History

Tuesday, 13 June 2017

හතරවැනි වගන්තිය අනතුරේ  


හතරවැනි වගන්තිය අනතුරේ



සිංහලයන්ට සැලසුම් කිරීමට තේරෙන්නේ නැහැ. මා හිතන්නේ යක්‍ෂ ජනතාවටත් එකල ඒ දුර්වලකම තිබුණා කියා. සිංහල සංස්කෘතියෙහි වැදගත් සංරචකයක් වන්නේ යක්‍ෂ සංස්කෘතිය. එය අඩුම තරමෙන් අවුරුදු පන්දහක් පමණ පැරණි බව රාජ් සෝමදේව ආදීන්ගේ කැණීම්වලින් තහවුරු වෙනවා. අනුරාධපුර වෙස්සගිරියේත් ඉසුරුමුනියේත් අභයගිරියේත් යක්‍ෂ සංස්කෘතිය දැක ගන්න පුළුවන්. යක්‍ෂ ජනතාව නැටුම් ගැයුම් වැයුම් රස විඳි ජනතාවක්. ඔවුන්ගේ කලා ශිල්ප ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. පෙරේදා අප රුවන්වැලි සෑ සළ පතළ මළුවේ දී ආටානාටිය සූත්‍රයට සවන් දුන්නා. එය පිරිත් පොතේ තිබෙනවා. එය දෙවරක් සජ්ඣායනය කෙරෙනවා. වරක් වෙස්සගිරියට සම්බන්ධ වෙසමුණි යක්‍ෂ නායකයා කරන ප්‍රකාශයක් ලෙස. දෙවනුව බුදුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට දේශනා කරන ලද්දක් ලෙස. ආටානාටිය අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සිතෙනවා. මෙය එක්තරා ආකාරයකින් යක්‍ෂ ජනතාවගේ ඇතැම් නායකයන් හා මහාවිහාරය අතර ඇති වූ ගිවිසුමක් ලෙස සැලකිය හැකි බව කියන්න පුළුවන්. ඒ ගිවිසුම 1815 ගිවිසුමට සමාන බවක් පෙනෙනවා.




මහාවිහාරයට සම්බන්ධ බොහෝ දෙනා යක්‍ෂ ජනතාවට විරුද්ධයි. ඔවුන් ඒ සංස්කෘතිය ඉතිහාසයෙන් නැති කිරීමට උත්සාහ කරනවා. මාත් මහාවිහාරයට ගරු කරනවා. ඒත් යක්‍ෂ ජනතාවත් ඔවුන්ගේ සංස්කෘතියත් අගයනවා. අපි ආටානාටිය සූත්‍රය ගැනත්, මහා විහාරය ගැනත්, යක්‍ෂ සංස්කෘතිය ගැනත්, නච්ච ගීත වාදන ගැනත් ඉඩ ලැබෙන පරිදි සාකච්ඡා කරමු. ආටානාටිය සූත්‍රයේත් යක්‍ෂයන්ගේ නච්ච ගීත වාදන ගැන කියැවෙනවා. මා කියන දෙයින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවැඩක් වන්නේ නැහැ.  ඒත් යක්‍ෂ සංස්කෘතිය ඉතිහාසයෙන් නැති කිරීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියත් නැති වෙනවා. එසේ නැති කිරීමට උත්සාහ කරන අය මගේ අදහස් මිථ්‍යාදෘෂ්ටික අදහස් ලෙස සැලකුවහොත් මා පුදුම වන්නේ නැහැ. ක්‍රිකට් නම් අපට ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ලැබුණු දෙයක්. එයින් කියැවෙන්නේ නැහැ බෞද්ධයනට ක්‍රිකට් අකැප කියා. එහෙත් ක්‍රිකට් තරග නරඹන විට යමකුට ඒ අදහස ලැබුණොත් පුදුමයකුත් නැහැ. ක්‍රිකට් කණ්ඩායමටයි රටටයි තියෙන්නෙ එක ම වගේ ප්‍රශ්න. සංගීතයත් සිංහලයන්ට ලැබුණේ ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බව කීමට ඇතැමුන්ට ඉඩ ලැබී ඇත්තේ කෙසේ ද?



රනිල් උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට. ඔහු සැලසුමක් ඇතිව ක්‍රියාත්මක වෙනවා. සිංහල බෞද්ධයනට සැලැස්මක් නැහැ. ඔවුන් කරන්නේ රනිල්ගේ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීම පමණයි. ඔවුන්ගෙන් ඇතැමකු හුදු ජනප්‍රියභාවය සඳහා මාධ්‍ය සංදර්ශන පවත්වනවා. රනිල්ට විකල්ප රාශියක් තිබෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමේ සිහිනය දකිනවා. ව්‍යවස්ථාව පරාජය කළ හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන්. එය කළ හැක්කේ විධායක බලතල ඇති ජනාධිපතිටයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පඬියන් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට මෛත්‍රිපාල සමග එකතු වීමට විරුද්ධයි. ඔවුන් එමගින් රනිල් රකිනවා. රනිල් විධායක බලතල පාර්ලිමේන්තුව මගින් තමන්ට ලබා ගැනීමට සැලසුම් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට ඔහුගේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා.



ජූනි 4 වැනි දා දි අයිලන්ඩ් පුවත්පතට දේශපාලන ලිපිය ලියන චන්ද්‍රප්‍රේම නමැත්තා තම කොළපාට සමාජය අමතක කර නැති බව පෙන්නුම් කර තිබෙනවා. ඔහුගේ තර්කය ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව පෙන්වීමට. එම වගන්තියෙන් කියැවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරයයි. ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියෙන් කියැවෙන්නේ ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවයි. ඒ වගන්තිය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනමත විචාරණයක් අවශ්‍ය ද නැද්ද යන්න කියැවෙන්නේ 83 වැනි වගන්තියෙන්. ඒ වගන්තියට අනුව 1, 2, 3, 6, 7, 8, 9, 10, 11 හා 83 වැනි වගන්ති සංශෝධනය කිරීමේ දී ජනමත විචාරණයක් අවශ්‍යයයි. එහෙත් 4 වැනි වගන්තිය ගැන එසේ කියැවෙන්නේ නැහැ.



ජේ ආර්ගේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ විවාදයේ අවසන් අවස්ථාවේ එවකට ස්වදේශීය ඇමති දේවනායගම් සංශෝධනයක් ඉදිරිපත් කරමින් 93 වැනි වගන්තිය ඉහත සඳහන් පරිදි විය යුතු යැයි ඉංගිරිසියෙන් යෝජනා කර තිබෙනවා. ඉන් පසු අගමැති ප්‍රේමදාස සිංහලෙන් යෝජනා කර ඇත්තේ හතරවැනි වගන්තියත් ඉහත සඳහන් වගන්තිවලට එකතු විය යුතු ය කියා. එහෙත් අවසානයේ ව්‍යවස්ථාව මුද්‍රණය වී ඇත්තේ හතරවැනි වගන්තිය නැතිව. මෙය කෙසේ වී දැයි පැහැදිලි නැහැ. ඇමති මණ්ඩලයේ ඒ සම්බන්ධයෙන් වෙනස් මත තිබුණේ ද? කොහොමටත් අවසානයේ දී සලකා බලා ඇත්තේ ඉංගිරිසියෙන් කියා ඇති දේ. රාජ්‍ය භාෂාව ඉංගිරිසි ද?



හතරවැනි වගන්තිය අඩුම තරමින් අවස්ථා දෙකක දී උසාවියේ සාකච්ඡා වුණා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී උසාවිය තීරණය කෙළේ හතරවැනි වගන්තිය ජනමත විචාරණයකට යොමු කිරීමට අවශ්‍ය නැති බව. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී උසාවිය තීරණය කෙළේ හතරවැනි වගන්තිය තුන්වැනි වග්තිය සමග බැඳී ඇති බැවින් හතරවැනි වගන්තියට පටහැණි ව ක්‍රියා කරන්නේ නම් ජනමත විචාරණයකට යොමු විය යුතු බව. අද රනිල්ට වුවමනා හතරවැනි වගන්තිය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව තහවුරු කිරීමට.



රනිල් මෛත්‍රී ගැටුම අද ඇත්තේ තරමක් තීව්‍ර තත්වයක. ඒකාබද්ධයේ පඬියන්ට අවශ්‍ය දෙදෙනාම ඉවත් කිරීමට. එහෙත් එසේ කරන්නේ කොහොමද කියා කියන්නේ නැහැ. රනිල්ට අවශ්‍ය විධායක ජනාධිපති බලතල ඉවත් කිරීමට. ඒ අතර විදේශ විනිසුරුවන් පත් කිරීමත් රනිල්ගෙ සැලසුමේ ඇති. ඒ සියල්ල කළ හැකි එක් ආකාරයක් තමයි හතරවැනි වගන්තිය වෙනස් කිරීම. හතරවැනි වගන්තියෙන් කියන්නේ තුන්වැනි වගන්තියේ සඳහන් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. ඒ අනුව පරමාධිපත්‍යයේ විධායක සංරචකය ජනාධිපති මගින් ද ව්‍යවස්ථාදායක සංරචකය පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක වෙනවා. අධිකරණ බලතල ක්‍රියාත්මක වන්නේත් පාර්ලිමේන්තුව මගින්. එහෙත් එහි ව්‍යතිරේකයක් තියෙනවා. පාර්ලිමේන්තුව එය කළ යුත්තේ ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පිළිගැණුනු අධිකරණ හා වෙනත් ආයතන මගින්. එසේත් නැත්නම් නීතිය විසින් නිර්මාණය කෙරුණු හා සංස්ථාපිත එවැනි ආයතන මගින්.



හතරවැනි වගන්තිය සංශෝධනය කර ජනාධිපති විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා ගැනීමටත් විදේශික විනිසුරන් සහිත ආයතන පිහිටුවීමටත් රනිල්ට අවශ්‍ය ඇති. අද විවිධ ක්‍රම මගින් ඔහු ඒ සඳහා සූදානම් වන බව පෙනෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන කතා නැහැ. ඔවුන් 2019/2020 සිහින දකිනවා.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 13.