History

Friday, 9 June 2017

එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්  


එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්



එංගලන්ත මැතිවරණය අවසන්. එහි ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතිනවා. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලින් කියැවෙන ආකාරයට නම් තෙරේසා මේගේ කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගැනීමට හැකි නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබීමට ඇති ඉඩ අඩුයි. තෙරේසා මේට වෙනත් පක්‍ෂයක සහාය නැතිව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙන්න පුළුවන්. එය සමහර විට වෙනස් වන්නත් පුළුවන්.




තෙරේසා මේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණය කැඳෙව්වේ බ්‍රෙක්සිට් නැත්නම් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණය තහවුරු කර ගැනීමට. එහෙත් ඇයට තීරණාත්මක ජයග්‍රහණයක් හිමි වී නැහැ. එය බ්‍රෙක්සිට් ආපසු හැරවීමක් ලෙස ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ පඬියන් කියාවි. එවැනි පඬියන් මෙරට ද සිටිනවා. විශේෂයෙන් පුස් කෑ මාක්ස්වාදී පඬියන් ඒ කතාව කියාවි. පුස් කෑ මාක්ස්වාදී පඬියන්ට අද ඉතිරිව ඇත්තේ තමන් බලාපොරොත්තු වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරය වෙනුවෙන් පොඩි අඩියක් ගසා සාදුකින් පෙළෙනවුන් ….. .. අන්තිම සටනට සැරසියව් ගීතය හැකි තාක් උස් හඬින් කීම (ගැයීම නො වෙයි) පමණයි.



මා ද එංගලන්ත මැතිවරණය ගැන සෝදිසියෙන් සිටියා. මැතිවරණයට කලින් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වුණා. තෙරේසා මේ බලාපොරොත්තු වූ පරිදි නොව මැතිවරණයට බ්‍රෙක්සිට් ප්‍රශ්නය වැදගත් වූයේ නැහැ. එංගලන්ත ඡන්දදායකයන්ට වෙනත් ප්‍රශ්න තිබුණා. මුස්ලිම් ත්‍රස්තවාදය විසින් දැනුවත් ව හරි නොදැනුවත් ව හරි බ්‍රෙක්සිට් ප්‍රශ්නය වැදගත් ප්‍රශ්න ලැයිස්තුවේ අගට දමනු ලැබුවා. එංගලන්ත ඡන්දදායකයන්ට වැදගත් ම ප්‍රශ්නය වූයේ ආරක්‍ෂාව. රාජ්‍යාරක්‍ෂාවට වඩා ජීවිතාරක්‍ෂාව. ඔවුන්ගේ සංස්කෘතිය අනුව පෞද්ගලික ආරක්‍ෂාව ඔවුන්ට වැදගත්. අපටත් එය වැදගත්. එහෙත් අපට වඩා ඔවුන්ට එය වැදගත්.



ඉංගිරිසි ඡන්දදායකයන්ට අනුව තෙරේසා මේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කර ඇති ආකාරය එතරම් සතුටුදායක නැහැ. එහෙත් කම්කරු (ලේබර්) පක්‍ෂය ගැනත් ඔවුන්ගේ විශ්වාසයක් නැහැ. යුරෝපයේ ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂවල ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ඇති බැඳීම වැඩියි. ඔවුන් මෙරට ඊනියා සමාජවාදීන් මෙන් විප්ලවයක් ගැන සිහින මවන්නේ නැති නමුත් මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව දැඩි පියවර ගන්නේත් නැහැ. අද එංගලන්ත ඡන්දදායකයන් එක අතකින් ගත් කල අසරණයි. අවසන් මැතිවරණ ප්‍රතිඵලවලින් ඒ බව පෙනේවි. 



තෙරේසා මේ එංගලන්ත මැතිවරණයට ඉදිරිපත් වූයේ බ්‍රෙක්සිට් පිළිබඳ තීරණයක් ගැනීමට. ඇය නියමිත දිනට පෙර ම පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කෙළේ එබැවිනුයි. එහෙත් මැතිවරණයට පෙර මුස්ලිම් ත්‍රස්තවාදීන් මැන්චෙස්ටර් හි දී හා ලන්ඩනයේ දී ත්‍රස්ත ප්‍රහාර එල්ල කළා. ලන්ඩනයේ සුප්‍රසිද්ධ ලන්ඩන් පාලම (ලන්ඩන් බ්‍රිජ්) ප්‍රහාරයට හසු වුණේ, වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව කිට්ටුව. එය ඉංගිරිසින්ගේ හදවතට එල්ල කරන ලද පහරක් මෙන් වූවා. එංගලන්තයට බ්‍රෙක්සිට් අමතක වුණා. ආරක්‍ෂාව ඉදිරියට ආවා. ඒ අනුව තෙරේසා මේටත් කටයුතු කිරීමට සිදු වුණා.



තෙරේසා මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉතා දැඩිව කියා සිටියේ ඉවසුවා ඇති යන්නයි. එහෙත් මෙරට ජනමාධ්‍ය විසින් අවධාරණය නොකෙරුණු කරුණක් ද ඇයි ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ ත්‍රස්තවාදීන්ට දඬුවම් කළ යුතු බවත් එහි දී මානව අයිතිවාසිකම් කැඩීමට වුවත් සිදුවන බව. මේ ප්‍රකාශය තෙරේසා මේගේ මුවෙන් පිටවීම වැදගත්. එහි තේරුම මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට මානව අයිතිවාසිකම් කැඩීමට වුවත් ඇය සූදානම් බව.



ත්‍රස්තවාදීන් කිසිවකුගේවත් මානව අයිතිවාසිකම් සලකන්නේ නැහැ. මානව අයිතිවාසිකම් යන සංකල්පය බටහිර බිහි වූයේ රාජ්‍යයට එරෙහිව ජීවිත, දේශපාලන, අදහස් ප්‍රකාශ කිරීම ආදී දේ රැක ගැනීම සඳහා. එය යුරෝපීය වැඩවසම් ක්‍රමයෙන් ධනවාදී ක්‍රමයට පැනීමත් සමග ඇති වූවක් (මෙරට වැඩවසම් ක්‍රමයක් නොතිබූ බව පඬියන්ගේ දැනගැනීම සඳහා නිතර නිතර කියන්න වෙනවා) . එහි පිටුපස තිබුණේ කතෝලික චින්තනය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අතර වෙනස. කතෝලික චින්තනය සාමූහිකත්වය මත පදනම් වූ අතර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පෞද්ගලිකත්වය මත පදනම් වුණා. මිනිසුන්ගේ පෞද්ගලික නිදහස හා රජයෙන් නිදහස ලැබීම එහි දී වැදගත් වුණා. රජයට මිනිසුන්ගේ විවිධ අයිතිවාසිකම්වලට ගරු කරන්න සිදු වුණා. උදාහරණයක් ලෙස රජයට අභිමත පරිදි මිනිසුන් අත්අඩංගුවට ගන්න බැරි බවට නීතියක් ගෙනාවා.



එහෙත් ත්‍රස්තවාදීන්ට මේ කිසිවක් නැහැ. ඔවුන් වැඩිහිටියන් පමණක් නොව ළමයින් ද බලහත්කාරයෙන් ඔවුන්ගේ අවිගත් කල්ලිවලට (හමුදා කියන වචනය පාවිච්චි නොකළ යුතුයි) බඳවා ගන්නවා. ඒවා මානව අයිතිවාසිකම් කැඩීමක් බව බටහිරයන් මෙතෙක් කිව්වේ නැහැ. එයට හේතුව බොහෝ විට මේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බටහිරයන්ගේ සහාය හා අනුග්‍රහය ලබා දීම. ත්‍රස්තවාදීන් කිසිවකුගේවත් මානව අයිතිවාසිකම් ආරක්‍ෂා නොකළත් බටහිරයන් ත්‍රස්තවාදීන්්ගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කළා. එංගලන්තය හා අනෙක් බටහිර රටවල් දෙමළ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙී සිටියා. ඒ අතර අනෙක් දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන ද කතා කළා. ඒත් වඩා වැදගත් වුණෙ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම්.



මානව අයිතිවාසිකම් නොතකන ත්‍රස්තවාදීන්ට එරෙහිව ව මෙහෙයුම් කිරීම තරමක අසීරු කටයුත්තක්. අපේ හමුදා ඒ අසීරු කටයුත්ත මැනවින් ඉටු කළා. අද තෙරේසා මේට ත්‍රස්තවාදය අප වැනි රටවලට විරුද්ධව මෙහෙයවනවා වෙනුවට ඔවුන්ට විරුද්ධ ව එන ත්‍රස්තවාදයට මුහුණ දීමට සිදු වෙලා. තෙරේසා මේට දැඩි පියවර ගැනීමට සිදු වෙලා. ඇය මානව අයිතිවාසිකම් කඩා හරි ත්‍රස්තවාදයට විරුද්ධ ව කටයුතු කිරීමට සූදානම්. දැන් ජෙනිවා හුසේන් මොක ද ඒ ගැන කියන්නෙ. මෙරට හමුදාවට අවමංගලයක් වූ මංගල හා රනිල් මොකද කියන්නෙ. රනිල් නිව්යෝක් රෝහලේ සිට ම ප්‍රකාශයක් කරනවා නම් හොඳයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 09