History

Wednesday, 21 March 2018

දෙවැනි ඉනිමකින් කෙළවර නොවන ජෙනීවා


දෙවැනි ඉනිමකින් කෙළවර නොවන ජෙනීවා



සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් යන අය ජෙනීවා ගිහින් සිංහලයන් වෙනුවෙන් කතා කරලා. ඒ අතර යුරෝපයේ බොහෝ රටවලින් සිංහලයන් පැමිණ උද්ඝෝෂණ පවත්වලා. ඔවුන් දෙමළ ජාතිවාදීන් පරාජය කර එළවා දැමූ බවක් ද වාර්තා වෙනවා. ඒ සියල්ලන්ට ම අපේ ප්‍රණාමය! එහෙත් තවත් ප්‍රශ්න ගණනාවක් ම ඉතිරි වෙනවා. මේ සැප්තැම්බරයේත් ලබන අවුරුද්දේත් මේ සියල්ල නැවත නැවත කරන්න සිදුවේ ද? එ ආණ්ඩුවේ වරද නිසා ද? රවිනාථ ආර්යසිංහ තම යුතුකම හරිහැටි ඉටු නොකරන්නේ ද? හුසේන් කුමාරයා ලබන අවුරුද්දේත් ඉඳීවි ද? ඔහු ඇතත් නැතත් තත්වයේ වෙනසක් වේවි ද?


දෙමළ ජාතිවාදය පරාජය කරන්න අපට බැරි ද? මේ ජාතිය කියන එක අද ඊයේ නොව කාලයක සිට ම ප්‍රශ්නයක් වෙලා. ජාතිය කියන්නෙ මොකක් ද? අද මුහුණු පොතට පාත්වෙලා ඉන්න අය නොදන්න කාලෙක කාලෝ ෆොන්සේකා සුපුරුදු පරිදි ළාමක ප්‍රශ්නයක් ගාම්භීර ලීලාවකින් ඇසුවා. සිංහලයන් අඳුරගන්නෙ කොහොම ද ලේවලින් ද වැනි අදහස් දෙන ප්‍රශ්නයක් බවයි මගේ මතකය. ඔහු ගාම්භීර ව පැවසුවා ලේ වර්ග කරන්නෙ ඒ බී ඕ ආදී වශයෙන් මිස ජාති වශයෙන් නො වෙයි කියලා. කාලෝ මෙරට අනෙක් බොහෝ උගතුන් වගේ ම ගාම්භීර බවක් පෙන්නුවාට ගැඹුරක් නැති අයෙක්. ඔවුන් ප්‍රශ්න දිහා බලන්නෙ මතුපිටින්. අවශ්‍ය නම් මට මේ ගැන කාලෝ සමග වාද කරන්න පුළුවන්.

අදත් බොහෝ දෙනා ජාතිය ගැන හිතන්නෙ පරම්පරාවෙන් එන ලක්‍ෂණයක් ලෙස. ජාතිය යනු ජීව විද්‍යාවට අයත් වන දෙයක් නොවන බවත් එය ජෛවීය ව නොව මූලික වශයෙන් ම සංස්කෘතික ව තීරණය වන බවත් කාලෝට කියා දෙන්න මට සිද්ධ වුණා. එහෙත් මේක භෞතික විද්‍යාවෙ පොල් වැටෙනවා වගේ දෙයක් නොවෙයි. අප දන්න හැම පොල් ගෙඩියක් ම වැටිලා තියෙනවා. අප හිතනවා අනාගතයේදීත් (අනාගතය කියන්නෙ මොකක් ද?) පොල් වැටේවි කියලා. පොල් වැටීම පොල්වල සජාතීය ගුණයක්. එහෙමත් නැත්නම් ඒක හැම පොල් ගෙඩියකට ම පොදුයි. එහෙත් සමස්ත ජාතියකට ම පොදු ලක්‍ෂණ කියන්න බැහැ. දකුණු පළාතෙ සිංහල කතාකරන විධියට නොවෙයි උඩරට කතාකරන්නෙ. දැන් නම් විද්‍යුත් මාධ්‍ය නිසා එය එක්තරා ආකාරයකට සජාතීය වේගෙන එනවා. ඒක පැත්තකින් තියන්න. 

සෑම සිංහලයකු ම එක වගේ නො වෙයි. එහෙත් සිංහලයන් අතර යම් පොදු ගුණයක් තියෙනවා. ජාතිය යන්න පරම්පරාවෙන් අයිති වන එකක් නො වෙයි. එය සංස්කෘතික උරුමයක්. මා මේ බොහෝ දේ ගැන අවුරුදු විසිපහකටත් පෙර කතා කරලා තියෙනවා. ඒත් අද පරම්පරාවට ඒ සංස්කෘතික උරුමය නැත්තෙ ඔවුන් පොතපත කියවා නැති බැවින්. මා මේ සම්බන්ධයෙන් ලියා ඇති සිය ගණනක් වූ ලිපි හොයා ගන්න බැරි අයකුට 1991 දී නිකුත් වුණු ජාතිය සංස්කෘතිය හා චින්තනය පොත කියවන්න පුළුවන්. සංස්කෘතිය අයත් වන්නෙ බටහිර ජීව විද්‍යාවට නොවෙයි බටහිර සමාජයීය විද්‍යාවන්ට. එහෙත් බටහිර සමාජයීය විද්‍යාවන්හි වියුක්ත ගුණය අඩුයි. 

සිංහල ජාතිය කියන්නෙ වෙනත් ජාති වගේ ම යමකුට ඇතුල් වෙන්න පුළුවන් කුලකයක්. දෙමව්පියන් ඒ කුලකයට අයත් නූනත් දරුවකුට අයත් වන්න පුළුවන්. ඒකට සමහර විට පරම්පරා දෙකකට වඩා යන්නත් පුළුවන්. අපත් දඹදෙණි යුගයේ ලංකාවට පැමිණි ඨකුර් යන්නකුගෙන් පැවත එන්නේ. මගේ නමේ ථකුරාර්ථ කොටසකුත් තියෙනවා. එකල මගේ විරුද්ධවාදීන් මගේ වාසගමේ දේවාදිත්‍ය කොටස අරගෙන මා සිංහල නොවේ යැයි කිව්වා. ඔවුන් ලේවලින් ජාතිය හොයන අය. අපේ පරම්පරාව සිංහල වී ඇත්තේ දඹදෙණි යුගයේ. ඒ සිංහල සංස්කෘතියට අවශෝෂණය වීමෙන්. මේ ලිපිය ලියන අතර මා දෙරණ අරුණ හා මල්බර දෙරණ නරඹනවා. අද එයට ලයනල් සඳුන් (රයන් වැන්ඩ්‍රෝයන්) හා ඔහුගේ පියා ඇවිත්. ඒ දෙදෙනා නම අනුව නම් ලන්දේසි (නෙදර්ලන්තයෙන් පැමිණි) අයගෙන් පැවතෙන්නන් බවයි පෙනෙන්නෙ. සමහර වීිට පෘතුගීසි  සම්භවයක් තියෙන්නත් පුළුවන්. එහෙත් අද වන විට ලයනල් සඳුන් ලයනල්ගේ සිට සඳුන් දක්වා පැමිණිලා තියෙනවා. මට නම් ඔහු සිංහලයෙක්. දෙහිවල ඔහු හා කුලියාපිටියෙන් පැමිණි අනුහස් අතර විශාල වෙනසක් නැහැ. වෙනසක් නැතිවා නොවෙයි. එහෙත් පොදු බවකුත් තියෙනවා. 

අපට දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැරි වුණෙ ඉන්දියාව නිසා. නන්දිකඩාල් ගැන මගේ ඇත්තේ වෙන ම විග්‍රහයක්. අප එය හරියට දිනුවේ නැහැ. අපට වඩා බටහිරයන් පරාජය වුණා. ඔවුන් අද අපෙන් ඒ ගැන පළිගන්නවා. ඒ සඳහා ජෙනීවා යොදා ගන්නවා. නන්දිකඩාල්හි අප පරාජය කෙළේ දෙමළ ත්‍රස්තවාදය පමණයි. දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කෙරුණේ නැහැ. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අප ඉන්දියාවට 13+ පොරොන්දු වී ඇති බව පෙනෙනවා. එයට මූලාශ්‍ර අහන්න එපා.මට සාක්‍ෂි නැහැ. එය උපකල්පනයක්, සංයුක්ත ප්‍රවාදයක් බව ඇත්ත. ඉතිහාසයෙහි (කාලීන හා ආදි) ඇත්තේ උපකල්පන පමණයි. බටහිර භෞතික විද්‍යාවෙහි ඇත්තේත් උපකල්පන ඒවා වියුක්තයි. ගුරුත්වාකර්ෂණයට තියෙන සාක්‍ෂි මොනවා ද? හරියන (හරි නොව) උපකල්පන අප පිළිගන්නවා. ඉතිහාසෙ ඊටත් එහා. බටහිර භෞතික විද්‍යාවෙ නැති වාස්තවිකත්වයක් ඉතිහාසයෙ කොහෙන් ද? නන්දිකඩාල් පිළිබඳ මගේ උපකල්පනය නිසා මට බොහෝ දේ තේරුම් ගන්න පුළුවන්. ජෙනීවාත් තේරුම් ගන්න පුළුවන්. සරත් වීරසේකරට ඉදිරියේදීත් ජෙනීවා යන්න වේවි.

නන්දිකඩාල් කලපුවෙන් පසු ඉන්දියාව අවුරුදු දෙකක් පමණ ජෙනීවාහි දී අපට සහාය දුන්නා. ඒ 13+ බලාපොරොත්තුවෙන්. බැසිල් ඉන්දියාවට මොනවා පොරොන්දු වුණත් මහින්දට ඒ දෙන්න බැරි වුණා. සිංහල ජනමතය ඔහුට හරස් වුණා. ඉන් පසු ඉන්දියාව අපට විරුද්ධ වෙන්න පටන් ගත්තා. ඊනියා ජාත්‍යන්තරයට හිස නමපු කොන්දක් නැති මංගල සමරවීර අපට විරුද්ධව අපේ ම යෝජනාවක් ජෙනීවාහි දී සම්මත කර ගත්තා. එහි අතුරු ඵල අද අතුරුදහන්වූවන් පිළිබඳ පනත් මගින් අපට ලැබෙනවා. රනිල් ඉවත් නොකළොත් ඉදිරියට තව තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

ජාතිවාදය යන්න මට සංස්කෘතික ප්‍රශ්නයක්. මෙරට ප්‍රශ්නය සිංහල සංස්කෘතියට හිමි විය යුතු තැන අහිමි කිරීම. ඒ බව මා සිය වාරයකට වඩා කියා ඇති. එහෙත් තවමත් සමාජය ඒ පිළිගන්නේ නැහැ. අපට ප්‍රශ්නය තේරුම් නොගෙන ප්‍රශ්නය විසඳන්න බැහැ. අප ජෙනීවා යන එක නවත්වන්නත් බැහැ. ලයනල් සඳුන් කියන්න වගේ බෑඩ් කියන්නත් සෑඩ්.