History

Tuesday, 20 February 2018

රනිල් හා මහින්දවාදීන්



රනිල් හා මහින්දවාදීන්


මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය උගතුන් ය. ඊළඟ ප්‍රශ්නය රනිල් ය. දෙවැනි ප්‍රශ්නය විසඳා ගැනීමට බැරිව ඇත්තේ පළමු ප්‍රශ්නයට විසඳුමක් නැති බැවිනි. උගතුන් යන්නට සාමාන්‍ය පෙළ සමත් වූවන්ගේ සිට පශ්චාත් උපාධිධාරීන් ද දේශපාලනඥයන් ද රාජ්‍ය නොවන ආයතනවල සාමාජිකයන් ද ව්‍යාපාරිකයන් ද වෙනත් එවැනි අය ද ඇතුළත් වෙනවා. දැන් උසස් පෙළ සමතකු අහන්න පුළුවන් දේශපාලනඥයන් උගතුන් වන්නේ කෙසේ ද කියා. ඔවුන් අත්දැකීමෙන් ජනතාව සමග ගැවසීමෙන් ලබාගත් උගත් කමක් තියෙනවා. මට නම් මේ කිසිම උගත්කමක් නැහැ. කැනඩාවේ ඉන්නා ගුරු උගතකු කියා තිබුණා මගේ පශ්චාත් උපාධිය පිනට ලැබුණු එකක් බවත් එංගලන්තයේ විශ්වවිද්‍යාල අදක්‍ෂ ශිෂ්‍යයන්ට ඉක්මණින් උපාධි ලබා දී පිටත් කර යවන බවත්.  මගේ උසස් පෙළ (ඒ දිනවල විශ්වවිද්‍යාල ප්‍රවේශය) ප්‍රශ්න කරන අයත් ඉන්නවා. මා රසායන විද්‍යාව අසමත්. මට ජනතාව සමග ගණුදෙනු කිරීමටත් තේරෙන්නේ නැහැ.

නූගතකු වූ මට රනිල් ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. මට උගතුන් ඉවත් කරන්න බැහැ. මහින්දවාදී උගතුන්ට අද රනිල් ඉවත් කිරීමේ ප්‍රශ්නය නැහැ. ඔවුන් මේ ආණ්ඩුව හොඳට ම ජනතාවට එපා වූ පසු 2020 දී රනිල් ඉවත් කිරීමට බලාගෙන ඉන්නවා. මෙරට උගතුන්ගේ එක් ප්‍රශ්නයක් නම් වෙන් කළ යුතු අවස්ථාවල වෙන් නොකිරීමත් වෙන් නොකළ යුතු අවස්ථාවල වෙන් කිරීමත්. වෙන් කළ යුතු අවස්ථාවල වෙන් නොකිරීම සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අනාගැනීම යැයි කියන්න පුළුවන්. මේ සියල්ලට ම හේතුව (හේතු යනු ද නිර්මාණ ය) මෙරට උගතුන් ඇරිස්ටෝටලීය න්‍යායේවත් චතුස්කෝටික න්‍යායේවත් හරිහැටි නො සිටීමයි.

2020 වන තුරු නොසිට රනිල් ඉවත් කළ යුතු ය යන මතයේ නූගතකු වූ මා සිටියේ 2015 සිටම යි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර දි මු  අගමැති ලෙස සිටිය දී ම ඔහු අස් නොකර රනිල් අගමැති කිරීමට මෛත්‍රිපාල කටයුතු කළා. දහනවයට පෙර අගමැති පත් කෙරුණේ 43(3) යටතේයි. එයත් ජනාධිපතිගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් අයයි. එහිත් සඳහන් වන්නේ නැහැ එසේ අගමැති පත්කිරීමට හැකිවන්නේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී පමණක් ය කියා. අද දි අයිලන්ඩ් පුවත්පතේ මහා ප්‍රාඥයකු ලෙස සැලකෙන ජයදේව උයන්ගොඩ නම් උගතා කියා තිබුණා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අදාළ වගන්තිය වූ 41(4) වලංගු වන්නේ අගමැති ධුරයේ පුරප්පාඩුවක් ඇති විට ය කියා.

දහනවයට පෙර 47 වගන්තිය යටතේ ජනාධිපතිට අගමැති අස් කිරීමේ බලය තිබුණා. දහනවයෙන් ඒ බලය ඉවත් කෙරුණා. දහනවයේ 46 (2) අගමැති අස් කිරීමක් සඳහන් වන්නේ නැහැ. දැන් උයන්ගොඩගේ තර්කය දහනවයට පෙරත් 43(3)ට යොදා ගත හැකියි. අපට අහන්න පුළුවන් රනිල් පත් කෙරුණේ පුරප්පාඩුවක් ඇති විටෙක ද කියා. ඒ අවස්ථාවේ ජනාධිපතිට 47 වගන්තිය යටතේ අගමැති අස්කිරීමටත් බලය තිබුණා. එහෙත් මෛත්‍රිපාල රනිල් දිවුරුම් දෙන අවස්ථාවේ දි මු අස්කර තිබුණේ නැහැ. පසුව අස්කිරීම අදාළ වන්නේ නැහැ. උයන්ගොඩට ඒ අවස්ථාවේ දී පුරප්පාඩුවක් නැති බව මතක් වුණේ නැහැ. රනිල්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටියේත් හතළිස් ගණනයි. අද මහින්දවාදීන් නොවන උගතුන් කියන්නේ අගමැති වෙනස් කිරීමට පාර්ලිමේන්තු මැතීිවරණයක් තබා නැත කියා. පවත්වා ඇත්තේ පළාත් පාලන ආයතන මැතිවරණයක් පමණක් බවත් ඔවුන් අපට දැනුම් දෙනවා. ඒත් 2015 ජනවාරි නවවැනි දා රනිල් පත් කෙරුණේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නො වෙයි. ජනවාරි අටවැනි දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයකින් පසුව පුරප්පාඩුවකුත් ඇති නොවී අගමැති මාරු කෙරුණේ කෙසේ ද යන්න එදා ප්‍රශ්න කෙරුණේ නැහැ. සංධානයත් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ නැහැ. ඇයි ද කියා මගෙන් අහන්න එපා. මා උගතකු නො වෙයි. සංධානය දහනවයටත් ඡන්දය දුන්නා!

මාත් එදා සිතා සිටියේ එසේ රනිල් පත් කිරීම වරදක් කියා. එහෙත් පසුව මට තේරුණා එදා 43(3) යටතේ අගමැති ලෙස රනිල් පත් කිරීමට පුරප්පාඩුවක් අවශ්‍ය නැත කියා. එදා 43 (3) යටතේත් දහනවයෙන් පසු 44(1) යටතේත් අගමැති පත් කෙරෙන්නේ ජනාධිපතිගේ අවශ්‍යතාවට ඔහුගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගෙන ඇති පුද්ගලයා කවුද යන්න මත. එය ඉතා පැහැදිලියි. අද ඒ සඳහා පූර්වාදර්ශයක් ද තියෙනවා. ඒ දි මු අගමැති ලෙස සිටිය දී ම රනිල් අගමැති ලෙස පත් කිරීමෙන්. ඒ නිසා තමා වරක්  කළ දේ නිවැරදි ද යන්න දැනගැනීමට මෛත්‍රිපාල ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු නැහැ. තමාගේ ම පූර්වාදර්ශයක් ඔහුට යොදාගන්න පුළුවන්. එදා 43(3) යටතේ දි මු අස්කිරීමට බලතල තිබියදීත් මෛත්‍රිපාල එසේ නොකර ම රනිල් අගමැති ලෙස පත් කළා. අද 44(1) යටතේත් ඔහුට එය කරන්න පුළුවන්. එදා 43 (3)ත් අද 44(1)ත් එකම පාර්ලිමේන්තුවක එක්වරකට වඩා ක්‍රියාත්මක කරන්න පුළුවන් බව පැහැදිිලියි. කිසිම නීතිඥයකුට මේ බව තේරෙන්නේ නැත්තේ මගේ මුග්ධ බව නිසා මට වැරදි වැටහීමක් ඇති වී තිබීම නිසා වෙන්න පුළුවන්.

අප කතා කරන්නේ රනිල් ඉවත් කිරීම ගැන. අප එය කරන්න උත්සාහ ගන්නේ ජනාධිපති මගින්. මෙය ජනාධිපතිට රැවටීමක්වත් රෑ වැටුණු වළේ දවල් වැටීමක්වත් නො වෙයි. කවුරු වළේ වැටුණත් 2015 අගොස්තුවේ මා වළක වැටුණේ නැහැ. මා එදා කිව්චේ මැතිවරණය වෙන ම තරග කරන ලෙස. එදා මහින්දවාදී උගතුන් මට සිනහසුණා. ඔවුන් වළේ වැටුණා. අද ඔවුන් සිනහසෙන්නේ මෛත්‍රිපාල විශ්වාස කිරීමක් ගැන. මෙතැන ඇත්තේ විශ්වාසයක් නොව ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල යොදාගත හැකි බව පෙන්වා දීමක්. ප්‍රශ්නය රනිල් ඉවත් කරන්නේ කෙසේ ද? අප එයට පිළිතුරක් දී තිබෙනවා. ඒ මහින්ද හා මෛත්‍රිපාල එකතු කිරීමක් නො වෙයි. මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට ලබා දීම යනු ඔවුන් දෙදෙනා එකතු කිරීමක් නොවෙයි. 

මහින්දවාදී පඬියන්ට රනිල් ඉවත් කිරීමේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර කුමක් ද? මහින්දවාදී උගතුන් ප්‍රශ්නය අමතක කර නූගත් මා ප්‍රශ්නයට දුන් පිළිතුරට සිනහසෙනචා. මා පිළිතුරෙන් යෝජනා කෙළේ ක්‍රමයක්. ඒ ක්‍රමය මා යෝජනා කළේ අද ඊයේ නොවෙයි. ක්‍රමය ප්‍රශ්නය සමග පටළවා ගන්න එපා. මහින්දවාදීන්ට ප්‍රශ්නයට පිළිතුරක් ක්‍රමයක් නැහැ. ඔවුන් හිතන්නේ 2020 දී ජනාධිපතිවරණයෙන් හරි පාර්ලිමේන්තු මැතිවරණයකින් හරි පිළිතුරු දෙන්න. එහෙත් පසුගිය දා පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙනුත් පොහොට්ටුවට ලැබුණේ 45%ක ඡන්දයක් පමණක් බව අමතක කරන්න එපා. එය 2011 පළාත් පාලන මැතිවරණවල දී ලබාගත් ප්‍රතිශතයටත් 2015 ජනාධිපතිවරණයේ දී ලබාගත් ප්‍රතිශතයටත් අඩුයි. 2020 මැතිවරණ පැවැත්වීම කෙසේ සිදුවේ ද? මැතිවරණ පැවැත්වේ ද? ඊයේ රාජිත පාර්ලිමේන්තුවේ කළ කතාව අහගෙන හිටිය ද? 2020 ගැන හිතන්න පෙර 2018 ගැන නොසිතන්නේ උගත්කම නිසා ද? නූගත් මට තවත් බොහෝ දේ කීමට තියෙනවා.      


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-20