History

Tuesday, 12 September 2017

විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය


විග්නේස්වරන්ගේ පුහු කතා හා මාධ්‍ය



ඊයේ සැප්තැම්බර් 11. මෙරට පඬියන්ට එය අමතක වුණා ද? ඔවුන් හා මාධ්‍ය පඬියන් තම සුපුරුදු පඬි බව ප්‍රදර්ශනය කරමින් එ ගැන කතා කෙළේ 9/11 යනුවෙන්. දළදා මාළිගාවට පහර දීම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ ඝාතන අමතක වුවත් පඬියන්ට 9/11 අමතක වුණේ නැහැ. පඬියන්ට ඊයේ 9/11 අමතක වුණා ද? ඔවුන් දැන් ඊනියා ජාත්‍යන්තරවාදයෙන් කැඩිල ද? මට නම් 9/11 මතක් වෙන්නේ මෙරට මාධ්‍යයේ දීන බව විදහා දැක්වුණු සිද්ධියක් ලෙස.




9/11 අමතක වුණත් මාධ්‍ය තව තවත් පිරිහෙනවා. අද මාධ්‍ය පුරුදු වෙලා තියෙන්නේ දේශපාලනඥයකු රැස්වීමක හෝ හමුවක දි හෝ කියන දේට වඩා ඉන් පසු මාධ්‍යයට දෙන ප්‍රකාශ ප්‍රචාරය කරන්න. ඉන් සිදු වන දෙයක් නම් අදාළ දේශපාලනඥයා රැස්වීමේ දී හෝ හමුවේ දී හෝ කී දේ අපට නොඇසීමයි. එහෙමත් නැත්නම් මාධ්‍යට කරන ප්‍රකාශ රැස්වීමේ දී කරන ලද ප්‍රකාශ ලෙස අසන්නන් වැරදියට වටහා ගැනීමට ඉඩක් තිබීමයි.



පහුගිය දා විග්නේස්වරන් මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. ඔහු ඉන්පසු මාධ්‍යට ප්‍රකාශ කරමින් ඉතා භයානක දෙයක් කිව්වා. දැන් මතයක් ප්‍රචාරය වන්න පුළුවන් මහානායක හිමියන් විග්නේස්වරන් කී ප්‍රකාශය ගැන කිසිම අනුශාසනාවක් නොකළ බවට. එය රටටත් මහානායක හිමිවරුන්ටත් අනුනායක හිමිවරුන් ඇතුළු විග්නේස්වරන් මුණ ගැසුණු හිමිපාණන් වහන්සේටත් හොඳ නැහැ.   



එහෙත් වාසනාවකට ඊයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ චරිතාපදානය එළිදැක්වූ රැස්වීමේ දී මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් තමන්වහන්සේගේ අනුශාසනයේ දී විග්නේස්වරන්ගේ ඒ මාධ්‍ය ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කළා. උන්වහන්සේගේ ප්‍රකාශයට මාධ්‍යවලින් නිසි ප්‍රචාරය ලැබේවිය කියා පතනවා. උන්වහන්සේ එහි දී රටේ ඒ ඒ කොටස්වල ඒ ඒ ජනවර්ගවලට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතු බව සඳහන් කළා. විග්නේස්වරන්ගේ ප්‍රකාශය මහානායක හිමිවරුන්ට පැවසූ දෙයක් නොවන බවත් අපට පසුව දැන ගැනීමට ලැබුණා.



විග්නේස්වරන් නම් දෙමළ ජාතිවාදියා කියා සිටියේ සිංහලයන් තමන් රටේ බහුතරය බැවින් රටේ කටයුතු තමන්ට අවශ්‍ය අන්දමට සිදු විය යුතු යැයි සිතන බව. ඒ සමග ඔහු කියා සිටියේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා බහුතරය බැවින් ඒ පළාත්වල කටයුතු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට සිද විය යුතු බව. මේ තර්කය හා නිගමනය පැහැදිලි නැහැ. එසේ ම මෙයට අදාළ ව පරස්පරත් තිබෙනවා. විග්නේස්වරන් මේ ප්‍රකාශය මහානාහිමිවරුන් ඉදිරියේ කර නැහැ. ඔහු දැන් මහානායක හිමිවරුන්ගේ අදහස් සමාන නොවන බව කියනවා. විග්නේස්වරන් මේ කතා කියන්නේ තමා හා සම්බන්ධන් අතර ඇති වෙනස්කම් අමතක කරමින්.



විග්නේස්වරන් බහුතර මතය ගැන කියන දේ පැහැදිලි නැහැ. ඔහු කියන්නේ සිංහලයන් රටේ බහුතරය බැවින් තමන්ට අවශ්‍ය අන්දමට රටේ කටයුතු සිදුකළ යුතු බව කියන නිසා උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාට තමන්ට කැමති ආකාරයට කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ද? ඒ සඳහා සහසන්ධීය රාජ්‍යයක් අවශ්‍ය බව ද? ඔහු රට ගැන එක් ප්‍රකාශයක් කරනවා. උතුරු හා නැගෙනහිර පළාත් ගැන තවත් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශ අතර ඇති සම්බන්ධය කුමක් ද? විග්නේස්වරන් දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව පවසන්නේ රටේ කටයුතු සිංහලයන්ට අවශ්‍ය අන්දමට කිරීමට ඉඩ තිබිය යුතු යැයි පිළිගනිමින් ද? දැන් ප්‍රශ්නයක් වන්නේ උතුරු හා නැගෙනහිර පළාත් රටට අයත් නැත් ද යන්නයි.



සිංහලයන් තමන් රටේ බහුතරය නිසා රටේ කටයුතු තමන්ට අවශ්‍ය අන්දමට සිදු විය යුතු යැයි කියා නැහැ. ඒ බවක් කියන්නේ විග්නේස්වරනුයි. සිංහලයන් කියන්නේ මෙරට සිංහල බුද්ධාගමට (සිංහල බෞද්ධ සංස්කෘතියට) හිමි විශේෂත්වය දිය යුතු බවයි. සිංහලයන් විග්නේස්වරන් කියන දේ කියන්නේ නම් හා විග්නේස්වරන්  එයට එකඟ වන්නේ නම් හා උතුරු නැගෙනහිර පළාත් රටේ කොටස් නම්, විග්නේස්වරන්ට එකඟ වන්න වෙනවා උතුරු හා නැගෙනහිර පළාත්වලත් සිංහලයන්ට අවශ්‍ය අන්දමට කටයුතු කළ යුතු බවට. විග්නේස්වරන්ට සිංහලයන්ගේ ඊනියා කියුමට එකඟ වී උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ දිය යුතු යැයි ඉල්ලීමට බැහැ. ඒ ඉල්ලීමට පදනම්වන තර්කය කුමක් ද? උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරය දෙමළ ජනයා බව ද?



එහෙත් ඒ තර්කය සමස්ත රටත් සමග ගත් විට වලංගු වන්නේ නැහැ. අනෙක් අතට විග්නේස්වරන්ගේ තර්කය දිගින් දිගට ගෙන ගියහොත් රටේ ඒ ඒ ප්‍රදේශවල බහුතරයට අවශ්‍ය අන්දමට ඒ ඒ ප්‍රදේශවල කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවට එකඟ වන්න වෙනවා. එය ප්‍රාදේශීය සභාවලටත් වලංගු වෙනවා. එපමණක් නොවෙයි ප්‍රාදේශීය සභාවක යම් ග්‍රාමසේවක කොට්ඨාශයක බහුතරය ප්‍රාදේශීය සභාවේ සමස්ත බහුතර ජනවර්ගය (ජාතිය) නොවේ නම් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයට වෙන ම ප්‍රාදේශීය සභාවක් ඉල්ලීමටත් අයිතියක් තිබෙනවා. විග්නේස්වරන්ගේ තර්කය ඉදිරියට ගෙන ගියහොත් කුමක් සිදුවේ ද?



කොහොමටත් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා බහුතරය වුවත් නැගෙනහිර පළාත පමණක් ගතහොත් එහි බහුතරය දෙමළ නො වේ. මුස්ලිම් ජනයා දෙමළ බසක් (මලයාලම් වචන සහිත) කතා කරන නමුත් දෙමළ ජනවර්ගයට අයත් නැහැ. මෙය දහනවවැනි සියවසේ සිට එන ප්‍රශ්නයක්. රාමනාදන් තමා මුස්ලිම් ජනයා ද නියෝජනය කරන බව කීවත් අබ්දුල් අසීස් වැනි මුස්ලිම් නායකයන් එයට එකඟ වූයේ නැහැ. හැරත් අද වන විට මුස්ලිම් ජනයා දෙමළ බසක් කතාකරන තත්වයේ සිට සිංහල කතාකරන තත්වයකට පත්වෙමින් ඉන්නවා. එවිට විග්නේස්වරන් කියන්නේ කුමක් ද? ඔහුගේ හා වෙනත් දෙමළ නායකයන්ගේ තර්ක පදනම් වන්නේ මුස්ලිම් ජනයා දෙමළ කතාකරන ජනවර්ගයක් ය යන්න මත. 



අනෙක් අතට විග්නේස්වරන් සිංහලයන් තමන් බහුතරය නිසා රටේ කටයුතු තමන්ට අවශ්‍ය අන්දමට සිදු විය යුතු බවට කරන්නේ යැයි කියන ප්‍රකාශයට එකඟ වන්නේ නැත්නම් ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල කටයුතු තමන් බහුතරය නිසා දෙමළ ජනහයාට අවශ්‍ය අන්දමට සිදු විය යුතු යැයි කියන්නේ කොහොම ද?



බලය විමධ්‍යගත කිරීමට ඉල්ලීමට දෙමළ ජාතීිවාදීන්ට, පඬියන්ට, බටහිරයන්ට, රෝ ඒජන්තයන්ට  කිසිම පදනමක් නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට තවමත් පිළිතුරක් නැහැ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 12