History

Saturday, 31 March 2018

පෙළපාළි හා තොරං


පෙළපාළි හා තොරං





ආණ්ඩුව මැයි පෙළපාළි පැවැත්වීම කල් දාලා. ඒ මැයි දිනය වෙසක් පෝය දිනයට වැටෙන නිසා. වෙසක් දවසෙ මැයි පෙළපාළි යන්න අමාරුයි. ත්‍රිරෝද පක්‍ෂවලට එය බලපාන්නෙ නැහැ. සමහර පක්‍ෂ කණ්ඩායම් මැයි දිනය සමරන්නෙ කුඩා ශාලාවල. ජනමාධ්‍ය නොවන්න ඒ රැස්වීම් පැවැත්වූවා ද නැද්ද යන්න දැනගන්න පුළුවන් රැස්වීමට ගිය අයට පමණයි. ඒ අය මැයි දිනය වෙසක් දිනයේ ම පවත්වාවි. එසේ පැවැත්වීම ලොකු විප්ලවයක්  කිරීමක් හැටියටත් සලකාවි. අර කම්කරු පංති විප්ලවය කිසි දිනෙක නොඑන එකක් බැවින් මෙවැනි පොඩි පොඩි සිද්ධි විප්ලව හැටියට හඳුනාගත්තට කමක් නැහැ. ඒක කුඩා දරුවන්ගේ මානසිකත්වයකින් කෙරෙන්නක්. මාක්ස්වාදීන් කිසි දිනෙක වැඩිහිටියන් වන්නේ නැහැ.




මෙරටත් පිටරටත් කම්කරු පංතියක් තියෙන්නෙ මාක්ස්වාදී පක්‍ෂවල නායකයන්ගෙ හිත්වල පමණයි. ඒකත් පැවත්මක් තමයි. ඒක විඥානවාදී ද නැද්ද කියලා මගෙන් අහන්න එපා. විඥානයත් භවයෙන් භවයට අඛණ්ඩව යනවා කියන පඬියන් විඥානයත් ද්‍රව්‍යවාදී කරන්න බැරි නැහැ. කොහොම වුණත් මෙරට ප්‍රධාන ම දිනයක් වන්නෙ වෙසක් දිනය. තවත් ප්‍රධාන ම දිනයක් වන්නෙ සිංහල අවුරුද්ද උදාවෙන දිනය. මැයි දිනය මේ දිනවලට යටයි. කම්කරු පංති ආඥාදායකත්වය (ඩික්ටේටර්ෂිප් ඔෆ් ද ප්‍රොලිටේරියට්) පිහිටුවපු දවසක මැයි දිනය ප්‍රධාන දිනය වේවි. විප්ලවවාදීන්ට එතෙක් පොඩ්ඩක් ඉවසන්න වේවි.



මෙරට ඓතිහාසිකව තිබිය යුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. එහෙත් එය හරියට ම ක්‍රියාත්මක වන්නේ නැහැ. අද මෙරට ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. එය වෙනස් කළ යුතුයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් නියමිත පරිදි ක්‍රියාත්මක වන තෙක් මෙරටට නිදහස ලැබෙන්නේ නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයක තරම් නිදහසක් සිංහල බෞද්ධයනටත් ජනවර්ගවලට ලැබෙන්නේ නැහැ. අද අපට අපේ ම කියා අධ්‍යාපනයක්වත් තියෙනවා ද? පඬියන්, උගතුන් ආදීන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිවට අනුකාරක දාසයන්. ඔවුන් වැඩියෙන් ඉන්නේ විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල. මා අවුරුදු පනහකට වැඩිය ඔවුන් ගැන දන්නවා.



මැයි දිනය වෙසක් දිනයට යෙදෙනවා නම් මැයි දිනය වෙනත් දවසක පැවැත්විය යුතුයි. මැයි දිනයට 1866 චිකාගෝ නුවර කලබලවලට එහා යන ඉතිහාසයක් තියෙනවා. එය එංගලන්ත දූපතෙහි සෙල්ටික් සංස්කෘතිය හා එක් පැත්තකින් බැඳී තියෙනවා. කලකට පෙර ගිම්හාන සෘතුව උදා වූ දවස ලෙස මැයි පළමුවැනිදාත් ශීත සෘතුව උදා වූ දින නොවැම්බර් පළමුවැනි දා ලෙසත් සලකා තිබෙනවා. ඒ මොනවා වුනත් සිංහල බෞද්ධ රාජ්‍යයෙහි මැයි දිනය කියන්නෙ නොවැදගත් දවසක්. බණ්ඩාරනායක මහතා කළ එක් අනුවණ ක්‍රියාවක් වුණෙ මැයි දිනය නිවාඩු දිනයක් කිරීම. මෙරට වැඩ සිදු විය යුත්තේ නොමැති කම්කරු පංතියකටවත් ගිම්හානයේ ආරම්භය සලකන සංස්කෘතියකටවත් ඕන විධියට නොවෙයි. මෙරට වැදගත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. පඬියන් ඒ වෙනුවට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට වැදගත් තැන දීමට දත්මිටි කනවා.



ආණ්ඩුව මැයි දිනය මැයි හත්වැනි දාට කල් දාලා වෙසක් දිනයෙ තොරං පැවැත්වීම තහනම් කරලා. තොරං යන්න එසේ ලිවීම පිළිබඳ මතභේදයක් තිබේවි. තොරණ කියන එකේ බහුවචනයත් තොරණ ලෙස තමයි උගන්වන්නෙ. ඒ වුණාට ව්‍යවහාරයෙ තොරං කියලා කියනවා. අපි තොරං බලන්න යනවා මිස තොරණ බලන්න යන්නෙ නැහැ. තොරං උච්චාරණය කරන්න. දිවට මොකද වෙන්නෙ කියලා කල්පනා කරගන්න. ල ළ ළු ං න ණ භේද බොහෝ විට (හැම විට ම නොවෙයි) දිව යන තැන ගැන කල්පනාවෙන් පසුවුවහොත් විසඳා ගන්න පුළුවන්.



ඒ කොහොම වෙතත් ජයවික්‍රම පෙරේරා වෙසක් දවසෙ තොරං බලන්න යන්න එපා කියනවා. පන්සල්වල රෑට මිනිසුන් ඉන්න ඕනළු. ජයවික්‍රම පෙරේරා කවු ද බෞද්ධයන්ට තොරං බැලීමේ දී නීති රීති පනවන්න. අප ඉන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක. එය මිහිඳු හාමුදුරුවන්ට වඩා පරණයි. වෙසක් උත්සවය ගැමුණු රජු පවත්වලා තියෙනවා. අපට, සිංහල බෞද්ධයන්ට වෙසක් මඟුලක්. මා හිතන්නෙ සිංහල ක්‍රිස්තියානින් පල්ලිවල මංගල්ල පවත්වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇසුරෙන් කියලා. එය ඉංගිරිසියෙන් ෆෙස්ටිවල් හරි වෙන මොකක් හරි වෙන්න පුළුවන්. සිංහලෙන් මඟුලක්.



සිංහල බෞද්ධයන්ට ප්‍රතිපත්ති ගැන කියන්න ගාමිණී ජයවික්‍රම පෙරේරාට තියෙන අයිතිය කුමක් ද? අප ප්‍රතිපත්ති රකින අතර මංගල්ල ද පවත්වනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය පවතින්නෙ ප්‍රතිපත්ති පමණක් නිසා නො වෙයි. ආමිස පූජා උත්සව මඟුල් නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය මේ ටිකවත් රැකිලා තියෙන්නෙ ජයවික්‍රම පෙරේරාලාගෙ මගුල් හින්ද නොවෙයි සිංහල බෞද්ධ මඟුල් හින්ද. පහුගිය දවස්වල පඬියන් කෑ ගැහැවුවා අප ප්‍රතිපත්තිය මත පමණක් පිහිටන්න ඕන කියලා. ප්‍රතිපත්තිය හොඳයි. ඒත් මඟුල් ද තියෙන්න ඕන. ප්‍රතිත්තියට පමණක් සිංහල බෞද්ධ සංස්ෘතිය රකින්න බැහැ. ප්‍රතිපත්තිය පමණක් රැක්කොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙනවා. ජයවික්‍රම පෙරේරාලාට පඬියන්ට අවශ්‍ය ඒ නැති කිරීමයි. එ අතර ඔවුන් මාසයක් තිස්සෙ නත්තල් පවත්වනවා.



වෙසක් දවසෙ ඊනියා කම්කරු පංතිය කරන්නෙ මොකක් ද කියන එක තීරණය කළාට බෞද්ධයන් කරන කියන දේ තීරණය කරන්න ආණ්ඩුවට බැහැ. මෙරට පාලකයන් (භාරකාරයන්) සිංහල බෞද්ධ සංස්කෘතිය හසුරුවන්නන් නොවෙයි. එංගලන්තයේ ක්‍රිස්තියානි ආගමේ නායකයා එරට රජු හෝ රැජින. ඔහු හෝ ඇය හෝ එන විට කැන්ටබරියෙ හා යෝක්හි ආච්බිෂොප්වරු නැගිටිනවා. ලංකාවෙ ජනාධිපති එනවිට සාමණේර නමක්වත් නැගිටින්නෙ නැහැ. ඒත් සාමණේර නමක් වඩින විට ජනාධිපතිත් නැගිටිනවා. මා හිතන්නෙ ජයවික්‍රම පෙරේරාත් නැගිටිනවා. 



සිංහල බෞද්ධ සංස්කෘතිය රජයෙන් පාලනය කෙරෙන්නක් නො වෙයි. රාජ්‍ය අනුග්‍රහය දීම කියන්නෙ රාජ්‍ය පාලනය නො වෙයි. බුද්ධාගම මෙරට රාජ්‍යාගම කළත් රජයට එය පාලනය කරන්න බැහැ. ඒක තමයි මෙරට ඉතිහාසය, ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඉතිහාසය. එය එස් ජී පෙරේරා දේවගැතිගේ හා විශ්වවිද්‍යාලවල ඔහුගෙ ගෝලයන්ගෙ යුදෙව් ක්‍රිස්තියානි ඇසින් දකින සිංහල බෞද්ධ ඉතිහාසය නො වෙයි. මේ ගෝලයො එකිනෙකාගෙ පිටකසා ගනිමින් වැජඹෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය හදන්නෙ වෙනස් කරන්නෙ සිංහල බෞද්ධයන් මිසක් ආණ්ඩුව නොවෙයි.



රජය වැඩ කරන්න ඕන සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ව. ඒත් ඊනියා නිදහස ලැබුණාට පසුවත් එය ඒ විධියට කෙරෙන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ව රජය වැඩ කරන තෙක් සිංහල බෞද්ධයනට නිදහසක් නැහැ. අද අප වැඩ කරන්නෙ එංගලන්ත ක්‍රිස්තියානි සංස්කෘතියට අනුකුල ව. රනිල් එහි ප්‍රධානියා. ඔහු ඉවත් කරන්න අවශ්‍ය ප්‍රධාන ම කාරණය එයයි. ජයවික්‍රම පෙරේරාත් රනිල්ට අවශ්‍ය අන්දමට කටයුතු කරන බව පේනවා.