History

Sunday, 22 April 2018

බන්දුල කාගේ මුට්ටිය ද?


බන්දුල කාගේ මුට්ටිය ද?



මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඇත්තේ ජනතාවට ය. ජනතාව එය ක්‍රියාත්මක කරන ආකාරය හතරවැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙයි. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද, විධායක බලය ජනාධිපති මගින් ද, අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් පිහිටුවන ලබන අධිකරණ හා වෙනත් ආයතන යොදා ගනිමින් පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක වෙනවා. බොහෝ දෙනා නොදනිතත් අධිකරණ බලය ද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගින්.




අද ප්‍රශ්නයක් ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් නගන්නේ විධායක බලය අහෝසි කිරීම. ඔවුන් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමග ගැට ගහනවා. මෙවැනි තීරණයක් ඒකාබද්ධ විපක්‍ෂය අරගෙන නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ කෙසේ වෙතත් පොහොට්ටුවේ ඇතැම් නායකයන් එවැනි තීරණයක ඉන්න බවක් පෙනී යනවා. මේ ප්‍රශ්නයේ දී බන්දුල ගුණවර්ධන නිකම් ම මුට්ටිය වූවා පමණයි. දේශපාලනඥයන්ට ඉඳහිට නායකයන් වෙනුවෙන් මුට්ටි බවට පත්වීමට සිදු වෙනවා. අපට බන්දුල ගුණවර්ධන මුට්ටිය බිඳින්න වැඩක් නැහැ. මුට්ටිය එවපු අත කඩන්න වෙනවා. ප්‍රශ්නය අත කාගෙ ද යන්නයි. මෙයින් බන්දුල නිදොස් කිරීමක් සිදු වන්නේ නැහැ. ඔහු මුට්ටියක් වුණේ අකමැත්තෙන් වෙන්න බැහැ.



සමහරුන් හිතනවා ඇති දැන් පොහොට්ටුවේ දේශපාලනය ජාතිකත්වයෙන් ඉවතට ගෙන යන්න. එසේ ගෙන යන්න බැරි තරමට අද ජාතිකත්වය (එහි විවිධ ශ්‍රේණි තියෙනවා) සිංහලයන් අතර මුල් බැහැ ගෙන. අප තේරුම් ගත යුත්ත මහින්ද රාජපක්‍ෂ නිසා ජාතිකත්වය ඇති වූවා නොව ජාතිකත්වය නිසා මහින්ද රාජපක්‍ෂ ඇති වූ බව. වෙන කාටත් වඩා හොඳින් මහින්ද ඒ බව තේරුම් ගත යුතුයි. ඒ ඔහුගේ ම සුබ සිද්ධිය වෙනුවෙන්.



ඇතැමුන් 2015 මහින්ද පරාජය තේරුම් කරන්න ගියේ මහින්ද ජාතිකත්වයට වුවමනාවට වඩා නැඹුරු වීම නිසා වූවක් ලෙස. එහෙත් අප ජනාධිපතිවරණ සමයේ දී ම පෙන්වා දුන්නේ එකල සංධානය ජාතිකත්වයට අවශ්‍ය ප්‍රමාණයට නැඹුරු නොවී ඇතැමුන්ගේ බලපෑමෙන් ජාතිකත්වයෙන් ඈත් වූ බවයි. මහින්ද පැරදුණේ ජාතිකත්වයෙන් ඈතට ගිය නිසයි. විශේෂයෙන් ම නගර ආසන්නයේ ජීවත් වූ ජාතිකත්ව මතධාරීන්ගෙන් මහින්ද ඈත් වූ නිසයි. අද සිංහල විරෝධි දේශපාලනඥයන් ද පඬියන් ද එකී නොකී සියළුම දේශද්‍රෝහීන් ද, දෙමළ ජාතිවාදීන් ද ඒ සියල්ලන්ටමත් වඩා ඉන්දීය රෝ ඔත්තු සේවය ද උත්සාහ කරන්නේ මහින්ද ජාතිකත්වයෙන් තව තවත් ඈත් කිරීමටයි. මේ උත්සාහය 2009 නන්දිකඩාල් දක්වා දිව යනවා.



ජාතිකත්වයේ ප්‍රධාන සතුරකු අද රනිල් සමග සම්බන්ධ වී සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ රෝ ඔත්තු සේවය සමගයි. නන්දිකඩාල් ආසන්නයේත් එවැන්නක් සිදු වූ බව මගේ විශ්වාසයයි. මහින්දට 13+ ආකස්මික ව ලැබුණා නො වෙයි. ඔහු එදා 13+ කියා අමාරුවේ වැටුණා. අද විධායක අහොසි කිරීමක් හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ගැන කියමින් නැවත වරක් අමාරුවේ වැටෙන්න හදනවා. මෙවර අමාරුවේ වැටුණොත් මහින්දට දේශපාලන වශයෙන් ගැලවීමක් නැතිවේවි.



විධායකය අහෝසි කරන්න ලෙහෙසියෙන් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූතුන්වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කියන තුන්වැනි ව්‍යවස්ථාව ඇතුළු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ජනමත විචාරණයකින් ද කැමැත්ත ලබා ගත යුතුයි. හතරවැනි ව්‍යවස්ථාව අසූතුන්වැනි ව්‍යවස්ථාව යටතෙහි සඳහන් නොවුණත්, එය ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය හා සම්බන්ධයි. එමනිසා හතරවැනි ව්‍යවස්ථාව කියවිය යුතුව ඇත්තේ තුන්වැනි ව්‍යවස්ථාව සමගයි. වෙනත් වචනවලින් කියන්නේ නම් හතරවැනි ව්‍යවස්ථාව සංශෝධනයන කරන්නත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා.



මෙය මගේ තර්කයක් පමණක් නො වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් ද තියෙනවා. එබැවින් ද්‍රෝහීන් ටික දෙනකු එකතු කර ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත්තත් ජනමත විචාරණයක දී අපට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පරද්දන්න පුළුවන්. අද කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කවුරු කොයි පැත්තේ ඉන්නවා ද නැද්ද යනු නොසලකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීම වැළැක්වීම සඳහා ව්‍යාපාරයක් දියත් කිරීමයි.



එයින් සෑහීමකට පත් නොවී ජනමත විචාරණයක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධව ජනතාව ජනතාව සංවිධානය කළ යුතු වෙනවා. එහි දී අපට පක්‍ෂ භේදයක් තියෙන්න බැහැ. මෙය ජාතියට විරුද්ධව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය එළෙස ම තියා ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතිද්‍රෝහී කටයුත්තක්. අපට හට්ටි මුට්ටි හැළි වළං සියල්ල තේරෙනවා. මුට්ටිය බිඳීම පසෙක තබා හස්තය බිඳිමු.  අවශ්‍ය නම් මුට්ටියත් බිඳ හස්තයත් බිඳිමු.