History

Tuesday, 20 March 2018

භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ


භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ



රනිල් ඉවත් කළ යුතු බව මා කී විට මුල දී කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ. ඔහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් සිදු වෙනවා. එය විවිධ ක්‍රමවලින් කෙරෙන්නක්. මා ඒ සියල්ල විස්තර කරන්න යන්නේ නැහැ. මංගල සමරවීර, මලික් සමරවික්‍රම ආදීන් එහි දී ඔහුට ආධාර කරනවා. කිරිඇල්ල රජවාසල කවටයා. කීකරු ජයසූරිය ඔබට අකීකරු නැහැ කියමින් ඔහු රකිනවා.




මා කියා සිටියේ රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව. මෛත්‍රිපාලට ශක්තියක් නැති නිසායි එසේ කිව්වේ. අදත් ඔහුට ශක්තියක් නැහැ. ඔහුට දේශීය හා විදේශීය  විවිධ බලපෑම් තියෙනවා. ඔහු 2015 අගෝස්තු මැතිවරණයට කලින් පක්‍ෂ ලේකම්වරුන් මාරු කෙළෙත් චන්ද්‍රිකාගේ වුවමනාවට බව පැහැදිලියි. දුමින්ද දිසානායක වැඩ කරන්නෙ චන්ද්‍රිකාට ඕන විධියට. අමරවීර හම්බන්තොට කුල පදනමක් නිසා පාර්ලිමේන්තුවට පත්වන්නෙක්. ඔහු මහින්දට ප්‍රාදේශීය වශයෙන් විරුද්ධයි. එය ජාතික මට්ටමකට පරිවර්තනය වෙලා. ඔවුන් දෙදෙනා පමණක් නොව මහින්ද සමරසිංහ හා සරත් අමුණුගමත් ඉන්නේ වෙනින් තැනක.



මෛත්‍රිපාල ව්‍යවස්ථාවේ 43(3) අනුව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වී අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ යුතු බව මා කියා සිටියා. මෛත්‍රිපාලට ශක්තිය නැති නිසා  මහින්ද ශක්තිය ලබා දිය යුතු ය යන්නයි මා කියා සිටියේ. එය පෙබරවාරි මැතිවරණය සමග කිසිසේත් සම්බන්ධ නැහැ. පෙබරවාරි මැතිවරණයේ දී පොහොට්ටුව හා සංධානය එකතු විය යුතු යැයි මා කිසි තැනක කියා නැහැ. එසේ කියා ඇති තැනක් තිබේ නම්  පෙන්වන ලෙස මා අභියෝග කරනවා. මීළඟ ජනාධිපතිවරණයක් ගැන මා කියා නැහැ. ජනාධිපතිවරණයක් තියේවි ද යන්න මා නිතර ම නැගූ ප්‍රශ්නයක්. එහෙත් මහින්දචාදීන්ගෙන් 90%ට පමණ එය තේරුණේ නැහැ. ඔවුන්ගේ මනසේ ඇත්තේ මැතිවරණ ගිවිසුම් පමණයි. වෙනත් ආකාරයකින් ශක්තිය දීමක් ගැන ඔවුන් දන්නේ නැහැ. අද එක්තරා වෙබ් අඩවියකට අනුව මහින්ද නම් කියනවා ළඟ එන පළාත් සභා මැතිවරණයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට පොහොට්ටුවට එකතු විය හැකි ය කියා!



මහින්ද ඒ අවශ්‍ය  ශක්තිය නිසි අවස්ථාවේ දී ලබා නොදුන් බැවින් මෛත්‍රිපාල නීතිපතිගේ උපදෙස් පැතුවා. මෛත්‍රිපාල බය වී සිටියේ දෝෂාභියෝගයක් ගැන. නීතිපති කවුරුන් වුවත් ඔහු එක් පුද්ගලයකු පමණයි. ඔහුගේ උපදෙස් එක් පුද්ගලයකුගේ උපදෙස් පමණයි. නීති මූලධර්ම පිළිබඳ ප්‍රශ්න මතු නොවන අවස්ථාවක තර්ක කරන්න පුළුවන් අය හා නීතිඥයන් අතර වෙනසක් නැහැ. එහෙත් සුද්දන් අපට පුරුදු කර ඇත්තේ නීතිඥ උපදෙස් පැතීමට. නීතිපති තීරණය කළා මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න බැහැ කියා. ඒ අනුව උපදෙස් ලබා දුන්නා.



දැන් විශ්වාසභංගයක් ගැන කතා වෙනවා. විශ්වාසභංගයත් මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන එක් ක්‍රමයක්. අද මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන්න යන්නෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ. ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය ලැබෙනවා. ඉහත සඳහන් හතර දෙනා හැරෙන්නට මෛත්‍රිපාලගෙ කණාඩායමෙත් සහාය ලැබෙනවා. එහෙත් බැසිලිකාවෙ උපැවදි ඇතැම් පූජකයන් ඕ මයි ජීසස් කියමින් බොරු ප්‍රශ්න මතු කරමින් පස්සට අදිනවා. ජ වි පෙ අවසානයේ දී විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වන එකක් නැහැ. ඔවුන් ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට කතා කරනවා. ඒ රනිල් බේරා ගැනීමට. අද ප්‍රශ්නය විශ්වාසභංග යෝජනාවට එ ජා ප මන්ත්‍රීන්ගේ අත්සන් ගැනීම. විශ්වාසභංග යෝජනාව ගැන මා ඒ මැයෙන්ම ලියූ ලිපියක කියා තිබෙනවා. නීතිපති උපදෙස් බල්ලට දමා 43(3) යටතේ ක්‍රියා කළා නම් දැන් ප්‍රශ්නය ඉවරයි. රනිල් නැති ආණ්ඩුවක් යනු මේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යෑමක් නො වෙයි. ඒ බව ගෝඨාභය වටා සිටින අයටත් තේරුම් ගන්න බැහැ.



මොන ක්‍රමයකින් හරි අද කළ යුත්තේ රනිල් නැති ආණ්ඩුවක් පිහිටුවීමයි ඒ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් නොවූවත් එවැන්නකට සම විය යුතුයි. එවැනි භාරකාරසම (භාරකාරතුල්‍ය) ආණ්ඩුවකින් කෙරෙන්න ඕන දේ පෙබරවාරි 15 වැනි දා ලිපියෙන් මා කිව්වා. එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකි ද යන ප්‍රශ්නය මට තියෙනවා. එයට ප්‍රධාන හේතුව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් 2019 ගැන පමණක් සිතීම. කෙසේ වෙතත් පෙබරවාරි 15 වැනි දා ලිපියෙන් මා උපුටා දක්වනවා.



ආණ්ඩුවේ කාර්යයන් අතර පහත සඳහන් කරුණු ද විය යුතුයි. මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගැනීම (එංගලන්තය හා බටහිර රටවල් ඊනියා අනාගමික නොව ක්‍රිස්තියානි  රාජ්‍ය වෙයි), මහා සංඝයා වහන්සේට ඓතිහාසික ව හිමි තැන ලබා දීම, විදේශවලට කිසිසේත් ගැති නොවීම, විදේශීය තානාපතියන් රටේ පාලනයට ඇඟිලි  ගෑසුවොත් ඔවුන් රටින් පිටමං කිරීම,  උතුරු හා නැගෙනහිර පළාත්වල විශේෂයෙනුත් අනෙක් පළාත්වලත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන/සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම (හුදු සංස්කරණය නොව), ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරීම, හැකි නම් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම (නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු එය වලංගු නැහැ), 13+ මුළුමනින් ම අත්හැර දැමීම, එට්කා අහෝසි කිරීම, රාජ්‍ය දේපොළ/ආයතන ආරක්‍ෂා කිරීම, ඒවා කිසිම හේතුවක් නිසාවත් පෞද්ගලික ආයතනවලට නොවිකිණීම/නොපැවරවීම, අත් අඩංගුවට ගෙන ඇති රණවිරුවන් නිදහස් කිරීම, මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය (එෆ්සීඅයිඩී) අහෝසිකිරීම, මැයි 18-22 කාලය නිදහස් කාලය ලෙස සැලකීම, පෙබරවාරි හතර නිදහස් දිනය ලෙස නොසැලකීම”, වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මය දියුණු කර රට අහරින් ස්වයංපෝෂිත කිරීම, සිංහල වෙදකම දියුණු කිරීමට වැඩ පිලිවෙළක් දියත් කිරීම,  ඉතිහාසය පාසලේ අනිවාර්ය විෂයක් කිරීම, ජාතික දැනුමට මුල් තැන දෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම, සිසුන්ට දත්ත සැපයීම නොව ඔවුන් නිරවුල් චින්තනයට යොමු කිරීම, පාසලේ හා විශ්වවිද්‍යාලවල භාවනාවට කාල පරිචේඡද වෙන් කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතික හර පද්ධතිය ශක්තිමත් කිරීම හා ඒ ඇුරෙන් අපරාධ වැළැක්වීම, ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා ශිල්පීය අධ්‍යාපනයට සිසුන් යොමු කිරීම, ජනමාධ්‍යයෙන් සංස්කෘතික හර පද්ධතිය විනාශ කිරීම වැළැක්වීම, නීතියෙන් නොව සංස්කෘතියෙන් මිනිසුන් දැහැමි කිරීම. (පෙබරවාරි 15 භාරකාර ආණ්ඩුවක් කුමක් සඳහා ද?)”



එයට තවත් කරුණු දෙක තුනක් දැන් එකතු කරන්න පුළුවන්. අතුරුදහන් වූවන් පිලිබඳ සියලු පනත් අහෝසි කිරීම. ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසුරුවා හැරීම. ජෙනීවා සමුළුවට මංගල දී ඇති පොරොන්දු නොසලකා හැරීම. ඒ කළ නොහැකි යැයි බටහිරට මනස් බැඳී ඇති පඬියන් කියාවි. අපි ඔවුන් බටහිරට ම බැඳ තබමු.