History

Wednesday, 13 September 2017

අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම  


අපේ දැනුම හා ඔවුන්ගේ දැනුම





බටහිර විද්‍යාව ඇතිවුණේ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඇති වුණු චින්තන විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස බව අප බොහෝ විය කියා තිබෙනවා. ගැලීලියෝ බටහිර විද්‍යාවේ පුරෝගාමියා ලෙස බොහෝ විට හැඳින්වෙනවා. ඔහු මියගියේ 1642 දී. නිව්ටන් උපන්නේත් 1642 දී. බටහිර විද්‍යාව ඇරඹුණේ බටහිර චින්තන විප්ලවය ඇරඹී අවුරුදු දෙසියකට පමණ පසුව. මේ අවුරුදු දෙසියෙහි මාටින් ලූතර්, ජෝන් කැල්වින් වැනි අය කතෝලික පල්ලියට විරුද්ධ ව ප්‍රොතෙස්තන්ත විප්ලවය ඇරඹුවා. අද විවිධ ක්‍රිස්තියානි නිකාය තිබෙනවා. අප වඩාත් ම දන්නේ ලන්දේසින් අපට ගෙනා රෙපරමාදු ආගම, ඉංගිරිසින්ගේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත ආගම්. මැවුම් කරුවකු ගැන කතා කළත් නැතත් අප අද ආගම යන්න ව්‍යවහාර කරන්නේ බටහිරයන්ගේ අරුතෙන්. දැන් යෙහෝවාගේ සාක්‍ෂි කාරයන් ආදීන් ගැනත් දන්නවා. මේ සාක්‍ෂි කාරයන් දේශපාලනඥයන් අතර ඉන්නවා.




පහළොස්වැනි සියවසේ සිදු වූ චින්තන විප්ලවයේ දී සිදු වුණේ කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට මාරු වීමයි. කතෝලික චින්තනයෙහි බටහිර විද්‍යාවක් බිහි වූයේ නැහැ. එහෙත් වෙනත් දැනුම් නිර්මාණය වුණා. චින්තන විප්ලවයේ දී පැරණි ග්‍රීකයන්ගේ මෙන්ම යුදෙව්වන්ගේ චින්තනයෙන් ද අංග ලබා ගැණුනා. එහි ක්‍රිස්තියානි කොටසකුත් තිබුණා. කතෝලික ආගමෙන් කැඩී ක්‍රිස්තියානි ආගම් ඇති වුණේ 1517න් පසුවයි. පෞද්ගලිකත්වය ඉස්මතු වීම වැනි ක්‍රිස්තියානි අංග ද නව චින්තනයෙහි තිබෙනවා. ක්‍රිස්තියානි ආගම් ඇති වීමට පෙර ක්‍රිස්තියානි චින්තනය ඇති වුණා. මේ සියල්ල සැලකිල්ලට ගෙන අප නව චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හැඳින්වූවා. ඉතාලියේ පිරෙන්ට්සි (ඉංගිරිසින්ට අනුව ෆ්ලොරන්ස්) නගරයෙහි කලා ශිල්ප මේ නව චින්තනයෙහි මුල ලෙස සලකන්න පුළුවන්.



බටහිර විද්‍යාව ඇති වුණේ මේ නව චින්තනයෙහි. ග්‍රීකයන්ගේ ස්වසිද්ධාත්මක ක්‍රමය බටහිර විද්‍යාවේ තිබෙනවා. එමෙන් ම යුදෙව් චින්තනයේ වියුක්ත බවත් එහි තිබෙනවා. මේ සියල්ල අප පසුගිය අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ කියා ඇති නමුත් ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ඒ කිසිවක් දන්නේ නැහැ. විශේෂයෙන් ම පිටරට, ඉනුත් බටහිර රටවල ඉන්නා අය මේ ගැන දන්නේ නැහැ. ඇරිස්ටෝටල්, යුක්ලීඩ්, ආකිමිඩීස් ආදීන් අපට බටහිර විද්‍යාවේ හමුවෙනවා. ඔවුන්ගේ ස්වසිද්ධාත්මක ක්‍රමය, යුදෙව්වන් තරමට නැති වුවත් වියුක්තය, ද්විකෝටික න්‍යාය ආදි වත්මන් බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුමෙහි දැක ගන්න පුළුවන්. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ පැරණි ග්‍රීකයන් අතර  බටහිර විද්‍යාව තිබුණා ය කියා. බටහිර චින්තන විප්ලවය සිදු වී අවුරුදු දෙසියයක් පමණ වන තුරු බටහිර විද්‍යාව ඇති වුණේ නැහැ.



අපට බටහිර විද්‍යාව ප්‍රධාන වශයෙන් ම ලැබුණේ ඉංගිරිසින්ගෙන්. අප වැව් බැන්දේ චෛත්‍ය නිර්මාණය කෙළේ අකුණු සන්නායක සවි කෙළේ බටහිර විද්‍යාව ඇසුරෙන් නො වෙයි. එහි යම්කිසි වෙනත් දැනුමක් තිබුණා. මේ දැනුම තාක්‍ෂණිකයි. එහි ශීල්පීය අංශය ශාස්ත්‍රීය අංශයට වඩා බලවත්. බටහිර විද්‍යාවේ වැනි ප්‍රවාද අපට තිබුණේ නැහැ. බටහිරයන් පැමිණීමෙන් පසුවත් අපට ඒ ප්‍රවාද නිර්මාණය කරන්න  බැහැ. වියුක්ත ප්‍රවාද නිර්මාණය අපේ සංස්කෘතියේ නැහැ. අපට වියුක්ත ප්‍රවාද යම් තරමකට ඉගෙන ගන්න පුළුවන්. එහෙත් නිර්මාණය කරන්න බැහැ. මා බටහිර විද්‍යාඥයකු යැයි කියන්නේ එවැනි වියුක්ත ප්‍රවාද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කළ හැකි අයකුට මිස බටහිර විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා ගත් අයකුටවත් මෙරට හෝ පිටරට හෝ විශ්වවිද්‍යාලයක විද්‍යා විෂයක මහාචාර්ය පදවියක් ලබාගත් අයකුටවත් නො වෙයි. මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි බව අවුරුදු හතළිස්අටකට පෙර මා තේරුම් ගත්තා. මෙරට කිසිම සිංහල බෞද්ධයකුට බටහිර විද්‍යාඥයකු වීමට බැරි වී තිබෙනවා. ඒත් ඔවුන් ඒ බව පිළිගන්නේ නැහැ.



සිංහල වෙදකමට, අපේ පැරණි වැව් බැඳීම ආදියට පදනම් වී ඇති චින්තනය කුමක් ද? මා එය සිංහල බෞද්ධ චින්තනය ලෙස හඳුන්වනවා. සිංහල වෙදකමත් තාක්‍ෂණික දැනුමක්. බටහිර වෛද්‍ය විද්‍යාවත් ඉංජිනේරු විද්‍යාවත් බටහිර තාක්‍ෂණික දැනුම්. ඒ දැනුම්වලට ඇතැම් විට බටහිර විද්‍යාව අවශ්‍ය වනවා විය හැකියි. එහෙත් ඒ බටහිර විද්‍යා නො වෙයි. සිංහල බෞද්ධ දැනුමෙහි වියුක්ත ප්‍රවාද නැති තරම්. අපේ පැරණි දැනුම් අප ලබාගෙන ඇත්තේ ඊනියා පර්යේෂණ කිරීමෙන් නො වෙයි. අප දැනුම ලබා ගෙන ඇත්තේ අත්දැකීමෙන් හා ආධ්‍යාත්මික ව. ඇතැම් විට අදෘශ්‍යමාන ප්‍රණින්ගෙන්. ඕනෑම අයකුට අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග සන්නිවේදනය කිරීමට හරි ආධ්‍යාත්මක ව ඉහළ තලයකට ගොස් හරි දැනුම ලබාගත හැකි යැයි හිතන්න එපා. මට හැඟෙන විධියට එය බටහිර විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම තරම් පහසු නැහැ.



දැනටත් මෙරට එසේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගත හැකි අය ලංකාවේ ඉන්නවා. ඒ වගේම එසේ කළ හැකි යැයි පවසන හොරුත් ඉන්නවා. හොරු සිටි පමණින්  හොරු නොවන්නන් නැතැයි නිගමනය කරන්න බැහැ. සිංහලයන්ගේ දැනුමෙහි සහතික පත් දීමක් නැහැ. ඉඳහිට අයකුට දෙන්නකුට චක්‍රවර්ති ආදී නමක් පටබැන්දා පමණයි. යමකුට දැනුමක් ඇත් ද නැත් ද යන්න ප්‍රායෝගිකව ම දැන ගත්තා. වෙද මහතකුට රෝගීන් සුව කළ හැකි නම් කිසිවකු ඔහුගේ සහතිකය රාමු කර බිත්තියේ එල්ලා තැබීමට කීවේ නැහැ. රෝගීන් සුව වීම තමයි නිර්ණායකය වූණේ. මොන සහතික තිබුණත් නැතත් රෝගීන් යන්නේ රෝග සුව කළ හැකි අය වෙත.



ආයුර්වේද වෙදමහතුන්ට සහතික පත් තිබෙන නමුත් සිංහල වෙදමහතුනට තම ගුරුවරයාගෙන් ලැබෙන නිල සහතිකයක් නැහැ. අද සිංහල වෙද මහතුන්වත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියා පදිංචියකට භාජනය කරනවා. ඒ විවිධ නිල කාර්යයන් සඳහා මිස රෝගීන්ගේ දැන ගැනීම සඳහා නො වෙයි. රෝගීන් වෙදමහතා ලියා පදිංචි ද නැද්ද කියා අහන්නෙ නැහැ. අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළියම් කිරීමේ දී මේ පිළිගැනීම් ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වුණා. වකුගඩු රෝගය ඇති වන්නේ කෙසේ ද යන්න මෙන් ම එයට පිළියම් ද අප දන්නවා (මෙය මගේ පෞද්ගලික දැනුමක් නො වෙයි. මට එවැනි හපන්කමක් බැහැ). මහවිලච්චිය ප්‍රදේශයේ එසේ වෙදකම් කිරීමෙන් පසුව රෝගීන් යම් ප්‍රමාණයක් සුව පත් වුණා. අපට ඒ බව වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ට දැන්වීමට අවශ්‍ය වුණා. අප එ සඳහා එක්තරා මාධ්‍ය ජාලයකින් උපකාර ඉල්ලුවා. ඔවුන්ගේ නියෝජිතකයකු අපත් සමග මහවිලච්චියට ගොස් රෝගීන් හා සුව වූවන් මුණ ගැසුණා. එහෙත් මාධ්‍ය ජාලය රෝගීන් සුවපත් වී ඇති බවට බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතික ඉල්ලුවා. අප ඒ ලබා දීම ප්‍රතික්‍ෂෙප කළා. අපට සිංහල වෙදකම බටහිර වෙදකමේ ආධිපත්‍යයට යට කරන්න වුවමනාවක් තිබුණේ නැහැ.



සිංහල වෙදකමට හරි පොදුවේ සිංහල දැනුමට හරි මෙරට තැනක් නැහැ. දේශපාලන වේදිකාවල කෑ ගැසීමෙන් ඒ තැන ලබාදෙන්න බැහැ. ප්‍රශ්නය එයට වඩා බරපතලයි. අප එක් පැත්තකින් බටහිර දැනුම් ආධිපත්‍යයටත් තවත් පැත්තකින් කෞටිල්‍යවාදී බ්‍රාහ්මණවාදී ඉන්දියානු දැනුම් ආධිපත්‍යයකටත් යටත් වී සිටිනවා. බ්‍රාහ්මණවාදී දැනුමත් යම් ප්‍රමාණයකට වියුක්තයි. වෛදික ගණිතය බටහිර ගණිතය තරම් වියුක්ත නැහැ. එහි ඇත්තේ ප්‍රමේයවලට වඩා සූත්‍ර. එහෙත් තම වියුක්තබව උපයෝගී කර ගනිමින් ඔවුනුත් සැලසුම් කරනවා. ඉන්දියන් විදේශ අමාත්‍යංශය, ජනමාධ්‍ය බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ තිබෙන්නේ. සිංහල බෞද්ධ දැනුමකට, දැනුමක් ඇති කිරීමට බටහිර හා ඉන්දිය ආධිපත්‍යයන් ඉඩ දෙන්නේ නැහැ. අවාසනාවකට ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා බටහිර රටවල පදිංචි වී සිටින්නන් මේ ආධිපත්‍යවලට යට වෙලා. සිංහල වෙදකම බටහිර වෙදකමටත් ආයුර්වේදයටත් යට වෙලා. සිංහල සංගීතයත් එසේමයි. සිංහල බෞද්ධකමත් දැන් නැතිවේගන යනවා. අප ඊනියා සත්‍යයක් සොයා ගිය අය නොවෙයි. බුදුන් වහන්සේත් සත්‍යයක් සෙව්වේ නැහැ. නැති සත්‍යයක් ගවේෂණය කරන්නේ කෙසේ ද?උන්වහන්සේට අවශ්‍ය වූයේ සත්වයාට සහනයක් ලබා දීමටයි, යහපතක් කිරීමටයි.  සච්ච ගවේසි බමුණන්ගේ. සමාජවාදය බටහිරයන්ගේ. අද බුදුහාමුදුරුවන්වත් සත්‍ය ගවේෂකයකු සමාජවාදියකු කරලා.   







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 13