History

Tuesday, 29 August 2017

ක්‍රිකට් හා ජත්‍යන්තර මට්ටම්  


ක්‍රිකට් හා ජත්‍යන්තර මට්ටම්





ජාත්‍යන්තර මට්ටමට යෑම ගැන අප නිතර කතා කරනවා. ජාත්‍යන්තර මට්ටමට ප්‍රවෘත්ති කියන්නත් අප කටයුතු කරලා. බටහිර රටවල අර ආයතනයේ මේ ආයතනයේ වැඩ කරන විද්වතුන් ගැන අප උදම් අනනවා. ඒ විද්වතුන් ලංකාවට නිවාඩුවකට ආවම ජනමාධ්‍යයේ ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ අය අපට තම නිහතමානී බව ආඩම්බරයෙන් පෙන්නලා යනවා. අපට මොන තරම් සතුටක් ද? බටහිර විද්‍යාවේ ඉහළට ගිය අය ගැන ජනමාධ්‍යවල වාර්තා වෙනවා. ඒත් මේ එක් අයකුටවත් තවම නොබෙල් තෑග්ගවත් බටහිර ගණිතයෙ වයස අවුරුදු හතළිහට අඩු අයට  ලැබෙන ඉහළ ම සම්මානය වූ ෆීල්ඩ්ස් පදක්කමවත් දිනා ගැනීමට බැරි වෙලා. ඔවුන්ට අඩුම තරමෙන් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්වත් ලබා ගැනීම අපහසු කටයුත්තක් වෙලා. එහි අධිසාමාජිකත්වයක් ලබා ගෙන ඇත්තේ එකම එක සිංහලයකු පමණයි. එයත් සංකල්පයක් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නො වෙයි. වයිරසයක් හඳුනාගැනීම සම්බන්ධයෙන්. සිනමාවේ නොයෙකුත් ජාත්‍යන්තර තෑගි දිනාගන්නන් ගැන ජනමාධ්‍යයේ කියැවෙනවා. ඒ බොහෝ විට සිංහලයන්ට, රණවිරුවන්ට විරුද්ධව චිත්‍රපටි නිපදවන්නන්ට. මේ කිසිවකුට ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමට බැරි වෙලා.




අප ජීවත්වන්නේ, අඩුම තරමෙන් ජීවත්වන්න උත්සාහ කරන්නේ සුද්දන්ට (බටහිරයන්ට) අවශ්‍ය විධියට. ජාත්‍යන්තර ප්‍රමිති නිර්මාණය කරන්නේ අපේ ප්‍රමිති ආයතනය නො වෙයි. ප්‍රමිති ආයතනය කරන්නෙත් මූලික වශයෙන් බටහිර ප්‍රමිති අනුකරණය කිරීම. සිංහල වෙදකමෙන් කෘෂිරසායනික වකුගඩු රෝගය සුව කරන්න පුළුවන්. ඒත් ඒ බව පිළිගැනීමට වගකිව යුත්තන් කැමති නැහැ. සිංහල වෙදකමෙන් ඒ රෝගය සුව කළ බව අප සුව වූ රෝගීන් ලවා පෙන් වූ විට ජනමාධ්‍ය ආයතනයක් ඒ බව කීමට බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතික ඉල්ලුවා. රෝග සුව විය යුත්තේත් ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව!



අප එන්න එන්න නිර්මාණශීලිත්වයෙන් පිරිහෙනවා. කලකට පෙර අප හැඳි ගෑරුප්පුවලින් බත් කෑවා. එකල අනුකාරකයන්ට යම් නිර්මාණශීලිත්වයක් තියෙන්න ඇති. පිහියෙන් බත් කන්න බැරි බව ඔවුන් තේරුම් ගන්න ඇති. අද ඉන්න අනුකාරකයන් බත් කන්නේ ගෑරුප්පුවෙන් හා පිහියෙන්. ඒ සුද්දන් කන්නේ ගෑරුප්පුවෙන් හා පිහියෙන් නිසා. සුද්දන් සුප් කෑමට නම් හැන්දක් පාවිච්චි කරනවා. මතක තබා ගන්න ඔවුන් සුප් බොන්නේ නැහැ, සුප් කනවා. අප තවමත් සුප් බොනවා. හාමුදුරුවන්ට සුප් බීමට තමයි අප තවමත් පිළිගන්වන්නේ.



අප හෝටල්වල ෆයිව් කෝස් මීල්ස් ගන්නවා. ඒත් සමහර වෙලාවට අපට කෝසස් පිළිවෙළ පැටලෙනවා. අප බස් එක ගන්නවා. කෝච්චිය අල්ලනවා. මිස්ඩ් (මිස්) කෝල්ස් ගන්නවා. මිස් වූ දේ ගැනීමට තරම් අප දක්‍ෂයි. එහෙම නැත්නම් අනාගතයේ දී මිස්ඩ් කෝල්ස් දෙනවා. සුද්දන්ගේ අධ්‍යාපනය බෞද්ධ කියන පාසල්වලත් ලබා දෙනවා. බුදුදහමත් ජාත්‍යන්තර මට්ටමට ඉදිරිපත් කරනවා. ඒත් ථෙරවාද බුදුදහම ජාත්‍යන්තරයේ පැතිරෙන්නේ නැහැ. වැඩිම වුවොත් මහායානය ටිකක් පැතිරේවි. ඒත් අප ජාත්‍යන්තරය බුදුදහම වැළඳ ගැනීම ගැන පුරසාරම් දොඩනවා.



අප මෝටර් රථවල ගමන් කරනවා. ඒත් පාරෙ මෝටර් රථ පදවන්න දන්නෙ නැහැ. හන්දිවල රථ හිර කරගෙන අනෙක් අයට බැණ බැණ ඉන්නවා. අපට පිළිවෙළක් නැහැ. පෝලිමේ ජාත්‍යන්තර මට්ටමට ඉන්න බැහැ. අප පෝලිම පනිනවා ඒ අතර ජාත්‍යන්තර මට්ටම ගැන කතා කරනවා. ඉංගිරිසියෙන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් කියන නිසා සිංහලෙන් ද නෝනාවරුනි මහත්වරුනි කියනවා. සමහර රැස්වීම්වල නෝනලා නැති වුණත් එහෙම ආමන්ත්‍රණය කරනවා. මේ ලැයිස්තුව මීට වඩා දිගයි. අප අපේ තිබූ පිළිවෙළ නැති කරගෙන. සුද්දන්ගේ පිළිවෙළත් අරගෙන නැහැ.  



මා මේ ටික වුනත් කිව්වෙ ක්‍රිකට් ගැන වචනයක් දෙකක් කියන්න. අප ක්‍රිකට්වලින් පමණයි ඊනියා ජාත්‍යන්තර මට්ටමට ගියේ. අද නම් අප තරමක් පහළට ගිහින්. වරද කාගෙ ද කියන්න මට හරියට ම බැහැ. එහෙත් ආනා පුංචිහේවා, ඩේව් වට්මොර්, අර්ජුන රණතුංග සුසංයෝගය අද නැති බව කාටත් තේරෙනවා. ක්‍රිකට් අද දේශපාලනය වගේ ම රස්සාවක් වෙලා. එය පාලකයන්ටත් ක්‍රීඩකයන්ටත් පොදුයි. දේශපාලනඥයන් ක්‍රිකට් පාලකයන් වෙනවා. ක්‍රීඩකයන් දේශපාලනඥයන් වෙනවා. ප්‍රේක්‍ෂකයන්ට දිගින් දිගට තරග පැරදීම දරා ගන්න බැහැ. ඉවසීම නැහැ. මෙහි දී ද අප ඉන්දියාව පකිස්ථානය අනුකරණය කරනවා. ක්‍රීඩකයන්ට හූ කියනවා. බෝතල් ආදිය ක්‍රීඩා පිටියට විසි කරනවා.



ප්‍රබුද්ධයන්ට මෙය ප්‍රශ්නයක්. ප්‍රේක්‍ෂක හැසිරීම ගැන ඔවුන් දිගින් දිගට ලියනවා. ඒත් ජාත්‍යන්තරය පැත්තෙ ඉඳන්. අපට ජාත්‍යන්තරයෙ තිබුණු ප්‍රේක්‍ෂක හැසිරීම  පිළිබඳ චරිත සහතිකය නැති වේය කියලා ඔවුන්ට බයක් ඇති වෙලා. පාසල්වල ක්‍රීඩා ගැන කියන කොට ජය පරාජය එක ලෙස පිළිගන්න කියලා උගන්වනවා. ඒ බටහිර ඉගැන්වීමක්. අපට අපේ ඉගැන්වීම් කියලා දෙන්නේ නැහැ. අපට අපේ ඉගැන්වීම් අමතක වෙලා හුඟක් කල්. අප අතරමං වෙච්ච ජාතියක්.



අපට ක්‍රිකට් බටහිරින් ලැබුණත් අප එය යම් ප්‍රමාණයකට නිල නොවන ජාතික ක්‍රීඩාව බවට පත් කර ගෙන. වොලිබෝලුත් පාපන්දුත් අපට පිටින් ලැබුණු දේ. ලෝකයේ බොහෝ රටවල් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒත් අප පාපන්දු ක්‍රීඩාවට එතරම් වැදගත් තැනක් දෙන්නේ නැහැ.  වාසනාවකට චීනය, ජපානය, එක්සත් රාජ්‍ය, බොහෝ යුරෝපීය රටවල්, දකුණු ඇමරිකානු රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට තැනක් දෙන්නේ නැහැ. කොහොම වුණත් අප තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් පහළට ගියත් ජාත්‍යන්තර තලයේ. අප සුපිරි රටවල් අට අතර ඉන්නවා.  අපට අද ප්‍රශ්නය වෙලා තියෙන්නෙ ප්‍රේක්‍ෂකයන් ජාත්‍යන්තර මට්ටමේ තලයට නැති වීම. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙ දී හරි ඕස්ත්‍රේලියවෙ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙ (MCG) දි හරි ප්‍රේක්‍ෂකයන් හැසිරෙන විධියට දඹුල්ලෙ දි පල්ලෙකැලේ දී හැසුරුණෙ නැත්තෙ ඇයි?  අපේ පඬිවරුන්ට ඇති ප්‍රශ්නය ඒකයි. අපේ ජාත්‍යන්තර මිතුරන් අප ගැන මොනවා හිතයි ද? මේ හැසිරීම ජී එස් පී + සහනයට බලපායි ද? ජෙනීවාහි මේ ගැන ප්‍රශ්න කරයි ද?



අපට ඇත්තේ බටහිර සදාචාරය ගැන ප්‍රශ්නයක්. අපට ඒ සදාචාරය අමතක කරලා උපේක්‍ෂාව, ඉවසීම ගැන කියන්න බැරි ඇයි? අප සුද්දන් එන්න ඉස්සර ක්‍රීඩා නොකළ අය නො වෙයි. අපට පාසලේ දී උපේක්‍ෂාව ඉවසීම උගන්වන්නෙ බුද්ධාගම පාඩමේ විභාගයට කටපාඩම් කළ යුතු කුඩා කොටස් ලෙස පමණයි. ඒ  අපේ ජීවිතයෙ අංග කර ගන්න උගන්වන්නෙ නැහැ. අපට අද හෙට උපේක්‍ෂාව ඉවසීම උගන්වන්න බැරි වේවි. කාට හරි අහන්න පුළුවන් මට උපේක්‍ෂාව ඉවසීම තියෙනවා ද, නැත්නම් මා උපේක්‍ෂාව ඉවසීම උගන්වන්න දරුවන්ට පොත් ලියලා තියෙනවා ද කියලා. ඒ සියල්ලට ම පිළිතුරු නැහැ කියන එකයි. ඒත් මා දන්න කරුණක් තමයි පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙ දි ඊනියා ජාත්‍යන්තර මට්ටමකට යන්න මිසක් ජාතික මට්ටමකට යන්න උත්සාහ නොදරණ බව. ක්‍රිකට් අපේ නිල නොලත් ජාතික ක්‍රීඩාව බවට පත්කරන්න නම් පළමුව එහි ජාතික සදාචාරයක් තිබිය යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 29