History

Wednesday, 12 July 2017

හේතුවලට හේතුව


හේතුවලට හේතුව



අප බොහෝ විට හේතු ගැන කතා කරනවා. යමක් සිදුවීමට හේතුව මේ යැයි අප කියනවා. අප එසේ හේතු සොයන්නේ ඇයි. එවැනි ප්‍රශ්නයක් ඇසීමත් හේතුවක් සෙවීමක්! අප අසන්නේ හේතු සෙවීමට හේතුව කුමක් ද කියා! යමක් සිදුවන්නේ කුමක් නිසා ද කෙසේ ද ආදී ප්‍රශ්න පිටුපස ඇත්තේත් හේතු සෙවීමක්. අප බොහෝ විට යම් සිද්ධියක් විස්තර කිරීමේදීත් හේතු කියනවා. අද අහවලා වැඩට පැමිණ නැත්තේ අසනීපයෙන් ආදී වශයෙන් අප විස්තර කරන්නේ හේතුවක් සහිත ව.




අපි ඒ කතාව ටිකක් විස්තරාත්මක ව සාකච්ඡා කරමු. අප දන්නේ යමකු වැඩට පැමිණ නැති බවයි. එය නිරීක්‍ෂණයක්. මේ නිරීක්‍ෂණ සරල යැයි හිතන්න එපා. එහි සංකල්ප රාශියක් තිබෙනවා. සංකල්ප නැතිව නිරීක්‍ෂණ නැහැ. යමකු කියන්නේත් සංකල්පයක්. වැඩ, පැමිණීම ආදියත් සංකල්ප. මේ සංකල්ප සංයුක්ත සංකල්ප. ඒ සියල්ල මනසින් පේන සංකල්ප. ඒවා පංචෙන්ද්‍රිය ගෝචරයි. වැඩට කියන එක වැඩ කිරීමට කියා ගත්තා ම සංයුක්ත වෙනවා. සංකල්පවලින් තොර සංජානන නැහැ.



එහෙත් සංජානනලින් තොර සංකල්ප තියෙන්න පුළුවන්. සමහර ඒවා මනසින් මවා ගන්නවත් බැහැ. ඒ වියුක්ත සංකල්ප. සරල රේඛාව වියුක්ත සංකල්පයකට උදාහරණයක් බව මා කීප වතාවක් කියා තිබෙනවා. සරල රේඛාවක් මනසින් මවා ගන්න බැහැ. අප කඩදාසියක අඳින්නේ සරල රේඛා නො වෙයි. ඒ අඳින්නේ සිහින් මෝල්ගස් කිව්වත් වරදක් නැහැ. සරල රේඛාවකට පළලක් ඝනකමක් නැහැ. එය අනන්ත දිගකින් යුක්තයි. අප බොහෝ විට සරල රේඛා ඛණ්ඩවලටත් සරල රේඛා කියනවා.



අහවලා වැඩට පැමිණ නැත්තේ ඇයි? අද නම් සමහර විට දුරකථන පණිවුඩයකින්, කෙටි පණිවුඩයකින් දැන ගන්න පුළුවන්. එහෙත් ලැබෙන පිළිතුර සම්මත ආකාරයෙන් ඇත්ත ද බොරු ද කියා අප දන්නේ නැහැ. තම ආච්චිගේ මරණය වෙනුවෙන් කිහිප වතාවක් නිවාඩු ගත් අය ගැන විහිළුවට වුවත් කතා තියෙනවා. මෙතන ඇත්තේ දත්ත හිඟයක්. අහවලා වැඩට පැමිණ නැහැ. එය සංයුක්ත අත්දැකීමක්. අප සොයන්නේ සංයුක්ත හේතුවක්. අසනීපයක්, ඥාතියකුගේ මරණයක්, දරුවා සමග පාසල් යෑමට සිදුවීම ආදිය හේතු වෙන්න පුළුවන්. අප අදාළ දත්තය දන්නවා නම් හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් අතට වැඩට නොපැමිණීමට එක් හේතුවකට වඩා තියෙන්න පුළුවන්.



කොහොමටත් හේතු සෙවිමේ දී දත්ත හිඟය බලපානවා. වෙනත් ආකාරයකට කියනවා නම් හේතුවලට හේතුවක් වන්නේ දත්ත හිඟයක්! අහවලා වැඩට නාවේ ඇයි ද කියා අප දැනගන්නේ කෙසේ ද? අප දුරකථන පණිවුඩය විශ්වාස කරන්නේ නැති නම් හොඳ ම දේ තමයි අදාළ පුද්ගලයාගේ නිවසට යෑම. ඔහු හොර ලෙඩ ගන්නත් බැරි නැහැ. එහෙත් අපට පුද්ගලයාගේ නිවසට ගියොත් දත්තයක් හෝ කිහිපයක් හෝ එකතු කර ගන්න පුළුවන්.



සංයුක්ත හේතුවලට අමතර ව වියුක්ත හේතුත් තියෙනවා. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ උද්ගමනය කෙරුණු නිරීක්‍ෂණවලට වියුක්ත හේතු නිර්මාණය කිරීම.  හේතුව කියන සංකල්පයත් වියුක්ත සංකල්පයක්. හේතුව කියන එක පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. හේතුව කියන සංකල්පය නිර්මාණය කිරීම දත්ත හිඟයත් එක්ක සම්බන්ධයි. දත්ත සියල්ල දන්නවා නම් හේතු අවශ්‍ය නැහැ. එහෙත් දත්ත නැති නිසා ම හේතු ඉල්ලන්න, නිර්මාණය කරන්න අවශ්‍ය ම නැහැ. හේතු නැති සංස්කෘතීන් තිබිලා තියෙනවා. වියුක්ත හේතු ඇත්තේ සංස්කෘතීන් කිහිපයක පමණයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ඉන් ප්‍රධානයි. අද එය ලෝක අධිපති සංස්කෘතිය නිසා අනෙක් සංස්කෘතීන්වලත් වියුක්ත හේතු තියෙනවා. ඒ වියුක්ත හේතු ඒ ඒ සංස්කෘතිවල නිර්මාණය වුණු දේ නො වෙයි. බටහිරයන් දීපු හේතු අනෙක් අයත් පුනරුච්චාරණය කරනවා. අපට හේතුවක් නිර්මාණය කරගන්න බැහැ. මෙරට බටහිර වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයට අවුරුදු එකසිය හතළිස්හතක් වුණත් ඩෙංගුවලට හේතුවක් අප දන්නේ නැහැ. ප්‍රතිකාරයක් දන්නේ නැහැ. කියුබාවේ ඕස්ත්‍රේලියාවේ වුණෙ මොකක් ද කියලා කියන්න දොස්තරලා පොත පෙරළනවා. දොස්තරලා කරන්නේත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමයි.



වස්තු පොළොවට වැටීම කියන උද්ගමනය කරන ලද නිරීක්‍ෂණයට වියුක්ත හේතුවක් නිව්ටන් ගෙතුවා. ඒ ගුරුත්වාකර්ෂණ බලය (ක්‍ෂෙත්‍රය). එය පංචෙන්ද්‍රිය ගෝචර නැති වියුක්ත සංකල්පයක්, වියුක්ත හේතුවක්. පසු කාලයක අයින්ස්ටයින් වෙන ම වියුක්ත හේතුවක් ගෙතුවා. නිව්ටන්ගේ හිතළුව, කතන්දරය කොතරම් සමාජයට ගොස් තිබෙනවා ද කියනවා නම් අද බොහෝ දෙනා වැටීම හා ගුරුත්වාකර්ෂණය එකක් ලෙස සලකනවා. වෙනත් වචනවලින් කියනවා නම් නිරීක්‍ෂණය හා එහි හේතුව එකක් බවට සැලකෙනවා. නිව්ටන්ට තිබූ ඒ වාසනාව අයින්ස්ටයින්ට නම් තිබුණේ නැහැ. ඔහුගේ අවකාශ කාල වක්‍රතාව හා වැටීම එකක් ලෙස සැලකෙන්නේ නැහැ.



බටහිර සංස්කෘතිය හේතු සොයන සංස්කෘතියක්. සෑම සංස්කෘතියක ම හේතු සොයන්නේ යැයි හිතන්න එපා. හේතු නොසොයන සංස්කෘතීන් තිබෙනවා. ඒ සංස්කෘතිවල ජනයා ජීවත්වෙනවා. ජීවිතය විඳිනවා. හේතු සොයන්නේ නැහැ. ඉර පායන්නේ ඇයි ද කියා අහන්නේ නැතිව ඉරත් සමග ජීවත් වෙනවා. ඔවුන් තමන් දන්නා දත්තවලින් සෑහීමකට පත් වෙනවා. දත්තවලට හේතු සොයන්නේ නැහැ. බටහිරයන් ඇමරිකා මහාද්වීපයට ගිය විට එහි ජීවත් වූ වැසියන්ට බටහිරයන් හේතු සෙවීම හා කාලය මැනීම (වෙලාව බැලීම) පුදුමයට කරුණු වුණා. ඔවුන් බටහිරයන් හේතු සොයන්නන් ලෙස ද හැඳින්වූවා.



හේතුව යන්න නිර්වචන කරන්න බැහැ. ඒ බව හියුම් නම් ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයාත් කියා තිබෙනවා. ඔහු එසේ කීවේ හේතුවේ ඇති වියුක්ත බව, හේතුව යන්න වියුක්ත සංකල්පයක් බව තේරුම් නොගෙනීම නිසා යැයි මා හිතනවා. මා දැන් ප්‍රකාශ කළේත් හේතුවක් බව පාඨකයනට තේරෙන්න ඕන.



දත්ත හිඟකම බොහෝ දේට බලපානවා. උද්ගමනය, වියුක්තය, ප්‍රවාද, බටහිර විද්‍යාව, ඇල්ගොරිතම ආදී බොහෝ දෙයට ප්‍රධාන හේතුව (නැවතත් හේතුව) දත්ත හිඟකම. පරිගණක ක්‍රියාකාරීත්වය වැඩිවත්ම දත්ත හිඟය අඩු වෙනවා. එවිට හේතු අනවශ්‍ය වන්නත් පුළුවන්.



මෙවැනි ලිපිවලින් සතපහක වැඩක් නැහැ. බොහෝ දෙනා මෙවැනි ලිපි කියවන්නේ නැහැ. ඒත් ජනමාධ්‍යයේ මට වෙනත් ලිපිවලට ඉඩක් නැහැ. ඒ කොහොම වුණත් දත්ත ගැන පස්සෙ තවදුරටත් කතා කරමු.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 ජූලි 12