History

Friday, 7 July 2017

සුමන්තිරන්ගේ ඉතිහාසය


සුමන්තිරන්ගේ ඉතිහාසය



සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරලා ඊනියා ප්‍රජාතන්තවාදයක් ගැන. ඔහු කියා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉහළින් ක්‍රියාකරන බලවේගයක් ඇති බවයි. මේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය ගැන භික්‍ෂූන් වහන්සේගේ මැදිහත්වීම සම්බන්ධයෙන් බව පැහැදිලියි. සුමන්තිරන් යනු චෙල්වනායගම්ගේ දේශපාලන අවතාරයයි. ඔවුන් දෙදෙනා ම දෙමළ ක්‍රිස්තියානි බැතිමතුන්. සුමන්තිරන්ට අනුව භික්‍ෂූන් වහන්සේ කසිකබල් මැති ඇමතිවරුන්ට යටවිය යුතුයි. සුමන්තිරන් දන්නා ඉතිහාසය කුමක් ද? මෙරට වෙල්ලාලයන්ගේ ඉතිහාසය 1650න් ඈතට යන්නේ නැහැ. සුමන්තිරන්ගේ තෝම්බුව සොයා ගැනීමට හැකි වුවහොත් පෙනේවි ඔහුගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණි දිනයත් ඔහුගේ පරම්පරාව මෙතෝදිස්ත වූ දිනයත්.




ඒ මදිවාට රාජිත හා ගාමිණී වියන්ගොඩත් කියා තිබෙනවා නව ව්‍යවස්ථාවකට 2015 ජනවාරි අටවැනි දා ඡන්ද ලක්‍ෂ හැටදෙකක් ලැබුණු බව. මෛත්‍රිපාල මේ කතාව පිළිගන්නවා ද? එදා ජනාධිපතිවරණයට තරග කෙළේ මෛද්‍රිපාල මිස රාජිත නො වෙයි. රාජිත රැස්වීම්වල කතා කරන්න ඇති. ඒ රැස්වීම්වල නව ව්‍යවස්ථාවක් ගැන කියන්නත් ඇති. එහෙත් ඒ එකක්වත් සතපහක් වටින්නේ නැහැ. වැදගත් වන්නේ මෛත්‍රිපාල කියා ඇති දේ පමණයි. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශයේ සඳහන් දේ පමණයි. වියන්ගොඩ යනු කවරකු දැයි දන්නේ රාජ්‍ය නොවන බත් බැළයන් පමණයි. ඔහු කියන දේ ජඩමාධ්‍යවලට වැදගත් වුණාට රටට වැදගත් නැහැ. ඔහු මහානායක හිමිවරුන් ජාතිවාදීන් යැයි කියනවා. මෙරට සිංහල බුද්ධාගමට හිමි විශේෂත්වය නැති කිරීමට ක්‍රියා කිරීමට කටයුතු කරන රාජ්‍ය නොවන සිවල් සාමාජිකයන් සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදීන්. වියන්ගොඩ ජාතිවාදීන්  යැයි කියන්නේ කාට ද? ඊනියා බහුතර ආධිපත්‍යයක් ගැන කතා කරන පඬියන් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය හිස් මුදුණෙන් පිළිගන්නවා. ලෝකය සම්බන්ධයෙන් ගත් කල එය සුළුතර ආධිපත්‍යයක්.



සුමන්තිරන් මෙන් ම රාජිතත් වියන්ගොඩත් සේවය කරන්නේ බටහිරයන්ට. සුමන්තිරන්ට අඩු තරමෙන් තමන්ගේ ආගමවත් තියෙනවා. ඔහුගේ සංස්කෘතිය ඉංගිරිසි ක්‍රිස්තියානි. ඔහු ඒ අනුව සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙනවා. භික්‍ෂු දේශපාලනයට විරුද්ධ වෙනවා. භික්‍ෂු දේශපාලනය කියන්නේ ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙ පක්‍ෂ දේශපාලනය නො වෙයි. ඕමල්පෙ හාමුදුරුවන්ගෙ දේශපාලනය චම්පක කියන අවස්ථාවාදියා සිංහල බෞද්ධ ජාතිකත්වය ගසා කෑමේ දී යොදා ගත් පාර්ලිමේන්තු දේශපාලනය. භික්‍ෂු දේශපාලනය අවුරුදු දෙදහකට වඩා මෙරට ක්‍රියාත්මක වූ දේශපාලනයක්.



රාජිතලා වියන්ගොඩලා ව්‍යාජ සමාජවාදියො. ඒකෙන් කියන්නෙ නැහැ දොස්තරලා, කාලෝ ෆොන්සේකා, දේශපාලන බලය සඳහා වැඩ කරන ඊනියා විද්වතුන්, ආණ්ඩු විරෝධී මාධ්‍ය ප්‍රධානීන් හා ඔවුන්ගේ අතවැසි නිවේදකයන් අවංක සමාජවාදීන් කියලා. මේ සියල්ලන් කරන්නේ දේශපාලනයක්. ඔවුන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලවත් දන්නේ නැහැ. කන්නන්ගර මහත්මයා නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කලිනුත් මෙරට සිංහල හා දෙමළ මාධ්‍යවලින් ඉගැන්වූ පාසල්වල නිදහස් අධ්‍යාපනය තිබුණා. මගේ දෙමව්පියන් ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. කන්නන්ගර මහතා කළ එක් දෙයක් වුණෙ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වූ රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිළේ ලබා දීමයි. එතුමා කළේ නැති බැරි අයට නොමිළේ ඉංගිරිසි අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැපයීමයි. එතුමා ඇති හැකි අයට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ අවස්ථා නැති කෙළේ නැහැ. අදත්, 1972 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසුවත් ශාන්ත තෝමස් ත්‍රිත්ව ශාන්ත ජෝසෆ් වැනි පාසල් පෞද්ගලික ව මුදල් අය කරන පාසල් හැටියට පවත්වාගෙන යන බව කාටත් වඩා හොඳින් ශන්ත ජෝසෆ් විදුහලේ කතෝලික අධ්‍යාපනයක් ලැබූ කාලෝ දන්නවා.



1972 දී මෙරට ඉංගිරිසි පාලනයක් නිල වශයෙන් තිබුණේ නැහැ. කාලෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙනුත් එක් මතයක දිගට ම හිටියේ නැහැ. මා ඔහුටත් පාදෙණියටත් සයිටම් ගැන වාදයකට එළඹෙන ලෙස නැවතත් අභියෝග කරනවා. චතුර අල්විස් විද්වත් මතය කියලා කියන්නෙ සයිටම් විරෝධී මතය පමණයි. සමහරවිට දෙරණට අනුව මා විද්වත් මතයක් ප්‍රකාශ නොකරනවා විය හැකියි. මා චතුර තරම් නම් විද්වතකු නො වෙයි. ඒත් ඔහු කාලෝ සහ පාදෙණිය සමග වාද පිටියක් සකස් කරනවා නම් සමාජවාදීන් හඳුනාගන්න පුළුවන්. මට තියෙන එක් ප්‍රශ්නයක් නම් මේ ජනමාධ්‍ය ප්‍රධනීන් පහුගිය ආණ්ඩුව කාලයේ සයිටම් විරෝධීන් නොවුණේ ඇයි ද කියන එක. ආණ්ඩු පෙරළීම සඳහා සයිටම් ඇද ගන්න එක හොඳ වැඩක් නො වෙයි. අද ඇතැම් ජාතිකවාදීන් මතයක් ප්‍රචාරය කරනවා මා ආණ්ඩුවට පක්‍ෂය කියා. මට ඒ බවක් කිව්වේ ප්‍රසිද්ධ හාමුදුරු නමක්. මා බොහෝ අය මෙන් නොව සමස්ත ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුුහයට ම විරුද්ධයි. රනිල් මේ සුපිරිව්‍යුහයේ මෙරට ප්‍රධාන නියෝජිතයා.



රාජීතගේ හා වියන්ගොඩගේ ව්‍යාජ සමාජවාදය අනුව ජාතිය වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් වන්නේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන පංතිය. එය කාල් මාක්ස්ගේ පට්ටපල් බොරු හිතළුවක් පමණයි. ඉතිහාසය යනු පංති සටනේ ඉතිහාසය යන මාක්ස්වාදී පචය විශ්වාස කරන මොවුන්ට සිංහල බෞද්ධ ඉතිහාසයේ භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය තේරෙන්නේ නැහැ. ඒ අතර ඔවුන් නව ව්‍යවස්ථාවකට පක්‍ෂ ව ලැබුණේ යැයි කියන ඡන්ද හැට දෙලක්‍ෂයක් ගැන කියවනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී කිසිවකු නව ව්‍යවස්ථාවකට ජන වරමක් ලබා දී නැහැ. එහි ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජන වරමක් පැතුවේ නැහැ.



කසිකබල් දේශපාලනඥයන් ඉංගිරිිසි යටත්විජිතවාදීන් ලබා දුන් පාර්ලිමේන්තු පක්‍ෂ දේශපාලනයට ගරු කරන්නේ නාමික ව. අවස්ථාවක් ලැබුණොත් ඔවුන් මැතිවරණ කල් දානවා. මැතිවරණවලට සහභාගි වන අයට දඬුවම් කරනවා. අද විවිධ හේතු දක්වමින් පළාත් පාලන මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා. එමෙන් ම අප අමතක නොකළ යුතුයි ජ වි පෙ කලකට පෙර මැතිවරණවල දී ඡන්දය දීමට ඉදිරිපත් වූවන් මරා දැමූ බව දැමූ බව. ජ වි පෙරමුණටවත් පසුව ඉන් කැඩි වෙන් වූ පක්‍ෂවලටත්  ඒ ඝාතන අමතක කිරීමට ඉඩ දෙන්න බැහැ. අඩු තරමින් ඒ එක් පක්‍ෂයක්වත් තමන් එදා වරදක් කළ බව පිළිගන්නවා ද? ජයවර්ධනපුර විද්‍යා පීඨයේ පිරිත කඩාකප්පල් කිරීමට පැමිණි සමාජවාදීන් ගැන ජනමාධ්‍ය හා ජාතිවාදීන් කතා නොකරන්නේ සයිටම් සමගිය නිසා ද? 



සුමන්තිරන්ලා පැමිණීමෙන් පසුවත් මෙරට තිබූ භික්‍ෂු දේශපාලනය ගැන සුළු අවබෝධයක්වත් මුතුකුඩ නාට්‍යය නරඹන්නේ නම් සුමන්තිරන්ට දැන ගත හැකියි. භික්‍ෂූන් වහන්සේ සිංහල ජාතියත් බුද්ධාගමත් සිංහල බෞද්ධ සංස්කෘතියත් රැක ගැනීමට පියවර ගත්තා. උන්වහන්සේගේ දේශපාලනය එයයි. උන්වහන්සේ රජුට යටත් වූයේ නැහැ. එංගලන්තයේ නම් රජු හෝ රැජින එංගලන්ත සභාවේ නායකයා. එහෙත් සිංහල රජු බුද්ධාගමේ නායකයා නො වෙයි. සංඝයා වහන්සේ රජුට උඩින් සිටියා. අදත් එහෙමයි. අද සංඝයා වහන්සේ ජනාධිපතිට ඉහළින් වැඩ වසනවා. ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේ බැහැ දැකීමට ජනාධිපති ඊයේ මහනුවරට ගිය එක එක් අතකින් හොඳයි. ජයවර්ධනපුර ලංකාවේ අගනුවර වෙන්න පුළුවන්. සිංහල බුද්ධාගමේ අගනුවර මහනුවරයි. අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ආදී වශයෙන් තිබුණු සිංහල බුද්ධාගමේ අගනුවර අද ඇත්තේ මහනුවරයි. එය කිසි දිනෙක කොළඹ වූයේ නැහැ.  සුද්දන් දළදා වහන්සේ කොළඹට වැඩම කිරීමට කටයුතු කෙළේ නැහැ. ජේ ආර්ට නම් ඒ ගැන අදහසක් තිබුණා. එහෙත් ක්‍රියාත්මක කළේ නැහැ. සුමන්තිරන් නොදන්නවාට අපට අගනුවර දෙකක් තිබෙනවා. දේශපාලනඥයන් හා ඔවුන්ගේ බඩගෝස්තරවාදී න්‍යාය පත්‍ර වෙනුවෙන් අද නම් ජයවරධනපුර එක් අගනුවරක්. ඔවුන්ට ඇත්තේ පක්‍ෂය හා තනතුරු රැකගැනීමේ දේශපාලනයක් මිස රට ජාතිය ආගම රැක ගැනීමේ දේශපාලනයක් නො වෙයි. රට ජාතිය ආගම රකින්නේ භික්‍ෂූන් වහන්සේ. රට පාවා දුන් පහතරට මෙන් ම උඩරට ද විවිධ නිළමෙලාගෙන් පසුව මේ වගකීම උන්වහන්සේ වෙත පමණක් පැවරිලා තියෙනවා. උන්වහන්සේගේ අගනුවර මහනුවරයි.



ජනාධිපති මහනුවර ගොස් භික්‍ෂූන් වහන්සේ බැහැ දැක්ක එක හොඳයි. එහෙත් ඔහු එහි දී රනිල්ගේ හා සුමන්තිරන්ගේ වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටීම හෙළා දැකිය යුතුයි. ජනාධිපති අගමැතිගේ හසුන්පත් ගෙන යන්නා පමණ ද? නව ව්‍යවස්ථාවක් නොගෙනන බවට ජනාධිපතිට භික්‍ෂූන් වහන්සේ හමුවේ දළදා සමිඳු අබියස ප්‍රකාශ කළ හැකි විය යුතුයි. මහා සංඝයා වහන්සේට නව ව්‍යස්ථාවේ දළ කෙටුම්පතක්වත් පෙන්වීමට අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ කිසිම කෙටුම්පතක් අවශ්‍ය නැහැ. අද කළ යුත්තේ නන්දිකඩාල් හි දී දේශපාලනික ව පරාජය කර ඇති දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතික ව අහොසි කරන එක පමණයි. දහතුන තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමයට අත නොතැබිය යුතුයි. අප ප්‍රතිපත්තියක් ලෙස ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධයි. එහෙත් දෙමළ ජාතිවාදීන්ට හා සිවල් සමාජකාරයන්ට අවශ්‍ය නිසා එය ඉවත් නොකළ යුතුයි. 



රනිල්ට හා සුමන්තිරන්ට මේ කිසිවක් නොගැලපෙන  බව පැහැදිලියි. එහෙත් මෙරට භික්‍ෂූ දේශපාලනය ඇති වූයේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ පරම්පරා ක්‍රිස්තියානි වීමට බොහෝ කලකට පෙර බව මතක් කර දිය යුතුයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා  



2017 ජූලි 07