History

Wednesday, 30 May 2018

විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ


විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ





තවම විස්ස කෙටුම්පත දැකලා නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ අපි තීරණයක් අරගෙන කියන්නම්  ආදී කතා විවිධ පක්‍ෂවලින් ඒ කියන්නෙ, ඒවායෙ නායකයන්ගෙන් කියැවෙනවා. ඔය කෙටුම්පත ඕන නම් ජ වි පෙරමුණෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. දි අයිලන්ඩ් පත්තරේ ඒකෙ තියෙන දේ ගැන කෙටි සටහනක් පළ වුණා. දි අයිලන්ඩ් පත්තරේට ගන්න පුළුවන් වුණා නම් අනෙක් පත්තරවලට ගන්න බැරි වුණෙ මොක ද කියන එකත් ප්‍රශ්නයක්.




ඒ මොන බයිලා කිවුවත් මේ වන  විට විස්සේ අඩංගු ප්‍රධාන කාරණා බොහෝ දෙනා දන්නවා. එහි අඩංගු මූලික කරුණු දෙකයි. එකක් විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම අනෙක ජනාධිපති මුළු රට ම ඡන්ද කොට්ඨාශය ලෙස  සලකා නොව පාර්ලිමේන්තුවෙන් තේරීම. මා මේ කරුණු ගැන මැයි 26 හා 27 දිනවල ලියා ඇති. අද මැයි 30. විස්සේ බරපතළකම නිසා ම තුන්වැනි ලිපියක් දින කිහිපයක් ඇතුළත ලියන්න වෙලා. කලින් තවත් ලිපි ලියලා තියෙනවා.



විස්ස ගෙන එන්නේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව මත රනිල්ගේ ආණ්ඩුව බවත් බොහෝ දෙනා දන්නවා. සමහර විට ජ වි පෙ දන්නේ නැතිව ඇති. ඒ්ක විප්ලවවාදී අපෝහක භෞතිකවාදයට අහුවෙන්නෙ නැතිව ඇති. ලෝකයේ කිසිම තැනක කොමියුනිස්ට් සමාජ (කොමියුනිස්ට් රාජ්‍යය තියෙන්න බැහැ නොවැ එහි රාජ්‍යය වියැකී යන නිසා- රාජ්‍යයක් ඇති වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන කියලා සමහරු හිතනවා, එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න පුළුවන් ඇති රාජ්‍යය නැතිව) කෙසේ වෙතත් සමාජවාදී රාජ්‍යයක් නැති විට, එහෙම රාජ්‍යයක් ඇති වෙන බවක් හිතන්නවත් බැරි විට විප්ලවවාදීන් මාක්ස් ගැන විශ්වාසය තබා තවදුරටත් කටයුතු කිරීම නම් ප්‍රශංසා කටයුතුයි. විශ්වාසයක තරම.



රනිල්, ජ වි පෙ, දෙමළ ජාතික සංධානය හා තවත් දෙමළ පක්‍ෂ විස්සට පක්‍ෂව ඡන්දය දේවි. මුස්ලිම් පක්‍ෂ හැමදාමත් කල්පනා කරලා තියෙන්නෙ තමන්ට යමකින් වෙන වාසිය විතරයි. ඒ මෙරට මුස්ලිම් සංස්කෘතික ලක්‍ෂණයක් ද කියලා හිතෙන තරමට ඒ විධියට වැඩ සිද්ධ වෙලා තියෙනවා. අපේ ප්‍රශ්නය තියෙන්නෙ මහින්ද, මෛත්‍රිපාල හා දහසය දෙනා මොන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවි ද යන්න.



විවිධ ජාතික ව්‍යාපාර, එළිය, වියත් මග ආදී සංවිධාන වහාම විස්ස ගැන තීරණයක දැනට ම අරන් තියෙන්න ඕන. තීරණය වෙන මොකක්වත් නොවෙයි විස්සට විරුද්ධ වීම. විස්ස දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන්න ගෙනෙන්නක්. ඉන් පළාත් සභා ශක්තිමත් වෙලා පාර්ලිමේන්තුව දුර්වල වෙනවා. විධායක බලතල නැති ජනාධිපතිවරයකු පත් කරන ආණ්ඩුකාරයන්ට කළ හැකි දෙයක් තියෙනවා ද? විස්සෙන් රට බෙදෙනවා කියලා මා කියන්නෙ නැහැ. විසේසන් පැහැදිලිව ම රට බෙදෙන තත්වයකට තල්ලු වෙනවා.



මහින්ද දහනවයට ඡන්දෙ දුන්නෙත් පෞද්ගලික කාරණා මත පදනම් වෙලා. අප ඉහත සඳහන් ලිපිවලින් කියා ඇත්තේ රට ගැන මිස පෞද්ගලිකත්වය සලකා විස්ස ගැන තීරණයක් නොගත යුතු ය කියා. චන්ද්‍රිකා විස්ස ගැන සතුටු ඇති. මහින්ද විස්ස ගැන මොකද කියන්නෙ. ඒ ගැන මෛත්‍රිපාල මොකද කියන්නෙ. දෙන්න ම විධායක අගමැතිවරුන් වන්න හිතනවා ද? අර දහසය දෙනා මොකක් ද ගන්න ස්ථාවරය.



අද රට මුහුණ පා තියෙන්න ඉතා ම අමාරු තත්වයකට. විස්ස සම්මත වුණොත් රට දෙකඩ වීමට තව එක් පියවරයි. මහින්ද 2005ට කලින් ජාතිකවාදියකු නො වෙයි. ඔහු ජාතිකවාදීන්ගේ මැදිහත් වීම නිසා 2005න් පසු ක්‍රමයෙන් ජාතිකත්වයට තල්ලු වුණා. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග ඔහු වෙනස් වුණා. ස්මාට් ජාතිකවාදීන් ඔහු වට කර ගත්තා. 13+ ගැන කතා කළා. දයාන් වැන්නන් විදේශ ප්‍රතිපත්තියට බලපෑම් කළා.



අද ස්මාට් ජාතිකවාදීන් ගෝඨාභයත් වට කර ගෙන. එක් ස්මාට් ජාතිකවාදියෙක් විධායක ජනාධිපති ක්‍රමය තිබීම නිසා රට ඒකීය වන්නෙ නැහැ කියලා ව්‍යාජ තර්ක ඉදිරිපත් කළා. එහෙත් ඒ තර්ක අදාළ වුණෙ දහතුනට ඉස්සෙල්ලා. දහතුනෙන් පස්සෙ ඇත්තෙ වෙන ම තත්වයක්. මා ඒ ගැන පැහැදිලි කරලා ඇති (මැයි 16 ලිපිය බලන්න). ගෝඨාභයට තමා වටා ඉන්න අය ගැන හිතන්න වෙලා.  අද ස්මාට් ජාතිකවාදීන් ශක්තිමත්. ඔවුන්ට කිසිම ජන බලයක් නැහැ. එහෙත් ජනමාධ්‍ය බලය තියෙනවා.



විස්ස පිටුපස ගෝඨා භයත් තියෙනවා. වාසුදේවට හදිසියේ තම විප්ලවවාදී දෙමළ ජාතිවාදී දේශපාලනය මතක් වෙලා. මේ සියල්ල පරාජය කරන්න පුළුවන් මගක් තියෙනවා. ඒ රනිල් ඉවත් කිරීමෙන්. අර දහසය දෙනාට ඒ ගැන යමක් කරන්න පුළුවන්. ඒත් පොහොට්ටුවේ ඇතැමුන් ඔවුන්ට විරුද්ධයි. මේ දහසය දෙනා මෛත්‍රිපාලට උදවු කළා ද කියන එකවත් ඔවුන් නිසා ආසන සංවිධායකකම නැති වේ ද යන්න සිතීමටවත් කාලය නො වෙයි.



මෙරට දේශපාලනය මනාප ක්‍රමයත් සමග කලින් තිබුණාට වඩා පෞද්ගලිකත්වයට මුල් තැන දෙන්නක් බවට පත් වෙලා. එය එක් අයකුට දෙදෙනකුට නොව පාර්ලිමේන්තුවේ බහුතරයකට පොදුයි. අද තීරණ ගන්නේ රටේ අනාගතය ගැන බලා නොව පරම්පරාවේ අනාගතය ගැන බලලා. අද වැරදි තීරණයක් ගත්තෙත් ඒ නිවැරදි කරන්න බැහැ.