History

Saturday, 21 April 2018

විධායකය අහෝසි කිරීම


විධායකය අහෝසි කිරීම



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිටුපස ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට ඇති කැමැත්තක් නොව දෙමළ ජාතිවාදයට තව තවත් බලතල ලබා දීම සඳහා වූ ප්‍රයත්නයක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එහි දී ඇමක් ලෙස යොදා ගන්නවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට සරල නැත්නම් ලිහිල් සන්ධීය රාජ්‍යයක් බිහි වූවා. ඒ ගැන මා ලිපි රාශියක් ලියා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය හා සම්බන්ධයෙන් මා පෙන්වා දී ඇත්තේ දහතුන සම්මත කර ගැනීමේ දී ජේ ආර් පාර්ලිමේන්තුවත් (ව්‍යවස්ථාදායකයත්) අධිකරණයත් යන දෙක ම රවටා ඇති බවයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ම නීත්‍යානුකූල නොවූවත් අද එයට අභියෝග කිරීමට බැහැ.




කොහොමටත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා පනතත් එහි සඳහන් අන්දමට ම ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ ඇති වූ සාකච්ඡා මට මතකයි. දෙමළ ජාතිවාදී පක්‍ෂ කෙතෙක් උත්සාහ කළත් සමසමාජ පක්‍ෂයේ තිස්ස විතාරණ හා කොමියුනිස්ට් පක්‍ෂයේ රාජා කොල්ලුරේ ඒ අයට ආධාර කළත් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට දීගන්නට ඔවුන්ට නො හැකි වුණා. ඒ අවස්ථාවේ දී අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ පක්‍ෂ නායක හා සර්ව පාක්‍ෂික නියෝජිත කමිටු සාමාජිකයන් අතර පැවැත් වූ සාකච්ඡාවක දී මහින්ද අප සමග එකට හිටියා. නිමල් සිරිපාල වැනි ඇමතිවරු අපට විරුද්ධ වූ බව සඳහන් කළ යුතුයි. මේ නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර. අපේ හමුදා කිලිනොච්චියට ඇතුල් වීමෙන් පසු මා කමිටුවෙන් ඉවත් වුණා. ජයග්‍රහණය ගැන මගේ විශ්වාසයක් තිබුණා. මා සාකච්ඡාවලට සහභාගි වුණේ හමුදාවට තම කාර්ය කර ගැනීමට කාලය සැපයීම සඳහා පමණයි.



එහෙත් නන්දිකඩාල් සමග තත්වය වෙනස් වුණා. මහින්ද 13+ දෙන බව කිව්වා. නන්දිකඩාල් ජයග්‍රහණයට තමන් ආධාර කළ බව ඉන්දියාව කිව්වා. ඉන්දියාව අවුරුදු දෙකක් පමණ ජෙනීවාහි දී අපට සහාය දුන්නා. ඊනියා ස්මාට් ජාතිකවාදීන් බලයට පත් වුණා. දයාන් ජයතිලක පැරිස් හි දී හා ජෙනීවා හි දී ලංකාව නියෝජනය කළා. නන්දිකඩාල් ආසන්නයේ දී මෙරට දේශපාලනයේ විශාල වෙනසක් සිදු වුණා. ජාතිකවාදීන් පස්සට ගියා. ඊනියා ස්මාට් ජාතිකවාදීන් ඉදිරියට පැමිණියා. එය විදේශීය ඔත්තු සේවා, විශේෂයෙන් ම ඉන්දීය රෝ ඔත්තු සේවයේ මැදිහත් වීමත් සමග සිදු වූවක්. 2010 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කෙළේ ජාතිකවාදී බලවේග නො වෙයි. ජාතිකවාදීන් මහින්දට ඡන්දය දීම වෙනත් කරුණක්.



මෙරට මුහුණු පොතේ පඬියන්ට හා පඬි පෝතකයන්ට එසේ නොකියා බැහැ. ඊයේ එක් පඬි පෝතකයකු අසා තිබුණා දෙමළ විඥානයක් තිබීම සඳහා තිබිය යුතු සාධක මොනවා ද කියා. ඔහු එය අසා තිබුණේ මා මෙරට දෙමළ සාමුහික විඥානයක් නැති බව පෙන්වා දෙමළ විඥානයක් ඇති බවට සාධක පෙන්වන ලෙස කීමෙන් පසුව. ඔහුගේ පඬිකම අනුව විඥානයක් නොතිබීමයි පෙන්විය යුත්තේ. ඔහුට තේරුමක් නැහැ දෙමළ විඥානයක් ඇති බව පෙන්වීම කියන එක තව විධියකින් කීමක් තමයි දෙමළ විඥානයක් ඇති බවට සාධක පෙන්වීම කියන්නෙත් කියා. පඬියන්ට හා දෙමළ ජාතිවාදීන්ට දෙමළ විඥානයට සාධක පෙන්නන්න බැරි නම් දෙමළ විඥානයක් තියෙන බව පෙන්වන්න. විඥානය යන්න අර්ථ දැක්වීමේ දී ම එයට අවශ්‍ය සාධක (නිර්ණායක) ද අර්ථ දැක්වෙනවා. මෙහෙමත් පඬියන්!



එවැනි තවත් පඬි පෝතකයකු අසා තිබුණා විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමෙන් ලිහිල් සන්ධීය රාජ්‍යයක් ශක්තිමත් සන්ධීය රාජ්‍යයක් බවට පත්වන්නේ කෙසේ ද කියා. ඔහු පඬි පෝතකයකු නිසා ඉන්දියාවේ විධායක ජනාධිපති ක්‍රමයක් නැතිවත් එය සන්ධීය වී නැති බව පෙන්වනවා. ඉන්දියාවේ ඇත්තේ සන්ධීය රාජ්‍යයක්. එය වෙන ම කරුණක්. එහෙත් මා විධායක ක්‍රමය අහෝසි කළ පමණින් ශක්තිමත් සන්ධීය රාජ්‍යයක් බිහිවන බවක් කියා නැහැ. මා කියා ඇත්තේ දහතුන හා පළාත් සභා තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සන්ධීය රාජ්‍යයක් ඇති වන බව. පඬියන්ට හා පඬි පෝතකයන්ට ලිපියක් කියවා තේරුම් ගැනීම අපහසුයි. ඔවුන් තවමත් දන්නේ නැහැ මෛත්‍රිපාලට ශක්තිය ලබා දීම යනු කුමක් ද කියා. ඔවුන් තවමත් රනිල් මෛත්‍රිපාල රංගනයක් දකිනවා වෙන්නත් පුළුවන්.



අද තර්කයක් ගේනවා සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න බැහැ කියලා. ඒ නිසාත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියනවා. මෙය ව්‍යාජ තර්කයක්. සිංහල ඡන්ද 75%ක් පමණ තියෙනවා. එයින් තුනෙන් දෙකක් ගත්තොත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. එහි දී මුස්ලිම් හා දෙමළ ඡන්ද ද යම් ප්‍රමාණයක් ලැබෙන බව අමතක නොකළ යුතුයි. සිංහල බෞද්ධ ඡන්ද 70%ක් පමණ තියෙනවා. එයින් 70%ක් ලබා ගන්න පුළුවන් නම් ජයග්‍රහණය කරන්න පුළුවන්. සිංහල ක්‍රිස්තියානි ඡන්ද ද විශාල ප්‍රමාණයක් ලැබෙන බව අමතක නොකළ යුතුයි.



අද දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීම යනු දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයන්ට කප්පන් දීමක්. එය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට අහිතකර ප්‍රතිඵල ලබා දෙනවා. මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයන්ට කප්පන් නොදී සිංහලයන්ට කෙලින් ම කතාකරනවා නම් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. අද ඉදිරිපත් වී සිටින බොහෝ ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ප්‍රශ්නය ඔවුන් සිංහලයන්ට කෙලින් ම කතා නො කිරීමයි. ඔවුන් බඩේ බිජු තියාගෙන දේශපාලනය කරන විදේශීය ඔත්තු සේවාවලින් පාලනය වන්නන්. දහතුන අහෝසි කරනවා කියා ජනාධිපතිවරණයකට ගියොත් පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සභා ඇති කරනවා යැයි කීවොත් සිංහල මිනිසුන් ඡන්දය නොදී සිටීවි ද? රණවිරුවන් ආරක්‍ෂා කිරීම, මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය අහෝසි කිරීම, බැඳුම්කර හොරුන්ට දඬුවම් කිරීම ආදිය තවත් දේශපාලන පොරොන්දු. මේ පොරොන්දුවලට ආර්ථික හා සංස්කෘතික පොරොන්දු ද ගැට ගැසිය යුතු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.  අප ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ සිංහලයන්ට කෙලින් ම කතා කරන අපේක්‍ෂකයකු මිස ඉන්දියාවේ ඒජන්තයකු නො වෙයි.  සිංහලයන්ට කෙලින් ම කතා කිරීම යනු ජනවර්ගවලට විරුද්ධ වීමක් හෝ ජනවර්ග බැහැර කිරීමක් හෝ නො වෙයි.