History

Wednesday, 21 February 2018

රනිල්ට එරෙහිව රනිල්



රනිල්ට එරෙහිව රනිල්


ජනාධිපති තමාට ප්‍රශ්නයක් තියෙන බව කියනවයි කියලා ආරංචියක් තියෙනවා. ඒක පළවෙලා තියෙන වෙබ් අඩවිය විශ්වාස කිරීම තරමක ප්‍රශ්නයක්. ඒත් අපි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ඒ වෙබ් අඩවිය විශ්වාස කරන නිසා නොව අපට යමක් ඉගෙන ගැනීමට. අගමැති ඉවත් කළොත් එය ව්‍යවස්ථානුකූල නොවන බව කියා දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලැස්මක් තියෙනවලු.  අපි හිතමු එය ඇත්තක් කියලා.

ජනාධිපති දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරලා කියලා කියනවා. එයත් තවමත් ඇත්තක් ද කියන්න දන්නෙ නැහැ. මගේ අදහස ජනාධිපතිට එසේ කිරීමට අවශ්‍යතාවක් නැති බවයි. මෙහි දී මූලික ප්‍රශ්නය වන්නේ ජනාධිපතිට අගමැති ඉවත් කිරීමට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන තිබෙනවා ද යන්නයි. එයට හේතුව දහනවවැනි සංශෝධනයට පෙර ජනාධිපතිට අගමැති ඉවත් කිරීමට තිබූ බලතල සංශෝධනයෙන් නැති කිරීමයි. අර වෙබ් අඩවියට අනුව නීතිපතිට අනුව ජනාධිපතිට අගමැති ඉවත් කරන්න බැහැ. මේ වෙබ් අඩවි ව්‍යාජ පුවත් පළ කරමින් ගූගල් ආයතනයෙන් මුදල් ලබා ගන්නවා.

අපි ව්‍යවස්ථාවට ම සීමා වෙමු. අද තවත් ප්‍රශ්නයක් මතු කර තිබෙනවා ඊනියා ජාතික ආණ්ඩුව වලංගු ද කියා. ශ්‍රි ල නි ප හා එ ජා පෙරමුණ අතර තිබූ ගිවිසුම පසුගිය දෙසැම්බර් තිස්එක් වැනි දා අවසන් වූ නිසා ඊනියා ජාතික ආණ්ඩුව කල් ඉකුත් වී ඇති බව ඇතැමුන් කියනවා. කතානායක කියන්නේ එවැනි ගිවිසුමක් ගැන හෝ ගිවිසුම අවලංගු කිරීමක් ගැන හෝ තමාට දන්වා නැති බවයි. ඒ නිසා ඇතැමුන් (ඔවුන් අතර නීතිඥයන් ද සිටිනවා) කියන්නේ කිසි දිනෙක ඊනියා ජාතික ආණ්ඩුව වලංගු වී නැති බවයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ ඊනියා ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට එවැනි ගිවිසුමක අවශ්‍යතාවක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි දේශපාලන පක්‍ෂයට අනෙක් පක්‍ෂ/කණ්ඩායම් සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් යනුවෙන් ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නෙ. එහි ගිවිසුමක් අවශ්‍ය බවවත් කතානායකට ගිවිසුමක් ඇති වූ බවට දැනුම් දීමක් අවශ්‍ය බවවත් සඳහන් වන්නේ නැහැ. එබැවින් ඒ ගිවිසුම් තරකය වලංගු නැහැ. එහෙත් මා තර්ක කර සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂය නියෝජනය නොවන බැවින් ඊනියා ජාතික ආණ්ඩුව වලංගු නොවන බවයි. එ ජා පෙරමුණ සංධානය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ නම් එය වලංගුයි.

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සීමා විය යුතුයි. එහි නැති කරුණු මත පදනම් වී තර්ක කිරීම අර්ථශූන්‍ය වැඩක්. කතානායක මේ ප්‍රශ්නය ගැන කිනම් තීන්දුවක් දේවි ද කියා අප දන්නේ නැහැ. ඔහුගේ තීන්දුවට එරෙහිව අධිකරණයට යන්න බැහැ. මෙය අනුර බණ්ඩාරනායක ද තමා කතානායක වූ කාලයේ යොදා ගත් සම්ප්‍රදායක්.මේ සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ උත්තරීතර බව මත පදනම් වෙනවා. එය එංගලන්තයෙන් මෙරටට ලැබුණු සම්ප්‍රදායක්.

දැන් අගමැති ඉවත් කිරීමේ ප්‍රශ්නය ගනිමු. අප මෙය කිහිප වතාවක් ම සාකච්ඡා කර තිබෙනවා. දහනවයෙන් අගමැති අස්කිරීමට ජනාධිපතිට තිබූ බලය නැති කර තිබෙනවා. ඒ හැරෙන්නට අගමැති පත්කිරීම  ගැන දහනවයට පෙර හා පසු විශාල වෙනසක් නැහැ. ඒ දෙතැන දී ම කියැවෙන්නේ ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනා ගන්නා අය අගමැති ලෙස පත්කළ හැකි බවයි. ඒ වගන්ති අනුව එක් පාර්ලිමේන්තුවක (කාලයක - එක්වර නො වේ) එක් අගමැතිවරයකු පමණක් පත් කළ හැකි බව කියැවෙන්නේ නැහැ. ජනාධිපතිට එක් පාර්ලිමේන්තුවක එක් අයකුට පසුව තවත් අයකු ලෙස  අගමැතිවරුන් කිහිප දෙනකු පත් කළ හැකියි.

එක් පාර්ලිමේන්තුවක අගමැතිවරයකු සිටින විට ජනාධිපති තවත් අගමැතිවරයකු පත් කළහොත් පළමු අගමැතිවරයාට සිදුවන්නේ කුමක් ද? ඔහුට අගමැති ධුරය නැති වෙනවා. ජනාධිපතිගේ මතයට අනුව එවිට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගෙන ඇත්තේ දෙවැනි වරට පත් කළ අගමැති වරයායි. එවිට ඉබේට ම පළමු අගමැතිවරයාට ධුරය අහිමි වෙනවා. වෙනත් වචනවලින් කියන්නේ නම් පළමු අගමැතිවරයා ඉවත් කෙරෙනවා. ඔහු අස් නොකළත් ඔහු ඉවත් කෙරෙනවා.

2015 ජනවාරි අටවැනි දා අගමැතිව සිටියේ දි මු ගුණරත්න. ඔහු එදින හෝ පසු දින හෝ ඉල්ලා අස්වූයේ නැහැ. ඔහුගේ මන්ත්‍රීකම අහෝසි වුණෙත් නැහැ. මෛත්‍රිපාල නවවැනි දා ජනාධිපති ලෙස දිව්රුම් දුන්නා. ඉන් මොහොතකට පසු මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත් කළා. එලෙස රනිල් අගමැති ලෙස පත් කිරීමට පෙර මෛත්‍රිපාල දි මු අස්කෙළේ නැහැ. ඒ බව ඉතා පැහැදිලියි. දහනවයට පෙර අගමැති අස්කිරීමක් ගැන සඳහන් වී තිබුණත් ජනාධිපති දි මු අස්කෙළේ නැහැ. දි මු අස්නොකර ම මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත් කළා. රනිල් පත් කිරීමෙන් පසු දි මු අස් කරන්න ඇති. එහෙත් එහි වැදගත්කමක් නැහැ.              

දැන් දහනවයට පෙරත් මෛත්‍රිපාල දෙවැනි අගමැතිවරයකු පත්කර ඇත්තේ පළමු අගමැති සිටිය දී ම. දහනවයට පෙර අස්කිරීමක් ගැන සඳහන් වී තිබුණත් ඒ ක්‍රියාත්මක වී නැහැ. එසේ නම් මෛත්‍රිපාල වැඩ කර ඇති ආකාරය අනුව දෙවැනි අගමැතිවරයකු පත් කිරීමට පළමු අගමැති අස්වීම හෝ අස්කිරීම හෝ තම මන්ත්‍රී ධුරය නැති වීම හෝ බලපාන්නේ නැහැ. එයින් කියැවෙන්නේ දහනවයට පසු තත්වය හා මෛත්‍රිපාල රනිල් පත් කිරීමේ දී ඇති වූ තත්වය අතර වෙනසක් නැති බවයි.

රනිල්ගේ පත්වීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ ප්‍රශ්න කෙරුණේ නැහැ. ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක්වත් කිසිවකු ගෙනාවේ නැහැ. රනිල්ගේ පත්වීම සියලු දෙනා ම අනුමත කළා. දහනවයේ අස් කිරීමක් ගැන සඳහන් නොවුණත් දහනවයට පෙර අස්කිරීමක් ගැන සඳහන් වුවත් මෛත්‍රිපාල ක්‍රියා කර ඇත්තේ දහනවයට පළමුත් අස්කිරීමක් ගැන සඳහන් නොවූ ආකාරයකට. එබැවින් එදා රනිල් පත් කළ ආකාරය හා අද සංධානයේ අයකු අගමැති ලෙස පත් කළ හැකි ආකාරය තුල්‍යයයි.

වෙනත් වචනවලින් කියනවා නම් අද රනිල් සිටිය දී ම නිමල් සිරිපාල හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත් කිරීමට පූර්වාදර්ශයක් තියෙනවා. එබැවින් ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට අවශ්‍යතාවක් නැහැ. මෛත්‍රිපාල කළ යුත්තේ නිමල් සිරිපාල හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත් කර රනිල්ට අවශ්‍ය නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට කීමයි. රනිල්ට එවිට තම 2015 ජනවාරි තමා අගමැති ලෙස පත් කිරීමටත් විරුද්ධ ව තර්ක කරන්න වෙනවා. එය රනිල්ට එරෙහිව රනිල් යනුවෙන් ඉතිහාසයට එක් වේවි.   


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-21