History

Friday, 20 April 2018

දෙමළ විඥානයකට සාධක නැහැ

දෙමළ විඥානයකට සාධක නැහැ

උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනයාට තමන් ඒ පළාත්වල පාරම්පරික ව විසූ බවට ඊනියා ජාතික හෝ වෙනත් විඥානයක් තිබුණු බවට කිසිම සාධකයක් නැහැ. එසේ සාධක තියෙනවා නම් කළ යුත්තේ ඒ සාධක ඉදිරිපත් කිරීම මිස එලෙස තිබූ බවට කෑමොර ගැසීම නො වේ. එවැනි විඥානයක් ඒ පළාත්වල වාසය කරන ජනයාට එදා තියා අදත් නැහැ. මේ පළාත්වල (සුද්දන් බෙදූ පළාත් දෙකක් වීම මෙහි දී නොසලකා හැරිය හැක්කක් නො වේ) අද ජීවත්න ජනයා කොටස් හතරක්. උතුරු පළාතේ හා අද වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අවට ජීවත්වන දෙමළ ජනයා, නැගෙනහිර පළාතේ ජීවත්වන සෙසු දෙමළ ජනයා, නැගෙනහිර පළාතේ ජීවත්වන මුස්ලිම් ජනයා හා වවුනියා දිස්ත්‍රික්කයේ හා නැගෙනහිර පළාතේ ජීවත්වන සිංහල ජනයා.

උතුරු පළාතේ ජීවත්වන දෙමළ ජනයා 1950 පමණ වන තුරුත් කිලිනොච්චිය හා එයින් දකුණ තම පාරම්පරික නිජභූමියක් තබා වාසභූමියක් ලෙසවත් නොසැලකූ බව ඉරණමඩු සිද්ධියෙන් පැහැදිලි වෙනවා. මේ ජනයාගෙන් විශාල ප්‍රමාණයක් තම නිජභූමිය ලෙස සැලකුවේ තමිල්නාඩුව නමින් අද හැඳින්වෙන ප්‍රදේශයයි. ලන්දේසීන්ට හා පසුව ඉංගිරිසින්ට තේසවලාමේ නීතිය පැනවීමට හේතු වූයේ යාපන අර්ධද්වීපයෙහි ජනයා පළමුව දුම්කොළ අස්වැන්න නෙලීමෙන් පසුව හා වෙනත් විවිධ කරුණු මත තමිල්නාඩුවට ගිය බැවින්. ඊනියා ඉතිහාසඥයන්ට තේසවලාමේ නීතිය පැනවීමේ ඉතිහාසය සොයා බලන්න පුළුවන්. ඔවුන් ආපසු තමිල්නාඩුවට (ඒ නමින් අද හැඳින්වෙන ප්‍රදේශයට) ගියේ ඒ තම නිජභූමිය ලෙස සැලකූ බැවින්. ඔවුන් මෙරටට පැමිණියේ රැකියාවක් සඳහා මිස පදිංචිය සඳහා නො වේ. ඔවුන් ස්වෙච්ඡාවෙන් මෙහි පැමිණියවුන් ද නොවෙයි. ඔවුන් ලන්දේසීන් විසින් ගෙන්වනු ලැබූවන්. රැකියාවකට ගෙන ගිය අයට ඒ ගිය ප්‍රදේශය තම නිජභූමියක් තබා වාසභූමමියක් ලෙසවත් සිතෙන්නෙ නැහැ. ඔවුන් බලා සිටින්නේ හැකි ඉක්මනින් ආපසු තම නිජභූමියට යෑමට.

සිංහලයන් මේ ඉතිහාස කතා ගැන උනන්දුවක් නෙදැක්වීම කණගාටුවට කරුණක්. ඔවුන් කතා කරන්නේ තේසවලාමේ නීතිය අහෝසි කිරීම ගැන පමණයි. එය අහෝසි කරන එක හොඳයි. එහෙත් එය පැනවූයේ මොකට ද එය කාගේ නීතියක් ද ආදිය ගැන සොයා බැලීමට සිංහලයන් උනන්දුවක් නොදැක්වීම කණගාටුදායකයි. තේසවලාමේ නීතිය ලන්දේසීන් ලබා ගත්තේ දකුණු ඉන්දියාවේ වාසය කළ මුස්ලිමුන්ගෙන්. එය දෙමළ නීතියක් නොවන බවවත් අමිර්තලිංගම්ලා දැන සිටියේ නැහැ. ඔවුනුත් ඒ බව දැන ගත්තේ ගාමිණී ඊරියගොල්ල මහතාගෙන්. තේසවලාමේ නීතිය පැනවූයේ ම දෙමළ වෙල්ලාල කෘෂිකම්කරුවන් ආපසු තම නිජභූමියට යෑම වළක්වා මෙරට ස්ථිර ව පදිංචි කරවීමට. තේසවලාමේ නීතිය අහෝසි කළ යුතු බවට උද්ඝෝෂණය කිරීමේ දී මේ කරුණු ද මතක් කළ යුතුයි.

යාපන අර්ධද්වීපයේ වැඩට ගෙනා වෙල්ලාලයන්ට දෙමළ අනන්‍යතාවක් දීමට ලන්දේසීන් උත්සාහ ගත්තෙත් නැහැ. ලනදේසීන්ට අවශ්‍ය වුණේ වත්මන් නැගෙනහිර පළාත සිංහල රජුට අහිමි කිරීම මිස දෙමළ අනන්‍යතාවක් ඇති කිරීම නො වෙයි. ලන්දේසීන් දෙමළ ප්‍රභූන් ලවා යාල්පානම් වෛපව මාලෙයි වැනි කවි පොත් ලියවා ගත්තාට ඒවා ඉතිහාස පොත් වූයේවත් සාමාන්‍ය ජනයා අතරට ගියේවත් නැති බව පැහැදිලියි. එහෙම ගියා නම් සාධක දෙන්න ඕන. දෙමළ වෙල්ලාලයන් ඉංගිරිසි කාලයේදීත් බැලුවේ ආපසු තමිල්නාඩුවට යෑමටයි. ඉංගිරිසින්ට නැවතත් තේසවලාමේ නීතිය පැනවීමට සිදු වූයේ එබැවිනුයි.

මඩකලපුවට හා නැගෙනහිර පළාතට දෙමළ ජනයා ගෙනාවේ ඉංගිරිසින් විසිනුයි. ඒ බවට සාක්‍ෂි රාජ්‍ය ලේඛනාගාරයේ තියෙනවා. ඒ දෙමළ ජනයා හරි පසුව වතුකරයට ගෙනා දෙමළ ජනයා හරි ආපසු යෑමට නම් උනන්දුවක් දක්වා නැහැ. එයට හේතු වන්න ඇත්තේ ඒ පිරිසට තම නිජභූමියට වඩා යහපත් ජීවන තත්වයක් මෙරට තිබීම. මේ දෙකොටස ම දුගී තත්වයේ පසු වූ බව පැහැදිලියි. දෙමළ වෙල්ලායන් ඒ දෙකොටස ම දෙස බැලුවේ පහත් මට්ටමින්. උතුරු පළාතේ එනම් යාපනයේ දෙමළ ජනයා හා මඩකලපුවේ දෙමළ ජනයා එකම ජනවර්ගයක් හෝ එකම පාරම්පරික විඥානයක් (වාසභූමි හෝ වෙනත් කිනම් කරුණක් සඳහා හෝ) තිබූ බවට කිසිම සාධකයක් නැහැ. එසේ තිබුණා නම් ඒ බව පෙන්වන ලෙස, නිකම් ප්‍රකාශ කිරීම, ඊනියා යෝජනා කිරීම නොව, ඕනෑම පඬියකුට අභියෝග කරනවා.

මේ පළාත්වල අනෙක් ජනයා මුස්ලිම් හා සිංහල ජාතිය කිසිසේත් ම දෙමළ පාරම්පරික කතාවකට එකඟ වන්නේ නැහැ. 1976 ව්‍යාජ වඩුකොඩෙයි සම්මේලනයෙන් පසු චෙල්වනායගම්  ප්‍රකාශ කෙළේ දෙමළ ජාතියක් පිළිබඳ විඥානයක් නො වේ. ඔහු එදත් කීවේ දෙමළ කතාකරන ජනතාවක් ගැන. අෂ්රොෆ් දෙමළ ජාතියකට ඇතුල්වීමට කැමති වූයේ කවදා ද? උතුරු හා නැගෙනහිර පළාත්වල තබා උතුරු පළාතේවත් කිසි දිනෙක දෙමළ විඥානයක් තිබී නැහැ. එහි දරුණු කුල භේදයක් නම් තිබුණා. ප්‍රභාකරන් කාලයේ වෙල්ලාලයන් ඝාතනයක් නම් සිදුු වූවා. ප්‍රභාකරන් මුලින් ම ඝාතනය කෙළේ සිංහලයන් නොව වෙල්ලාලයන්.

පුහු පඬියන් පොරවල් වීම සඳහා ඊනියා දෙමළ විඥානයක් ගැන බොරු කතා කීම පැත්තකට දමා සාධක ඉදිරිපත් කරන්න ඕන. අද මේ දෙමළ ජාතික විඥාන කතාව ප්‍රධාන වශයෙන් ම උගත් වෙල්ලාලයන්ගේ හා පුහු පඬියන්ගේ කතාවක් පමණයි. එය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති වූ වෙල්ලාල ජාතිවාදීන්ගේ නිර්මාණයක්. එය ඔවුන්ගේ සිංහල විරෝධය යුක්තියුක්ත කිරීමට නිර්මාණය කරගත් කතාවක් පමණයි.  එය සාමාන්‍ය ජනයා අතර පවතින්නක් නො වෙයි. අනෙක් අතට එවැනි ඊනියා විඥානයක් තිබුණා යැයි සිතමු. ප්‍රභාකරන් සටන් කෙළේ එවැනි විඥානයක් සහිත ව යැයි උපකල්පනය කරමු. ඒ සටන නන්දිකඩාල් කලපුවේ දී පරාජය වුණාට පසු ඒ ඊනියා විඥානයක් තිබුණා නම් ඒ වෙනුවෙන් කළ සටන් පරාදයි. නට්සි විඥානයක් තිබිණි නම් යුද්ධයෙන් පසු එය පරාදයි. දැන් ඒ ගැන කතා කරන්න බැහැ. නට්සින්ට තරම්වත් විඥානයක් උතුරු හා නැගෙනහිර පළාත් එකට ගත්තම දෙමළ ජනයාට තිබුණේ නැහැ. කොහොමටත් එසේ තිබිණි නම් ඒ බව පෙන්වීම පඬියන්ගේ හා දෙමළ ජාතිවාදීන්ගේ වැඩක්. නොපෙන්වීම අපේ වැඩක් වන්නේ නැහැ.