතළ මළුවේ සවස හතරට පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවකට සහභාගි වෙනවා. අධිෂ්ඨාන පූජාවෙන් පසු අනුරපුර දෑ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් රටට සෙත් පතා පිරිත් දෙසුමක් පැවැත්වෙනවා. මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය හා සංස්කෘතිය රැක ගැනීම හා පෝෂණය කිරීම අපේ අරමුණයි. අප සිංහල බෞද්ධ අනන්‍යතාවක් ගැන කතා කිරීමට පටන් ගත්තේ අද ඊයේ නො වෙයි. ඒ සඳහා අවශ්‍ය සංකල්ප හා ප්‍රවාද අප ගොඩ නගා තිබෙනවා. වෙනත් බොහෝ කාර්යයන්හි මෙන් ම මෙහි දී ද ඇතැමුන් දැන් සිංහල බෞද්ධ අනන්‍යතාව තම ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් ඔළුව ඉස්සීමට යැයි කියමින් ඔළුව චීනය පැත්තට හරවනවා. අප ඔවුන්ට ඔළුව උස්සන්න දෙන්නේ නැති බවට චෝදනා කරනවා.


අප සිංහල බෞද්ධ අනන්‍යතාව ගැන කතා කිරීමේ දී සෙවූ නීතියක් අපට පසුගිය දා මුුහුණු පොතේ නීතිඥ මහතකුගෙන් ලැබුණා. ඒ මහතාට අපේ ප්‍රණාමය පළ කළ යුතුයි. භාෂා දෙකකින් වෙබ් අඩවියෙ එකම ලිපියේ ලිවීම මට තරමක කරදරයක් නමුත් ඒ නීතිය මා ඉංගිරිසියෙන් ම ලියා දක්වන්නම්. ඉංගිරිසි ආණ්ඩුව මෙරට ආගම් සුරැකීම පිළිබඳ පනවපු ආඥා පනතක් (ඕර්ඩිනන්ස්) ලෙසයි මෙය දැක්වෙන්නේ.

Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4 of 1892.

"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"

මෙය 1818 නොවැම්බර් 21 වැනි දින බිරිතානි පරමාධිපත්‍ය ප්‍රකාශයේ 16 වැනි වගන්තිය හා 1892 අංක 4 දරණ ආඥා පනත අනුවයි. මේ පරමාධිපත්‍ය ප්‍රකාශය සුද්දන් අප 1817-18 නිදහස් සටන පරාජය කර ඌව වෙල්ලස්ස සිංහලයන් සමූලඝාතනය කිරීමෙන් පසුව කරන ලද්දක් විය යුතුයි. 1892 ආඥා පනත බුද්ධාගමට හා අනෙක් ආගම්වලට හිමි තත්වය පැහැදිලි කර දෙනවා. බුද්ධාගමට පෙර පැවති අන්දමට ම භික්‍ෂූන් වහන්සේට හා සියලු පෙරහැර උත්සව සඳහා හිමි තත්වය ලැබෙනවා.  ඒ අතර කියන දෙයක් නම් එයින් අනෙක් ආගම් අදහන්නට සාමකාමීව තම ආගමික වතාවත් කිරීමට හෝ සුදුසු අවස්ථාවල ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට හෝ ආණ්ඩුවේ ආරක්‍ෂාව ලබා දීම ප්‍රතික්‍ෂෙප නොකරන බවයි.

මෙය ඉතා පැහැදිලියි. බුද්ධාගමට 1815 ගිවිසුමෙන් පොරොන්දු වූ දේ වෙනත් වචනවලින් නැවත ලබා දෙනවා. එහෙත් ඒ අතර රනිල් සම්බන්ධන් සුමන්තිරන් ආණ්ඩුව මෙන් වචන හරඹයකින් අනෙක් ආගම්වලට බුද්ධාගමට දී ඇති තත්වය ලබා දීමට කටයුතු කර නැහැ. අනෙක් ආගම්වල අයට (ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ද ඇතුළත් ව) තම ආගම් ඇදහීමට නිදහස ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට ආණ්ඩුවේ ආරක්‍ෂාව ද ලැබෙනවා. එමෙන් ම ඒ ආගමිකයන්ට සිද්ධස්ථාන ඉදි කිරීමට ද ආරක්‍ෂාව ලැබෙනවා. එහෙත් මෙහි වැදගත් කොන්දේසියක් තිබෙනවා. එසේ ආරක්‍ෂාව (ආරක්‍ෂණය) ලැබෙන්නේ සුදුසු අවස්ථාවල ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේ ඉදි කෙරෙන සිද්ධස්ථානවලට. මෙහි තේරුම වෙන එකක් නො වෙයි බුද්ධාගම හැරෙන්න අනෙක් ආගම්වල සිද්ධස්ථාන ඉදි කළ යුත්තේ ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේයි.

බලාගෙන යන කොට රනිල් සුමන්තිරන් ආණ්ඩුවට වඩා ඉංගිරිසි ආණ්ඩුව බුද්ධාගමට තැනක් ලබා දී තිබෙනවා. සුද්දන්ගේ ආණ්ඩුව සියලු ආගම්වලට එක ලෙස සලකා නැහැ. එකල ලංකාවේ රාජ්‍යාගම වූයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එසේ තිබියදීත් බුද්ධාගමට ක්‍රිස්තියානි ආගමට වඩා වැදගත් කමක් ලබා දී තිබෙනවා. ලාල් විජේනායක වැනි පුස් කෑ මාක්ස්වාදීන් අද සියලු ආගම් සමාන කරන්න යන්නේ සුදු අධිරාජ්‍යවාදීන් බුද්ධාගමට විශේෂ තැනක් ලබා දීීම අධිරාජ්‍ය විරෝධීව වෙනස් කිරීමට විය හැකියි.

1892 දීත් ඉංගිරිසින් යටතේත් බුද්ධාගමට අනෙක් ආගම්වලට නොතිබූ තැනක් දී තිබෙනවා. මේ නීති (ආඥා පනත්) 1948 නිදහස ලැබීමෙන් පසුව වෙනස් වූයේ නැහැ. අදත් ඒ නීතිය වලංගුයි. ලාල් විජේනායකලාගේ ජයම්පති වික්‍රමරත්නලාගේ ආධාරයෙන් රනිල් සුමන්තිරන් ඒ නීතිය වෙනස් කරනතාක් ඒ වලංගුයි. ඒ නීතිය අනුව අදත් බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථානයක් ඉදි කරන්නේ නම් ජනාධිපතිගේ අවසරයක් (බලපත්‍රයක්) ලබා ගත යුතුයි. එහෙත් අද බෞද්ධ නොවන සිද්ධස්ථාන ඉදි කිරීමේ දී ඒ අවසරය ලබා ගන්නේ ද? ජනාධිපතිගේ අවසරය ප්‍රාදේශීය සභාවක සභාපතිගේ අවසරයට ලඝු කරන්න බැහැ. බෞද්ධ නොවන සිද්ධස්ථාන ඉදි කිරීමේ දී අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අවසරය ප්‍රමාණවත් නැහැ. 

ආණ්ඩුකාරයාගෙන් ගත යුතු අවසරය ලබා ගැනීම අත් හැරියේ කවදා ද? එ කවදා කෙරුණත් ආණ්ඩුකාරයාගේ (අග්‍රාණ්ඩුකාරයාගේ/ජනාධිපතිගේ) අවසර නැතිව ඉදි කෙරී ඇති බෞද්ධ නොවන සිද්ධස්ථාන නීති විරෝධියි. ඒවාට ආරක්‍ෂාව ලබා දීමට එපා කියා මා කියනවා නො වෙයි. එහෙත් රජය ඒ සඳහා බැඳී නැහැ. ඒවා අනවසර ඉදි කිරීම්. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඒ සිද්ධස්ථානවලට අවහිර කිරීමට කිසිවකුට බලයක් තියෙනවා කියා. සිංහල බෞද්ධයන් ඒ සිද්ධස්ථානවලට ගරු කළ යුතුයි.  ආණ්ඩුව කලක සිට මේ නීතිය කඩ කිරීමට බෞද්ධ නොවන ආගම්වලට ඇතැම් අවස්ථාවල ඉඩ දී තිබෙනවා. මේ නීතිය බලාත්මක කිරීමට ජනාධිපති පියවර ගත යුතුයි. එයට ඒකාබද්ධ විපක්‍ෂය සහාය දිය යුතුයි. සුද්දන් ද බුද්ධාගමට දුන් විශේෂ තත්වයක් අහෝසි කිරීමට රනිල්ට සුමන්තිරන්ට ලාල් විජේනායකට ඉඩ දෙනවා ද?

මෙහි තවත් පැත්තක් ද තිබෙනවා. ජේතවනාරාමයේ තීර්ථකයන් සිද්ධස්ථානයක් ඉදි කළ අවස්ථාවක දී බුදුන් වහන්සේ කොසොල් රජතුමා ලවා එය ඉවත් කරවීමට කටයුතු කෙළේ ජේතවනාරාමය බුදුන් වහන්සේට පූජා කළ බව මතක් කරමින්. සිංහල රජවරුන් අපේ මුළු රට ම කිහිප වතාවක් ම බුද්ධ ශාසනයට පූජා කර තිබෙනවා. බුදුන් වහන්සේගේ ක්‍රියා මාර්ගය විස්තීර්ණය කරමින් අප ඉල්ලා සිටින්නේ නැහැ රටේ කිසිම තැනක අන්‍යාගමික සිද්ධස්ථාන ඇති නොකරන ලෙස. එහෙත් ආණ්ඩුව අඩුම තරමෙන් සුද්දන්ගේ නීතියවත් ක්‍රියාත්මක කළ යුතුයි.  

අපේ අධිෂ්ඨාන පූජාව  බුද්ධාගමට හා දේවාගමට (සිංහල බෞද්ධ සංස්කෘතියට) හිමි විශේෂ තැන ලැබේවා යන්නත් පෙරදැරි කර ගෙන. අප ඒ සඳහා යන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ හා සිංහල බෞද්ධ රාජ්‍යයේ සංකේතය ද වූ රුවන්වැලි සෑ මළුවට මිස ඉන්දියාවට හෝ චීනයට හෝ නො වෙයි.



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 11.