History

Sunday, 1 April 2018

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා කර ඇති දෙයක් නැති බව අද ජනමාධ්‍යයේ කෙරෙන කතාබහෙන් පැහැදිලි වෙනවා. ග්ලයිෆොසේට් තහනම ගැන බොහෝ දෙනා කතා කරනවා. විශ්වාසභංගය නොවන්නට ජනමාධ්‍ය ග්ලයිෆොසේට් සතියේ ජනප්‍රිය ම මාතෘකාව බවට පත් කරන්න තිබුණා. ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට හේතුව ද කියා මා දන්නේ නැහැ. මා වෛද්‍යවරයකුවත් රසායන විද්‍යාඥයකුවත් නො වෙයි. මා කිසිම විද්‍යාඥයකු නො වෙයි. මා අවුරුදු පනහකට පමණ පෙර (1968 දෙසැම්බර අග) විද්‍යාඥයකු (බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු, විශ්වවේදියකු) වීමට සිතා එංගලන්තයට ගොස් එසේ වීමට නොහැකි බව දැන ආපසු පැමිණි අයෙක්.




වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා ගැන කියැවෙන්නේ නාථ දෙවියන් පිළිබඳ ව පමණයි. මිථ්‍යා මත පතුරවන අයකු ලෙසයි බොහෝ දෙනා මා ගැන දන්නේ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීමෙන් පසු සාමාන්‍ය පෙළ විද්‍යාව හැදෑරූ අයත් මා පිස්සකු මෝඩයකු ලෙස හඳුන්වන්න පටන් ගත්තා. මට මතක් වෙනවා වරක් මා මහජන පුස්තකාල ශාලාවේ දේශනයක් පවත්වමින් සිටිය දී එක් ශිෂ්‍යයකු පැමිණ මෙයා ද මේ භෞතික විද්‍යාව බොරු කියා කියන්නේ යැයි සාවඥ ව අසා ඇති ආකාරය. මා අදත් කියන්නේ බටහිර ස්වාභාවික විද්‍යා පට්ටපල් බොරු කියා. බටහිර සමාජයීය විද්‍යා පට්ටම පට්ටපල් බොරු කියා. සමාජයීය විද්‍යා ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. ඒවා බටහිර ස්වාභාවික විද්‍යා පසුපස නොන්ඩි ගහන දැනුම් පද්ධති පමණයි. ජාතිය යනු කුමක් ද සංස්කෘතිය යනු කුමක් ද සභ්‍යත්වය යනු කුමක් ද නොදන්නා බටහිර සමාජයීය විද්‍යාඥයන් සභ්‍යත්ව ගැටුම් ගැන පොත් ලියනවා. මෙරට ඉන්නා විද්වතුන් ජාතියක් නැත යනුවෙන් කියන්නේ බටහිරයන් කියන අදහස් ටිකක් පුනරුච්චාරණය කිරීමෙන් පමණයි. ඔවුන් අනුකාරකයන් මිස මතවාද නිර්මාණය කරන්නන් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියක් නැත කියා ප්‍රකාශ කරන අතර ඔවුන් කියනවා සියල්ල බොරු, ඒ බව නලින් ද සිල්වා කියන්න ඕන නැහැ කියලා. බෞද්ධ සංස්කෘතියක් නැහැ කියන එකත් බොරුවක් ද? බොරු (අසත්‍යය) හා මුසා අතර වෙනස පඬියන් දන්නවා ද?   මෙරට උගතුන් හා දේශපාලනඥයන් අතර වැඩි වෙනසක් නැහැ. ඔවුන්ගේ කියුම්වල ඇත්තේ පරස්පර පමණයි.



ග්ලයිෆොසේට් ගැන මා දැන සිටි කරුණු දෙකක් තිබෙනවා. එකක් එය පිළිකා කාරකයක් බව. අනෙක එය ආසනික් ලවණ වකුගඩුවලට ගෙන යෑමේ දී වාහකයක් වශයෙන් යෙදෙන බව. පළමුවැන්න මා දන්නේ බටහිර විද්‍යාඥයන්ගේ ලියකියවලින්. දෙවැන්න මා දන්නේ නාථ දෙවියන්ගෙන්. එක්තරා වෙබ් අඩවියකට අනුව ලෝකයේ ම අංක එකේ වකුගඩු රෝග විශේසඥයා වන චන්න ජයසුමනට හා ග්ලයිෆොසේට් තහනම වෙනුවෙන් සටන් කරන රතන හිමියන්ට අනුව ග්ලයිෆොසේට් වකුගඩු රෝග කාරකයක්. මට එපමණ දැනුමක් නැහැ. මා ඒ ගැන ඊනියා පර්යේෂණ කරලත් නැහැ. අද වකුගඩු සටනේ ඉදිරියෙන් ම ඉන්නේ චන්න ජයසුමන, රතන හිමියන් හා දෙරණ නාලිකාව.



චන්න ජයසුමන වකුගඩු සටන ගැන පොතකුත් ලියා තියෙනවා. ඒ පොතට පෙරවදනක් ලියා තියෙන්නෙ ගුණදාස අමරසේකර. අමරසේකර දන්ත වෛද්‍යවරයකු නිසා චන්න ඔහුට ආරාධනා කරන්න ඇති. මා ඒ දිනවල හිටියේ පිටරට. එත් පිටරට සිට පෙරවදනක් ලියා විද්‍යුත් තැපෑලෙන් එවන එක අමාරු වැඩක් නො වෙයි. චන්න අමරසේකරට පෙරවදනක් ලියන්න කියා ඇත්තේ අමරසේකර වකුගඩු සටනෙහි දී චන්න සමග එකට හිටි නිසා වෙන්න ඇති. සෙත්කවි ජ්‍යොතිෂය ආදිය විශ්වාස කරන අමරසේකරට නාථ දෙවියන් ගැන අවිශ්වාසයක් තියෙන්න බැහැ. එහෙත් ඔහු ඒ කිසිවක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැහැ.



මතුගම සෙනෙවිරුවන් පසුගිය දිනෙක වකුගඩු රෝගය ගැන පුවත්පතකට ලිපියක් ලියා තිබුණා. එහි චන්න ජයසුමන හා මහාචාර්ය ප්‍රියානි පරණගම කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් සම්බන්ධ කරන ලද පරීක්‍ෂණ ගැන ලියා තිබුණා. මා හිතන්නේ ඔවුන් ඒ ගැන පර්යේෂණ පත්‍රිකාත් පළ කර තිබෙන බවයි. සමහර විට චන්න ජයසුමන තම මහාචාර්ය පදවිය ලබාගැනීමටත් ඒ පත්‍රිකා ඉදිරිපත් කරන්න ඇති. ප්‍රියානි පරණගම ඉතා කැප කිරීමකින් ඒ පර්යේෂණ කළ බව මා දන්නවා. මා නම් මේ කිසිම පර්යේෂණයකට හවුල් වුනේ නැහැ. මා රසායන විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් දිගින් දිගට ම අසමත් වූවෙක්. මතුගම සෙනෙවිරුවන් මා ගැන සඳහන් නොකිරීම පුදුමයට කරුණක් නො වෙයි.



මා ඒ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති. විද්‍යාව පට්ටපල් බොරුවක් ය කී මා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස තබා ගැනීමට පීඨ මණ්ඩල සාමාජිකයන් අති බහුතරය කැමති වූයේ නැහැ. එහෙත් 2009 මා පත් වී සිටියේ අවුරුදු තුනකට. පීඨාධිපතිවරයකු ඉවත් කරන්නේ කෙසේ දැයි විශ්වවිද්‍යාල පනතේ සඳහන් වන්නේ නැහැ. මා රනිල්ට වඩා වාසනාවන්තයෙක්. ඔවුන්ට අඩු තරමෙන් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්වත් ගෙන ඒමට ප්‍රතිපාදන තිබුණේ නැහැ. ඔවුන්ට කළ හැකි වූයේ පීඨමණ්ඩල රැස්වීම්වල දී මට බාධා කිරීම පමණයි. විශ්වවිිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ තර්ක කිරීමේ හැකියාව ගැන අවබෝධයක් ඇති මට පීඨමණ්ඩල රැස්වීම් පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් වුණේ නැහැ.



එහෙත් මා එසේ පත්වී අවුරුදු දෙකක් ගිය තැන විශ්‍රාම ගැනීමට නියමිත ව තිබුණා. ආසනික් පර්යේෂණ ඉදිරියට ගෙන යෑමේ ප්‍රශ්න මතු වුණා. චන්නගේ ආචාර්ය උපාධි ලියා පදිංචියත් අවලංගු කිරීමට ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා. එහි දී ප්‍රියන්තා සේනානායක මහත්මිය පියවරක් ගත්තා. ඇය තමයි නාථ දෙවියන් සමග සන්නිවේදනයක් පැවැත්වූයේ. මේ සන්නිවේදනය පිළිබඳ එදා චන්න ජයසුමන දැන සිටියා. අද අනුරුද්ධ පාදෙණිය දන්නවා. මට සේවය දිර්ඝ කිරීමක් ලබා දීමට ප්‍රියන්තා සේනානායක විමල් වීරවංසත් යොදා ගත්තා. විමල්ලා වසන්ත බණ්ඩාරලා පමණක් නොව මහින්දත් රතන හිමියනුත් ප්‍රියන්තා සේනානායක දැන සිටියා. මගේ සේවය දිර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුණා. එය ප්‍රියන්තා සේනානයකගේ, ඇත්තට ම නාථ දෙවියන්ගේ වුවමනාවට සිදු වූ දෙයක්. නාථ දෙවියන් කර ඇත්තේ වැරදි වැඩක් යැයි කවුරු හරි කියන්න පුළුවන්. එය වැරදිවත් නීති විරෝධිවත් නැහැ. (මතු සම්බන්ධයි)