History

Friday, 4 May 2018

පේරාදෙණි සංවාද




පේරාදෙණි සංවාද



චන්න ජයසුමන මේ දිනවල ඔහුගේ මුහුණු පොතෙහි පිටුවේ පේරාදෙණි සංවාද මැයෙන් ලිපි පෙළක් ලියනවා. ඒ කියවන විට මට සතුටක් මෙන් ම කණගාටුවක් ද දැනෙනවා. මා හිතන්නේ සතුටට වඩා කණගාටුවක් කියා. සතුටට හේතුව අද ජාතික ව්‍යාපාරයෙන් කොන් කෙරී තිබුණත් යටගිය දවස එක්තරා වකවානුවක මා එහි සුළුවෙන් නමුත් ක්‍රියාකාරී ව සිටි නිසා. චන්න තම කතාව අවසන් කරන්නේ කිනම් වකවානුවක ද කියලා මා දන්නේ නැහැ. එහෙත් දැනට ඔහු කියන්නේ විසිඑක්වැනි සියවසේ මුල කතාවක්. එකල ජාතික ව්‍යාපාරය අද තරම් දේශපාලනීකරණයට ලක් වී තිබුණේ නැහැ. චම්පක ජාතික ව්‍යාපාරය දේශපාලනය වෙනුවෙන් ගසා කෑමට පටන් ගත්තා පමණයි. විමල්, මහින්ද ආදීන් ඒ ගැන හිතා තිබුණේ නැහැ. ඒ වාක්‍යය කියවූ විගස මා සමග වෛර බැඳගන්නා ජාතිකවාදීන් ඉන්නවා. ඒ සමහරු අද මට සිරිජාතිකවාදියා කියනවා.




මේ ලිපි පෙළ පටන් ගන්නා වකවානුවට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේත් ජාතික ව්‍යාපාරය තිබුණා. ඒ අසුගණන්වල. මට චන්නට සුමේධට මෙන් හොඳ මතකයක් නැහැ. චන්නගේ ලිපිවල සඳහන් බොහෝ පුද්ගලයන් මා නමින් හඳුනන්නේ නැහැ. මට මතක කිහිප දෙනකු පමණයි. අද උස්මහත් වී සිටියත් එකල මේ අය සරසවි සිසුන්. ඔවුන් ජාතික ව්‍යාපාරය වෙනුවෙන් බොහෝ දේ ඉතාමත් කැපවීමෙන් කළා. සුමේධ හා චන්න ඒ අතරින් ප්‍රධානයි. අද ඒ දෙදෙනා ම සරසවි ඇදුරන්. මේ ලිපි පෙළ පටන්ගන්නා අවධියේ මා රැකියා විරහිත පශ්චාත් උපාධිධාරියෙක්. මා පේරාදෙණියේ දේශනවලට ගියේ මගේ භාර්යාව ඉපයූ මුදල් අවභාවිතයෙන්. මා අවුරුදු දහයක් ම යැපුණේ භාර්යාවගේ වැටුපෙන්.



මේ ලිපිවල සඳහන් සියළු දෙනා ම මා දැනගත්තේ මතවාදී සම්බන්ධතා මත. මා සමසමාජ පක්‍ෂවල ඉන්නා අවධියේත් මතවාදී සම්බන්ධතා උඩ දැන ඇඳින ගත් අය සිටියා. ඔවුන් මගේ පාසල් හා සරසවි මිතුරන්ට වඩා වෙනස්. මා සුමේධ ඇඳින ගත්තේ යම් රැස්වීමකට පැමිණි අයකු ලෙස. ඒ කවදාද යන්න මට මතක නැහැ. මා ඒ රැස්වීමේ දී මොනවා කිව්වාද කියාත් මතක නැහැ. සමහරවිට සුමේධට මතක ඇති. ඒ කුමක් වුවත් සුමේධ පේරාදෙණියට යෑමට කලින් මා දැනගෙන සිටියා. ඔහු පේරාදෙණි යැමට කලිනුත් චන්ද්‍රිකා - ජී එල් පැකේජයට විරුද්ධව බොහෝ දේ කළා. 1998 දී චන්ද්‍රිකා වේල්ස් කුමරු සමග නිදහස සමරන (මරණ) විට අප සුමේධගේ හැඳුනුකම් උඩ වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමරු සැමරුවා. අප එහි දී වෙල්ලස්සේ කුමරු සිහිවීමට ස්මාරකයක් තැනීමට මුල් ගලක් ද තිබ්බා. ඒ ස්මාරකය අවුරුදු විස්සකට පසුව ඌව වෙල්ලස්ස නිදහස් සටනින් අවුරුදු දෙසීයකට පසු අදවත් තනන්න පුළුවන් නම් හොඳයි.



චන්න පාසල් සිසුවකු ව සිටි අවධියේ මට විරුද්ධ ව ලිපියක් ලිව්වා. එය රාවණ කතන්දරයක් බවට මට යම් මතකයක් තියෙනවා. ඔහු ඒ ලිපියෙන් යම් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වූවා. ඔහුට එය ලැබෙන්නත් ඇති. ඔහු පේරාදෙණියේ දී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් බොහෝ දේ කළා. ඔහුගේ පාසල් මිතුරා මට මතකයි. ඔහුත් පේරාදෙණියේ ඉගෙන ගත්තා. සුමේධ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ආධාර මත දේශන මාලාවක් සංවිධානය කළ බවත් මා එයට සහභාගි වූ බවත් පසුව ඒ දේශන  කටුගස්තොට ආසන්නයේ ගොහාගොඩ පන්සලක පැවැත්වූ බවත් මට මතකයි. ඒ වගේ ම මට මතකයි ඒ දේශන මාලාව සම්පූර්ණ වීමට පෙර සුමේධ හා මා අතර විරසකයක් ඇති වූ බව. ඒ විරසකයෙන් පසු සුමේධ මා සමග කතා කරන්න පටන් ගත්තේ මැතක දී. මා හිතන්නේ වරදකරුවා මා බවයි.



මට කණගාටුවක් ඇති වන්නේ මෙවැනි කරුණු නිසා. කවුද කියා තිබුණා මට කේන්ති යන බව. ඒක දෙවියොත් භූතයොත් දන්නවා. චන්නත් ඒ බව දන්නවා. දෙවියන් භූතයන් දන්න බවත් චන්න දන්නවා. චන්නත් ඇතැම් කාලවල මා සමග කතාරන්නේ නැහැ. සිසුන් ලෙස ජාතික ව්‍යාපාරයට සහභාගි වූ ගෙවිඳු, මොරටුව විශ්වවිද්‍යාලයේ කපිල හා සංජීව මා සමග හමු වුවහොත් කතා කළත් අමනාප වී බොහෝ කල්. චම්පක හා රතන හිමි ගැන කියන්න දෙයක් නැහැ. මා සමග කිසි දිනෙක අමනාප නොවූ එක ම තැනැත්තා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටන මෙහෙය වූ අරුණ මුණසිංහයි. අද ඔහු ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු බටහිර වෛද්‍ය විද්‍යාවට සමස්තය පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වාදීමට වැඩ කරනවා.



මේ ලිපිවල නම් සඳහන් ඇතැමුන් මට විරුද්ධව පෝස්ටර් ඇලවීමටත් සූදානම් කර තිබුණා. ඒ එක්තරා ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ ද අනුදැනුම යටතේ. එහෙත් ඔවුන් සිතූ වරදක් මා කර තිබුණේ නැහැ. ඒ වරද දැන්වත් ප්‍රසිද්ධියේ කියනවා නම් හොඳයි. මා කිසි දෙයක් හංගන්නේ නැහැ. මේ සියළු දෙනා අතරින් ඔවුන්  මට විරුද්ධ වූයේ වැරදි වැටහීමකින් කියා මා හිතනවා.



ඇතැමුන් විරුද්ධ වූයේ මනස ගැන මා කී දේට. ඇතැමුන් යක්‍ෂ ජනතාව, අශෝක බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම ආදිය ගැන කීම නිසා. ඇතැමුන් සයිටම් විරෝධීන්. මා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැහැ. තවත් අය රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිවු නිසා. ඒ ශක්තිය නොදීම නිසා අදත් රනිල් අගමැති. විස්ස එට්කා ගෙනෙන්නේ රනිල් ඉවත් කිරීමට බැරි වූ නිසා.  ඔවුන් හිතන්නේ මා වැරදි කියා.  මේ මට වඩා දේශප්‍රේමී දැහිතකාමී පොදුජන සේවය සඳහා කැප වු අය.



එහෙත් මනසත් අපේ ම නිර්මාණයක්. මහාවංසය යක්‍ෂ ජනතාව අමතක කරනවා. මෙරට ඇති බුද්ධාගමේ ඇතැම් අර්ථකථන සමග මා එකඟ වන්නේ නැහැ. මෙරට බුද්ධාගම දැන් අවුරුදු සියයක පමණ කාලයක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙනවා. එය පටන් ගත් එක් අයකු වන්නේ ඕල්කට්තුමා. අශෝක බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම ගැන මා කියන ඇතැම් දේට ඇතැම් ජාතිකවාදීන් කැමති නැහැ.



කවුද කියා තිබුණා මා දාර්ශනිකයකු බව. බටහිර විද්‍යාව යම් ප්‍රමාණයකට හදාරාත් විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා කෙසේ දාර්ශනියකයකු වන්න ද? ජාතික ව්‍යාපාරයට විරුද්ධ එක් අයකුට අනුව නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයේ ඇති දර්ශනයක් නැහැ. එක්තරා දර්ශන අධ්‍යයන අංශාධිපතියකු ඒ ගැන සැඟවීමට නොහැකි ප්‍රීතියකින් ලියා තිබුණා. මෙරට විශ්වවිද්‍යාලවල බොහෝ දෙනා හිතන්නේ මට පිස්සු කියා. එහෙත් මා සමග තර්ක කරන්න ඔවුන්ට බැහැ. මා විශ්වවිද්‍යාල දෙකකින් ම අස්කරනු ලැබූවෙක්. තව ටිකෙන් තුන්වැනි විශ්වවිද්‍යාලයෙනුත් අස් කෙරෙනවා. වාසනාවකට ඔවුන්ට මා වයසට යන එක නවත්වන්න බැරිවුණා.



කපිලලාගේ සිට බොහෝ දෙනා විවිධ කරුණු නිසා මා සමග අමනාප වීම ගැන මා කණගාටුවන්නේ ජාතික ව්‍යාපාරයට ඉන් හානියක් සිදු වූ නිසා. එයට වරදකරු මා වෙන්න ඇති. අශෝක අමරතුංග බටහිර විද්‍යාව ජාතික ව්‍යාපාරය තුළට ගන්න හදනවා වෙන්න පුළුවන්. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මුලින් ම කිව්වෙ පේරාදෙණියෙදි කියා කවුද තිබුණා. මා එය දැන හිිටියේ නැහැ. අශෝක අමරතුංග ඒ රැස්වීමට සහභාගි වුණා ද දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් මා සමග තරහ අය වැඩියෙන් ඉන්නේ ජාතික ව්‍යාපාරයේ. මාත් නාලක හාමුදුරුවනුත් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ රිය පෙරහැරට සහාභාගි වීමට නුවර ගිය විට ඒ ව්‍යාපාරයේ අය අප සමග කතා කරනවා තබා බැලුවේවත් නැහැ. මා නැතිවාට ජාතික ව්‍යාපාරයට පවතින්න පුළුවන්. බොහෝ ජාතිවාදීන්ට අනුව මගෙන් ජාතික ව්‍යාපාරයට වැදගත් දෙයක් සිදු වී නැහැ. එය ඇත්ත වෙන්න පුළුවන්. 



එහෙත්1985න් පමණ පසුව මා සිංහල බුද්ධාගමට වරදක් කර නැහැ. මගේ සිංහල බුද්ධාගම බටහිර සමාජ විද්‍යාවේ සිංහල බුද්ධාගමවත් ප්‍රොතෙස්තන්ත බුද්ධාගමවත් නො වෙයි. ඒ කොහොම වුණත් ජාතික ව්‍යාපාරයේ ඇතැමුන්ට අනුව මා බෞද්ධ විරෝධියෙක්. නැති මනස නැති මනසක් බව කී විට මහාවංසය යක්‍ෂ ජනතාව නොසලකා හැර ඇති බව කී විට, ඕල්කට් බුද්ධාගමක් ගැන කී විට බුදුදහමේ යථාර්ථයක් නැතැයි කී විට ඔවුන් විරුද්ධ වන්නේ මා බෞද්ධ විරෝධියකු ලෙස සලකමින් ද?