History

Sunday, 3 September 2017

ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරය  



ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරය



නව ව්‍යවස්ථාවට විරුද්ධත්වය පෑම යනු කුමක් ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පරාජය කිරීම එහි එක් අංගයක් පමණකි. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නො වේ. දැනට අප ජීවත් වන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක බව පැහැදිලියි.  දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරුණේ සන්ධීය රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි විනිසුරුවන් හතර දෙනකු එක හෙළා ප්‍රකාශ කෙළේ එකී සංශෝධනයෙන් සන්ධීය රාජ්‍යයක් බිහිවන බවයි. විනිසුරුවන් හතර දෙනකු තීරණය කෙළේ එයින් සන්ධීය රාජ්‍යයක් බිහි නොවන බවයි. එක් විනිසුරුවකු පාරින්ද රණසිංහ ප්‍රකාශ කෙළේ 154 G(2) (b), 154 G(3) (b) ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථාවට පටහැණි බවයි. ඉන් ජනතා පරමාධිපත්‍යය දිය වී යන බවයි.




ඉහත සඳහන් කරුණු අප කලක් තිස්සේ කියන නමුත් උගත් නීතිඥයන් එය සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. එයට හේතුව මා නීතිඥයකුවත් දේශපාලන විචාරකයකුවත් නොවීම වෙන්න පුළුවන්. මා තර්කානුකූල නැතැයි නීතිඥයන් ද දේශපාලන විචාරකයන් ද දේශපාලනඥයන් ද සියල්ල දත් ජනමාධ්‍යවේදීන් ද සිතනවා වෙන්න පුළුවන්. ජේ ආර් ජයවර්ධන ඉහත සඳහන් වගන්ති සම්මත කර ගත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය නොසලකා හරිමින්. මා ඊයේ හා පෙරේදා කියා සිටියේ අඩු තරමෙන් ඉහත කී වගන්තිවත් ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවයි. ඒ වගන්ති තිබෙනතාක් ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක සංරචකය පාර්ලිමෙන්තුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නේ නැහැ. හරි හෝ වැරදි හෝ වේවා ආණ්ඩුවට පළාත් සභා ඡන්ද කල් දමා ගැනීමට බාධාවක් වී ඇත්තේ ඉහත සඳහන් වගන්තියි.



අද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව මහානායක හිමිවරුන් ද පවසා තිබෙනවා. එහෙනම් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාවක් සම්පාදන ක්‍රියාවලියේ නිරත වී සිටින්නේ ඇයි? අනුකාරක කමිටුවලින් ඉවත් වූ ඒකාබද්ධ විපක්‍ෂය තවදුරටත් මෙහෙයුම් කමිටුවේ රැඳී සිටිමින් කරන විකාරය කුමක් ද? ඔවුන්ට එහි සිට කරන්නට පුළුවන් ඉටි ගෙඩියක් නැහැ. ආණ්ඩුව බය ඒකාබද්ධ විපක්‍ෂයට නොව මහා සංඝයා වහන්සේට හා සාමාන්‍ය ජනතාවටයි. ඡන්ද ඇත්තේ ජනතාවට මිස ඒකාබද්ධ විපක්‍ෂයට නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේවත් ඡන්ද නැති බව ආණ්ඩුව දන්නවා. මෙහි භයානක පැත්තක් ද තිබෙනවා. විපක්‍ෂය ව්‍යවස්ථාවට විරුද්ධව ජනතාව සංවිධානය නොකළහොත් ආණ්ඩුව භීෂණය දියත් කර ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඉඩ තිබෙනවා. සයිටම් විරෝධය හා පැකේජ්වාදී කාලෝ වැන්නන් පුහු වීරයන් කිරීම මගින් ඇතැම් ජනමාධ්‍ය භීෂණයට අත වනනවා.



1831 සිට දෙමළ ජාතිවාදයේ විකාශය පිළිබඳ ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දෙමළ ත්‍රස්තවාදය මෙන් ම දෙමළ ජාතිවාදයත් දේශපාලනික ව  පරාජය වූ බවයි. ඒ කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභාත් දේශපාලනික ව පරාජය වී ඇති බවයි. එහෙත් තවමත් එය නෛතික ව පරාජය කෙරී නැහැ. එයට මූලික හේතුව සංධාන ආණ්ඩුවේ සිටි දෙමළ ජාතිවාදයට පක්‍ෂ ඇමතිවරුන්. ඔවුන් එදා දහතුන ඉවත් කිරීමට විරුද්ධ වුණා. රාජිතලා වාසුුලා ඩිව්ලා තිස්ස විතාරණලා ඩලස්ලා ජී එල්ලා ආදීන් එයට වග කිව යුතුයි. ජී එල් කසිකබල් ලිබරල්වාදියකු වූ අතර අනෙක් අය බොරු සමාජවාදීන් වූවා. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය 1831 දක්වා ගෙන යෑමට විරුද්ධ අයට දහතුන නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය වූ බව පිළිගන්න බැහැ. දයාන් ජයතිලක තමරා කුනනායගම් වැන්නන්ට එය කිසිසේත් පිළිගන්න බැහැ. ඔවුන් කිසිම අර්ථයකින් අපේ නො වෙයි. මා දන්නා තරමට නන්දිකඩාල් තර්කය තේරුම් ගෙන ඇත්තේ සරත් වීරසේකර කුමාර් වෙල්ගම වැනි දේශපාලනඥයන් කිහිප දෙනකු පමණයි.



ව්‍යවස්ථාව පරාජය කිරීම යන්නට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතික ව පරාජය කර ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමත් අඩංගු වෙනවා. සම්බන්ධන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ව්‍යවස්ථාවට සහාය දෙන ලෙස මහින්දගෙන් ඉල්ලා තිබෙනවා. මේ හමුවීමට මැදිහත් වූවන් කවුරුන් දැයි දැන ගැනීමට නැහැ. කෙසේ වෙතත් මහින්ද එයට එකඟ වී නැහැ. එය ඉතා වැදගත්. අපට සම්බන්ධන්ගෙන් අසන්නට ඇත්තේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කවරේ ද යන්නයි. වියුක්ත ව කතා නොකර ඔය කියන ප්‍රශ්න එකින් එක සංයුක්ත ව ප්‍රකාශ කරන්න සම්බන්ධන්ලාට බැහැ. එයට හේතුව එවැනි ප්‍රශ්න නො තිබීමයි. මෙරටට පැමිණෙන එක්සත් රාජ්‍ය නියෝජිතයන් හමුවේ දෙමළ ජාතිවාදීන් කියන්නේත් ඒ නියෝජිතයන් අනුමත කරන්නේත් මෙරට සිංහල දෙමළ මුස්ලිම් ජනයා සමාන නැති බවයි. එහෙත් එයටත් උදාහරණ ගෙනෙන්නේ නැහැ. මෙරට හමුදා හෝ පොලිසිය හෝ දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වෙඩි තබන්නේවත් සිරභාරයට ගන්නේවත් නැහැ. එහෙත් එක්සත් රාජ්‍යවල නම් එවැනි දේ සිදුවෙනවා. ඒ බව අතුල් කේෂ්‍යප් නොදන්නවා නො වෙයි.



දහතුනෙන් ඔබ්බට කිසිවක් දෙන්නේ නැහැයි කියන්නන් ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරයෙන් පන්නා දැමිය යුතුයි. ඔවුන් කිසි දිනෙක අපේ වූයේ නැහැ. දහතුනෙන් ඔබ්බට යන්නේ නැතැයි කියන්නේ දහතුන ආරක්‍ෂා කිරීමටයි. දහතුන ආරක්‍ෂා කිරීමට කතා කරන්නන් සමග දේශපාලනික ව ඇයි හොඳයිකම් තිබෙන්න බැහැ. ඔවුන් සමග වැඩ කිරීම ප්‍රචාරක කටයුත්තක් වන්නේවත් නැහැ. එසේ වැඩ කිරීම ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරයට පාඩුයි. ඔවුන් හා ඩිව්ලා අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් පමණයි. ව්‍යවස්ථා විරෝධී ව්‍යාපාරයක් අවශ්‍යයි. රටේ ව්‍යවස්ථා විරෝධී ජනමතයක් ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ඒ ව්‍යාපාරය ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් සම්පුර්ණයෙන් ම ඉවත් වීමට බල කරන්න ඕන. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහි ව මහා සංඝයා වහන්සේ සමග පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය කෙරුණු දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. දහතුන ආරක්‍ෂා කරන්නන්ට ඒ ව්‍යාපාරයෙහි කිසිම ඉඩක් නොදිය යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 03