History

Saturday, 10 June 2017

ජනමාධ්‍ය නිදහස හා වාරණ

ජනමාධ්‍ය නිදහස හා වාරණ

අප රැස්වීමක් පැවැත්වුවත් එයට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ (රැස්වීම්වලට සෙනග එන්නෙත් නැහැ). ජනමාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවත් ලැබෙන ප්‍රචාරයක් නැහැ. මේ පිළිබඳ බොහෝ දේ කීමට තිබෙනවා. එහෙත් එය පසුවට තබමු. මෙරට ජනමාධ්‍ය වාරණ දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය වාරණය. අනෙක ආයතන වාරණය. ආණ්ඩුවේ ජනමාධ්‍ය අයිතිකාරයන් ලෙස පෙනී සිටින මැති ඇමතිවරුන් වැනි අය කියාවි දැන් සුදු වෑන් නැහැ, ජනමාධ්‍ය වාරණ නැහැ කියා. මේ කියන්නේ රාජ්‍ය මර්දනයක් නැහැ කියන එකයි. මේ රටේ පමණක් නොව ඊනියා දියුණු රටවලත් රාජ්‍ය මර්දනය තිබෙනවා. රාජ්‍ය මර්දනය ඒ රටවල ක්‍රියාත්මක වන්නේ ඉතා සියුම් ව. අපේ රටවල එය ගොරහැඩි ව ක්‍රියාත්මක වෙනවා. වෙනස එපමණයි.


කිසිම ආණ්ඩුවක් කැමති නැහැ විරුද්ධ මත ප්‍රචාරයට. ආණ්ඩු හැකිනම් සියලු විරුද්ධ මත ප්‍රකාශ කිරීම තහනම් කරනවා. ඒත් මිනිසුන් රාජ්‍යවලින් (රාජ්‍ය නියෝජනය කරන ආණ්ඩුවලින්) ඇතැම් දේ දිනාගෙන තිබෙනවා. මා මේ සඳහන් කරන්නේ බටහිර රටවල් ගැනයි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙන් ඉවත් වීමේ දී ඒ රටවල මිනිසුන් යම් පෞද්ගලික නිදහසක් රාජ්‍යවලින් ලබාගත්තා. එය ක්‍රමයෙන් සිදු වූවක්. ඒ නිදහස් අපේ රටවලට පැමිණියේ යටත්විජිතවාදී රටවල් මගින්. අප දන්නා ජනමාධ්‍ය නිදහස බටහිර සංකල්පයක්.

එයින් කියන්නේ බටහිරයන් ඒමට පෙර මෙරට මිනිසුන්ට කිසිම නිිදහසක් නොතිබුණා කියන එක නො වෙයි. මහසෙන් කතා පුවතෙන් කියැවෙන්නේ මෙරට රජුට විරුද්ධව කැරලි ගැසීමට වුවත් ඉඩ තිබුණු බව. ඒ එක පැත්තක්. මහසෙන් රජ වීමෙන් ම පෙන්නුම් කරන තවත් කරුණක් නම් රාජ්‍යය පිළිබඳ සම්මත අදහස්වල නැති වූවන්ට ද රජ වීමට පවා හැකියාව තිබුණු බව. එය පසුව නැති වූවා ද යන්න සොයා බැලිය යුතුයි. එයින් කියන්නේ බුදුදහමෙන් එවැනි නිදහසක් ප්‍රතික්‍ෂෙප කෙරෙන බවක් නො වෙයි. 

කෙසේ නමුත් මෙරට දැන් ක්‍රියාත්මක වන්නේ බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් අපට දුන් අයිතිවාසිකම්. ඒවා අපේ නො වේ. එහි පිළිවෙළ, රිද්මය අපට තේරෙන්නේ නැහැ. ඒ අපට බටහිරින් ලැබුණු මාර්ග නීති නොතේරෙනවා වගේ. ඉංගිරිසින් දුන් අයිතිවාසිකම් කඩන්නේ ආණ්ඩුව පමණක් නො වෙයි. වෙනත් ආයතන ද පුද්ගලයන් ද ඒ කඩනවා. වෙනත් ආයතන හා පුද්ගලයන් ඒ නීති තමන්ට අවශ්‍ය ආකාරයකට යොදා ගැනීම ගැන එතරම් වරදක් කියන්න බැහැ. කිසියම් අයකු වෙබ් අඩවියක් පවත්වා ගෙන යන විට තමන් සිතන ආකාරයට එහි අනවශ්‍ය ප්‍රතිචාර දක්වන්නේ නම් ඒ නැවැත්වීමට වෙබ් අඩවිය පවත්වා ගෙන යන තැනැත්තාට හැකි විය යුතුයි.

එය තම නිවසට අනවසරයෙන් ඇතුල් වන්නකු පිටමං කිරීමට ඇති අයිතිය වගේ. පෞද්ගලික ආයතනයකට රටේ සාමාන්‍ය නීතියට හරස් නොවී තමන්ගේ ම සිරිත් විරිත් අනුව කටයුතු කිරීමට පුළුවන් විය යුතුයි. මෙහි දී වැදගත් වන්නේ රටේ සාමාන්‍ය නීතියට හරස් නොවී යන්නයි. ප්‍රශ්නය වන්නේ රජය හා රාජ්‍ය ආයතන සම්බන්ධව. රාජ්‍යය යන්න  රටක රටවැසි සියලු මිනිසුන්ගේ. එය පවත්වා ගෙන යෑම සඳහා අප කණ්ඩායමක් (ආණ්ඩුවක්) පත් කර ගන්නවා (වත්මන් රනිල් සම්බන්ධන් ආණ්ඩුව රාජ්‍යය පවත්වා ගෙන යන්නේ නැහැ). ඒ කණ්ඩායම හැකි සෑම විටක ම තම මතය රාජ්‍ය මතය ලෙස සලකනවා. බටහිර රටවලත් සියුම් ව එසේ වනවා. රජයේ ආයතන සම්බන්ධයෙනුත් ඒ එසේ ම සිදු වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා යැයි කියන විශ්වවිද්‍යාලවලත් එය සිදු වෙනවා. මා කතා කරන්නේ රජයේ විශ්වවිද්‍යාල ගැන. විකල්ප අදහස්වලට විශ්වවිද්‍යාලයේත් ඉඩ නැහැ. අද මෙරට විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ බටහිර අච්චුවේ දැනුම බෙදා දීමට පමණයි. අපේ විශ්වවිද්‍යාලවල බටහිර දැනුම නිර්මාණය වන්නේ නැහැ, අපේ දැනුමට  ඉඩක් නැහැ.

ආණ්ඩුවක් තම මතය රාජ්‍ය මතය ලෙස සැලකීම සුදු වෑන් බිහි වීමට මුලයි. ආණ්ඩුව තම මතයට විරුද්ධ වන්නවුන් රාජ්‍ය මතයට විරුද්ධ වූවන් ලෙස සලකනවා. එසේ සැලකීමෙන් සුදු වෑන් එක්තරා ආකාරයකින් යුක්තියුක්ත කෙරෙනවා. මෙහි දී තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි රාජ්‍ය මතය කුමක් ද යන්න හඳුනා ගැනීම. බටහිර රටවල වුව ද ඒ ප්‍රශ්නය තිබෙනවා. එහෙත් එහි යම් ආකාරයකට නමුත් ජාතික ප්‍රතිපත්ති තිබෙවා.  අපේ රටවල ජාතික ප්‍රතිපත්ති නැති විට රාජ්‍ය මතය වන්නේ ආණ්ඩුවේ මතය. 

ආයතන වාරණය දෙයාකාරයකින් වෙනවා. එක් පැත්තකින් ආයතනය ආණ්ඩුවට බයේ රාජ්‍ය වාරණයට යටත් වෙනවා. ඒ සඳහා නිල වාරණයක් අවශ්‍ය නැහැ. ආයතනය දන්නවා ආණ්ඩුවේ උදහසට ලක් නොවී පළ කළ යුත්ත හා නොකළ යුත්ත. මට මේ ගැන අවුරුදු තිහකට වැඩි අත්දැකීමක් තියෙනවා. මේ ලිපිය නම් දාන්න බැහැ කියන්නේ ජනමාධ්‍ය ලේකම්වරයා එසේ කීමෙන් පසුව නො වෙයි. අනෙක් පැත්තට ආයතනයේ ම තියෙනවා තමන්ට ම ආවේණික වූ ආයතනික වාරණයක්. මෙයත් භයානකයි. එහෙත් ඒ ගැන දන්නේ ම නැති තරම්. පෞද්ගලික ආයතනවලට තමන්ගේ ම වූ ආයතනික වාරණයක් පවත්වාගෙන යෑමට හැකි යැයි කියමු. එහෙත් ඒ වාරණය යම්කිසි ආධිපත්‍යයකට යට වී කෙරෙන්නක් නම් එය ප්‍රශ්නයක්. 

අද සියලු දෙනා ම පාහේ සමාජයීය වශයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා. ආණ්ඩුව පමණක් නොව අපේ දේ අපේ කම ගැන කතා කරන ආයතනත් එසේ ම යටයි. ඔවුන් සිංහල වෙදකම ගැන කතා කළත් බටහිර වෛද්‍ය ආධිපත්‍යයට යටයි. සිංහල වෙදකමෙන් රෝගයක් සුව වී ද නැද්ද කියා සහතික කළ යුත්තේ බටහිර වෛද්‍යවරුන්! බුදුදහම විද්‍යාත්මක ද කියා අසන්නේත් ඒ ආධිපත්‍යයට යට වීමෙන්. ඒ ආධිපත්‍යයට යට නොවන අදහස් වලට අපේ කම ගැන කතාකරන ජනමාධ්‍යවලත් තැනක් නැහැ.

එහෙත් ඒ ජනමාධ්‍යත් අනෙක් ජනමාධ්‍යත් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. බලගෙන යන කොට සියල්ලන් ම පෙනී සිටින්නේ සුද්දන්ගේ ජනමාධ්‍ය නිදහසකට.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 10.