History

Wednesday, 14 June 2017

චීන සංස්කෘතික ආක්‍රමණය හා නිවන  


චීන සංස්කෘතික ආක්‍රමණය හා නිවන



කිහිප දෙනකු අසන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්න අසන ආකාරය වෙනස් වුණත් ඔවුන්ගේ ප්‍රශ්නවල පසුබිමේ ඇත්තේ අප තෝරාගත යුත්තේ කිනම් දැනුම් පද්ධතියක් ද යන්නයි. දැනුම් පද්ධති රාශියක් තිබෙන ලෝකයක සංස්කෘතින් රාශියක් තිබෙන ලෝකයක අප තෝරා ගන්නේ කිනම්  සංස්කෘතියක් ද? එයට පිළිතුරක් දෙන එක පහසු නැති වුවත් පුළුවන්. කාළාම සූත්‍රයේ පිළිතුරෙහි වුවත් විඤ්ඤූන් හඳුනාගැනීමේ නිර්ණායක කවරේ දැයි අහන්න පුළුවන්. මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ දැනුම් පද්ධති සියල්ල ප්‍රතික්‍ෂෙප කිරීම මතයි. මේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් නො වෙයි. එහෙත් එයට යම් ආකාරයකට අදාළයි.




අද බටහිර දැනුම් පද්ධතිය ලොව පුරා ආධිපත්‍යය දරනවා. බටහිර සංස්කෘතිය එලෙස ම ලොව පුරා සංස්කෘතික ආධිපත්‍යය පතුරවනවා. අප මේ ආධිපත්‍යයෙන් නිදහස් ව සිටින්නේ කෙසේ ද? අද ඉන්දියාවේත් චීනයේත් සමාජයේ උඩ ඇත්තේ වෛදික සංස්කෘතියවත් කොන්ෆියුෂියස් තාම් සංස්කෘතියවත් නො වෙයි. ඔවුනුත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යටවෙලා. කවුරු හරි කියන්න පුළුවන් ඒ රටවල බහුතර ජනතාව එසේ නැහැ කියා. එහෙමය කියා උපකල්පනය කළත් ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. බ්‍රාහ්මණ සංස්කෘතිය හා කොන්ෆියුෂියස් සංස්කෘතිය විසින් ඒ බහුතරයට සමාජයේ හිමි තැන වෙන් කර දී තිබෙනවා. ඔවුන්ට ඉහළ ස්ථවරවලට යට වීම හැර කරන්න පුළුවන් දෙයක් නැහැ. අපට බටහිර සංස්කෘතික හා එහි කොටසක් වූ දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්නට ඉන්දියාව හෝ චීනය හෝ සමග එක් වී බැහැ. ඒ දෙරට ම උත්සාහ කරන්නේ අප ඔවුන්ගේ ප්‍රාදේශීය (ආසියාතික) ආධිපත්‍යයකට හසු කර ගැනීමටයි. ඒ සඳහා වැඩ කරන චීන ගැත්තන් හා ඉන්දීය ගැත්තන් සිංහලයන් අතරත් සිටිනවා. ඔවුන් සමහර දෙනකු ජීවත් වන්නේ ඒ රටවල් දෙකෙන් එකක.



අප අවුරුදු දහනවයකට පමණ පෙර 1998 පෙබරවාරි හතරවැනි දා නිදහසට පනස් වසරක් පිරෙද්දී චන්ද්‍රිකා වේල්ස් කුමරු සමග මහනුවර ඉංගිරිසියෙන් නිදහසේ පනස් වසර සමරද්දී වෙල්ලස්සට ගොස් 1817-18 නිදහස් සටන හා වෙල්ලස්සේ කුමරු සැමරුවා. මා කලින් ද කියා ඇති පරිදි සුමේධ වීරවර්ධන මහතා ද විශේෂඥ වෛද්‍ය කමලදාස මහතා ද එහි දී අපට අනගි සහායක් ලබා දුන්නා. අප වෙල්ලස්සේ කුමරු නමින් ස්මාරකයක් තැනීමට අදහස් කළ නමුත් ආර්ථික ප්‍රශ්න නිසා එය කර ගැනීමට බැරි වුණා. දැන් චීන සංස්කෘතික ආධිපත්‍යය මෙරට පැතිරවීම සඳහා චීනයට ගොස් සිටින චීන ගැත්තකු 2018 දී ඒ ස්මාරකය තැනීමට යෝජනා කරනවා. අප ඔහු අනුව ගියහොත් එය චීන සංස්කෘතික ආධිපත්‍යයකට යට වීමක් වෙනවා. චීන ගැත්තන් අපට ශිෂ්‍යත්ව, අධිශිෂ්‍යත්ව දීමට ඉදිරිපත් වෙනවා. ඒ කාගේ යහපතට ද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. සිංහල බෞද්ධ අනන්‍යතාව රැකීමට අපට ඉන්දියාව හෝ චීනය හෝ අවශ්‍ය වන්නේ නැහැ. අප චීනයෙන් හෝ ඉන්දියාවෙන් හෝ ආධාර ගත්තොත් අප ඔවුන්ගේ යටත්විජිතයක් වීම වළක්වන්න බැහැ.



ලෝකයේ බෞද්ධයන්ගෙන් අති විශාල බහුතරය ඉන්නේ ආසියාවේ. එ ආසියාතික බෞද්ධ ජනතාවගෙන් අති විශාල බහුතරය කහපාට සමක් ඇති අය. කහපාට නොවන බෞද්ධයන් ඉන්නේ ලංකාවේ. ඒ සිංහල ථෙරවාද බෞද්ධයන්. අනෙක් ථෙරවාද බෞද්ධ රටවල ඇත්තේ චීන සංස්කෘතිය මත ආරෝපණය කරන ලද සිංහල ථෙරවාද සංස්කෘතියක්. ඔවුන් පාළි ගාථා කියනවා. එහෙත් ඔවුන්ගේ පදනම චීන සංස්කෘතිය. පොදු ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් (සැමුවෙල් හන්ටින්ග්ටන් කියන විධියට සභ්‍යත්වයක්) ලෝකයේ නැහැ. චීනුන්ට හා ඔවුන්ගේ ගැත්තන්ට අවශ්‍ය අප හමෙන් දුඹුරු එහෙත් සංස්කෘතියෙන් කහපාට වූ ජාතියක් බවට පත් කිරීමට. චීනුන් දේශපාලන ආධිපත්‍යයක් පැතිරවීමට  වඩා උත්සාහ කරන්නේ සංස්කෘතික ආධිපත්‍යයක් පැතිරවීමට. ඔවුන් ඉතිහාසයේ එය කර තිබෙනවා. දකුණු හා බටහිර ආසියාව හැරෙන්න මුළු මහත් ආසියාව ම ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යයට යට වුණා. අද වන විට චීනුන්ට ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ආර්ථික ආධිපත්‍යයක් ද අවශ්‍යයි.



සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමට අපට මහා විහාරයෙන් එහාට යෑමට අවශ්‍ය නැහැ. මහා විහාරයේ අඩුපාඩු ඇති බව මගේ පියාගේ ඇවෑමෙන් පසු 1998 මැයි මස පමණ අපි මහා විහාරයේ යන මැයෙන් ලියූ ලිපියෙහිත් මා සඳහන් කර තිබෙනවා. මහා විහාරය සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගත්තේ විවිධ සංස්කෘතික ආක්‍රමණවලට හා දේශපාලනික ආක්‍රමණවලට මුහුණ දෙමින්. යක්‍ෂ ජනතාව මහා විහාරයට පක්‍ෂපාති වූයේ නැහැ. ඒ ඔවුන් බුද්ධාගමට විරුද්ධ වූ නිසා නොව මිහිඳු මහා රහතන් වහන්සේ සමග, විශේෂයෙන් ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග පැමිණි ඇතැම් භාරතීය සංස්කෘතිකාංගවලට විරුද්ධ වූ නිසා. මහින්දාගමනයට පෙර ද මෙරට යක්‍ෂ නාග දේව බෞද්ධයන් සිටි බව අමතක නොකළ යුතුයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි යක්‍ෂ සංස්කෘතික සංරචකය ඉතා වැදගත්. සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වූයේ මේ යක්‍ෂ සංරචකයයි. අදත් සිංහල බෞද්ධ අනන්‍යතාව රැකෙන්නේ යක්‍ෂ සංස්කෘතිය කේන්ද්‍ර කර ගෙන. අද චීන ගැත්තන් මේ යක්‍ෂ සංස්කෘතිය ඉතිහාසයෙන් මැකීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ චීන සංස්කෘතික ආක්‍රමණයට වඩාත් ඉඩක් ලබා ගැනීමට.



සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ නිවන පදනම් කර ගනිමින්. අපේ ශක්තිය ඇත්තේ මේ පදනමෙහි. අප අවුරුදු දහස් ගණනක් කිසිවකුට යටත් නොවී සිටියේත් ඒ පදනම ශක්තිමත් නිසා. එහෙත් අපට ගිවිසුම් තේරෙන්නේ නැහැ. යක්‍ෂයන්ට තේරුණේත් නැහැ. 1815 දී සිදු වූයේ ගිවිසුමකින් රට ඉංගිරිසින්ට පවරා දීම. එහි දී උඩරට නිළමෙලා කළ වැරදි ද හේතු වුණා. ඔවුන්ගෙන් ඇතැමකු රජුට විරුද්ධ ව ඉංගිරිසින්ට එකතු වුණා. ඉතිහාසය පුරා අප එකකුට විරුද්ධව තවත් එකකු සමග එකතු වීමෙන් ලබා ඇති ජයග්‍රහණය කුමක් ද? බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි ව චීනය සමග එක් වීමෙන් අප ලබන්නේ පරාජයක් පමණයි. 



නිවන කියන්නෙ සංකල්පයක් නො වෙයි. නිවන් අවබෝධය යනු සියළු දැනුම්වල ඇති බොරුව, බොරුවක් බව අවබෝධ කර ගැනීම. එය කොන්ෆියුෂියස් ධර්මයෙහිවත් තාම්වාදයෙහිවත් මහායානයේවත් බ්‍රාහ්මණ ආගම්වලවත් යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහිවත් නැහැ. ඒ දැනුම් සියල්ල බොරු, අපේ නිර්මාණ. මා මූලික වශයෙන් ථෙරවාදය පිළිගන්නේ එහි සියලු දැනුම් පද්ධති ප්‍රතික්‍ෂෙප කෙරෙන නිසා. බුදුන් වහන්සේගේ ධර්මයෙහි ප්‍රවාද, වාද නැහැ. නිවන පරමාර්ථ සත්‍යයක් නො වෙයි. එය පරමාර්ථ සත්‍යයක් බවට පත් කෙරුණේ මහායානිකයන් විසින්. අපි මේ ගැන ඉදිරි සතිවල සාකච්ඡා කරමු.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 14