History

Saturday, 5 May 2018

විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?


විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?





විසිවැනි සංශෝධනයට පක්‍ෂපාත විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරු දෙදෙනෙකු කියලා තියෙන බවට වාර්තාවෙනවා. එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලයි කියන්නෙ. මහින්ද මුට්ටි සෙල්ලමේ ගජ හපනෙක්. මේ දෙදෙනා බැසිල්ගෙ කියලත් කියනවා. අද දේශපාලනය රට ගැන නොවෙයි පෞද්ගලික කරුණු මත පදනම් වන බව පේනවා.




විධායක ජනාධිපති ධුරය තියෙනතාක් මහින්දට රාජ්‍ය නායකයා වෙන්න බැහැ. මහින්ද රාජ්‍ය නායකයා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කළාට කමක් නැහැ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තියෙනතාක් මහින්දට රාජ්‍ය නායකයා වෙන්න බැරි නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා යමකු තර්ක කරනවා නම් ඒක පිළිගන්න බැහැ. එහෙම කරන්න ගියාම රටට වෙන හානිය කල්පනා කරන්න ඕන. එයින් බටහිරයන්ගෙ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදීන්ට රට බෙදන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මහින්දට ම පාරාවළල්ලක් වෙනවා.



මහින්ද තමයි දෙමළ ජාතිවාදයෙ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ. ඒ දෙමළ බෙදුම්වාදයට ඉඩක් නො දෙන්න. ඒත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් තියෙනවා. එය පවත්වාගෙන යන්නෙ බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය, හා ඉන්දියාව. නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. එයට හේතුව දෙමළ ත්‍රස්තවාදය කියන්නෙ දෙමළ ජාතිවාදයෙ විකාශයෙ ප්‍රතිඵලයක් වීම.



එහෙත් අපට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය නෛතික ව පරාජය කරන්න බැරි වුණා. මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. අද ඇතැම් ජාතිකවාදීන් ද කියනවා ප්‍රභාකරන්ට යුද්ධෙන් දිනා ගන්න බැරි වුණු දේ සම්බන්ධන්ලා දිනාගන්න හදනවා කියලා. මා ඒ කියමනට විරුද්ධයි. සංකල්පීය ව එය වැරදි කතාවක්. චෙල්වනායගම්ගෙ කාලෙ ඉඳලා දෙමළ ජාතිවාදීන් දිනාගන්න හදපු දෙය තමයි උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් කියන එක. ප්‍රභාකරන් ඒ සටන ඉදිරියට ගෙන ගියා ත්‍රස්තවාදය මගින්. ප්‍රභාකරන් පැරදුණා ම චෙල්වනායගම් ද පරාජය වුණා. ඒ විතරක් නොවෙයි රාමනාදන්ලා අරුණාශලම්ලා ජී ජී පොන්නම්බලම්ලා මේ සියල්ල ම පැරදුණා. චෙල්වනායගම් උත්සාහ කෙළෙ සාකච්ඡා හා බලපෑම් මගින් උතුරේ හා නැගෙනහිර වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමටයි. එය අලුත් දෙයක් නො වෙයි.



අද සම්බන්ධන්ලා වචන හරඹයකින් කතා කරන්නෙ නැවත රවුම යන්න. ඔහු කෙලින් ම කියන්නෙ නැහැ වෙන ම රාජ්‍යයක් ඕන කියලා. එහෙම කිව්වොත් ඔහුගෙ මන්ත්‍රීකම අහෝසි වෙනවා. ඒ නිසා ඔහු වචන හරඹයක යෙදෙනවා. එහෙත් ඔහුට වචන හරඹයකවත් යෙදෙන්න ඉඩක් නැහැ. නන්දිකඩාල් කලපුවෙදි ඔහුත් දේශපාලනික ව පරාජය වුණා. එහෙනම් ඔහු සුමන්තිරන් වැනි අය වෙන ම පාලනයක් (එය වචන හරඹයක් පමණයි) ඉල්ලන්නෙ කොහොම ද? පරාජය වුණා නම් ඔවුන්ට නට්සින්ට හිමි වූණු ඉරණම හිමි වුණෙ නැත්තෙ ඇයි?



එයට හේතුව අපට දෙමළ බෙදුම්වාදය හා ජාතිවාදය නෛතික ව පරාජය කරන්න බැරි වීම. අපට බැරි වුණ් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. එයට ජාතික ව්‍යාපාරයත් වරද කරුවෙක්. එහෙත් 2009 වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනයට යටවෙලා ඉවරයි.  මහින්ද 13 අහෝසි කරනවා වෙනුවට 13+ දෙන්න කතා කළා. මෙය විසංවාදයක්. නන්දිකඩාල් දක්වා අපේ හමුදාව ප්‍රභාකරන් සමග සටන් කෙළේ ම දහතුන නොදෙන්න. විශේෂයෙන් ම ඉඩම් බලතල පොලිස් බලතල නො දෙන්න. අප රණවිරුවන් තරම් පරිත්‍යාගයක් නොකළත් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවෙදි සටන් වැදුණෙ මේ බලතල නො දෙන්න. අප එහි ද ජයග්‍රහණය කළා. පස්සෙ කාරියප්පර් හා යෝගරාජන් තම වාර්තාවක් කමිටු වාර්තාවක් ලෙස භාර දුන්නා. එහෙත් එය ව්‍යාජ වාර්තාවක්. ඒ වන විට අප කමිටුවට සහභාගි වීමත් නවත්වලා.



නන්දිකඩාල් හි දී අප හිතන් හිටියට 13 පරාද වුණා කියලා ඒකෙ මොකක් ද ගණුදෙනුවක් වෙලා තියෙනවා කියලා දැන් හිතෙනවා.  නැත්නම් 13 පරාද  වුණාට පස්සෙ එයට වැඩි 13+ දෙන්න කතා කරන්නෙ කොහොම ද? ඉන්දියාවත් සමග  වූ මේ ගණුදෙනුව කෙරුණෙ කොහොම ද? කා මගින් ද? එහෙම දෙයක් සිදු වී නැත්නම් පරාද වුණු 13ත් ඉක්මවා යන 13+ක් ගැන කතා කෙළෙ කොහොම ද? අදත් ප්‍රශ්නය වී තිබෙන්නෙ 13 නීති පොතේ නැත්නම් ව්‍යවස්ථාවෙ තිබීම. 13 ව්‍යවස්ථාවෙ තියෙන්නෙ 17 වැනි පරිච්ඡෙදය හැටියට. 154 A සිට 154 T දක්වා ව්‍යවස්ථා ඒ පරිච්ඡෙදයට අයත් වෙනවා. අද කළ යුත්තේ මේ පරිච්ඡෙදය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම.



එසේ ඉවත් නොකර විධායක ජනාධිපති ධුරය යම් ක්‍රමයකට හරි අහෝසි කිරීම බටහිරින් හා ඉන්දියාවෙන් පෝෂණය වන දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීමක්. දහහත්වැනි පරිච්ඡෙදයට අනුව විධායක ජනාධිපතිට හා ඔහු පත්කරන ආණ්ඩුකාරයාට විශේෂ විධායක බලතල තියෙනවා. පළාත් සභා මගින් සරල සන්ධීය රාජ්‍යයක් පිහිටුවා තිබුණත් ඒ සභාවල කටයුතුවලට අවහිර කරන්න ජනාධිපතිට හා ඔහු පත්කරන ආණ්ඩුකාරයාට පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට හරි අමාත්‍ය මණ්ඩලයට හරි ඒ බලතල ලබා දුන්නට ඒ විධියට ම වැඩ කරන්නෙ නැහැ. පාර්ලිමේන්තු බලතුලනය අනුව දෙමළ ජාතිවාදී පක්‍ෂවලට ආණ්ඩු පිහිුවීමේ දී හා ආණ්ඩු පවත්වාගෙන යෑමේ දී බලපෑම් කරන්න පුළුවන්. එවිට ආණ්ඩුකාරයාට වුණත් සිද්ධ වෙන්නෙ දෙමළ ජාතිවාදී පක්‍ෂවලට අවශ්‍ය අන්දමට කටයුතු කිරීම.



විධායක බලතල අමාත්‍ය මණ්ඩලයට තිබුණ කියලා ප්‍රශ්නය විසඳගන්න බැරි බව ඉන්දියාවෙ නියෝජිතයා වෙනුවෙන් කතා කරන පඬියන් දැන ගන්න ඕන. අප නිතර කියා ඇති පරිදි 154 G ව්‍යවස්ථාව ජේ ආර් සම්මත කර ගත්තෙ පාර්ලිමේන්තුව මෙන් ම අධිකරණයත් නොමග ඇරලා. දහහත්වැනි පරිචඡෙදය ඒ නිසා ව්‍යවස්ථානුකුල ව සම්මත කෙරිලා නැහැ. රට ගැන නොසිතා පෞද්ගලික කරුණු මත අහවලාට ජනාධිපතිව වීමට ඇති අවස්ථාව නැති කිරීමට එහෙමත් නැත්නම් තමන්ට ජනාධිපති වීමට අවස්ථාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම රටට කරන ද්‍රෝහිකමක් ලෙස වෙන දෙයක් ලෙස හඳුන්වන්න බැහැ.