History

Saturday, 28 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12



සංගක්කාර දේශපාලනයට එයි කියල කතා කරනවා. ඔහුගේ පියා ලාල් විජේනායකගෙ සමීප මිතුරකු බවත් දැන් කතා වෙනවා. ඒ දෙදෙනා ම නුවර නීතිඥයන්. මා පේරාදෙණියෙ ඉන්න කාලෙ ඉඳලා ලාල් දන්නවා. අප එකට සමසමාජ පක්‍ෂෙ වැඩ කළා. කාලෙකට ඉස්සර සංගක්කාර දේශපාලනයට ඒම ගන මා කී විට සුපුරුදු පරිදි  කිසිවකු එය සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔහුට එම් සී සී ආයතනය කොලින් කවුඩ්රි දේශනය පැවැත්වීමට ආරාධනය කිරීමට පෙරයි මා ඒ කතාව කිව්වෙ. ඔහු වැනි තරුණයකුට කොලින් කවුඩ්රි දේශනය කරන්න දුන්නෙ ඔහුට තැනක් හදා දීමට මිස ඔහුගේ පරිණතබවක් සලකලා නො වෙයි. ඒ බවත් මා එකල ම කියා ඇති. දැන් ඉම්රාන් කාන් පකිස්ථානයේ දිනලා. වැඩිකල් යන්න ඉස්සර හමුදාව ඔහු ගැන බලා ගනීවි. ඒත් දැනට ඒ කාරණය නිසාත් සංගක්කාර ඉහළට ගිහින්. මා මේ කාරණය මතක් කෙළේ සිංහලයන්ට යමක් අවබෝධ කර ගැනීමට බොහෝ කල් යන බව කීමටත් ඒ වන විට ඒ ගැන මුලින් කතා කළ අය අමතක වී ඇති බවත් කීමට පමණයි. සංගක්කාර ගැන අපි පස්සෙ තව කතා කරමු. ඔහුට දිනන්න බැහැ. එහෙත් වෙන අයකු දිනන එක වළක්වන්න පුළුවන්. ඔහු මුදළට වෙනත් අයගේ භාණ්ඩ විකුණන්නකු ද වෙනවා. 
 



මට එක්සත් රාජ්‍යයන්හි සිටින ඉන්දීය ජාතිකයන් කිහිප දෙනකු මුණ ගැසුණා. ඔවුන් උතුරු ප්‍රාන්තවල අය. ඔවුන් තම තමන් සමග කතා කෙළේ හින්දියෙන්. එහෙත් ඔවුන්ට වෙන ම ප්‍රාන්ත භාෂා තියෙනවා. මා ඔවුන්ගෙන් ඇහුවා ඉන්දියාවෙ බොහෝ දෙනකු හින්දි දන්නව ද කියලා. ඔරිස්සාහි (කාලිංගයේ) අයකු එයට පිළිතුරු දෙමින් කිව්වේ ද්‍රවිඩ (දකුණේ) ප්‍රදේශවල අය හින්දි කතා නොකරන බව. එහෙත් දකුණේ අයත් යම් පිරිසක් ඉංගිරිසි කතා කරන බව ඔහු මගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිව්වා.



මා දින කිහිපයක් තිස්සේ දකුණු ආසියාව ගැන කී දෙයක් මෙහි පසුබිමේ තියෙනවා. ඒ වගේ ම දෙමළ ජාතිවාදය ගැනත් යමක් එහි ගැබ් වී තිබෙනවා. මේ ලිපියෙහි මාතෘකාව දුටු ගමන් ලිපිය නොකියවන අය ඉන්න බව මා දන්නවා. ඔවුන්ට ඉතිහාසය වැඩක් නැහැ. සංගක්කාර ගැන කියනවා නම් ඔවුන් ලිපිය කියවාවි. යම් ආකාරයකට නමුත් ඉන්දියාවේ ද්‍රවිඩ කියන ප්‍රාන්තවල ජනයා සවිඥානික ව ආර්ය කියන සංස්කෘතියට අවශෝෂණය වුණේ නැහැ.  මා කියා සිටියේ දකුණු ආසියාවේ දකුණෙන් ඒ සංස්කෘතිය යම් ප්‍රමාණයකට නමුත් අවශෝෂණය කර ගත්තේ සිංහලයන් කියා. ඒ වංග (කාලිංගයෙන් පැමිණි ඉන්දීය ජාතිකයා කිව්වේ බංග කියා) කාලිංග බලපෑම හේතුකොට ගෙන. සිංහලය දැන් ආර්ය භාෂාවක් ලෙස ගැණෙනවා. හින්දිත් ආර්ය භාෂාවක් ලෙසයි ගැණෙන්නේ.



ඉන්දියාවේ ද්‍රවිඩ යැයි කියන ජනයා සවිඥානික ව ආර්ය කියන සංස්කෘතිය ප්‍රතික්‍ෂෙප කළත් අවිඥානික ව එහි ඇතැම් ලක්‍ෂණ වැළඳ ගෙන තියෙනවා. රාම රාවණ කතාව මේ සංස්කෘතික හා දේශපාලනික අරගලය පෙන්නුම් කරන එකක් වුවත් ඉන්දියාවේ ද්‍රවිඩ ජනයා රාමට සලකනවා. රාම යනු රාමායණයේ වීරයා. රාවණ දුෂ්ටයා. රාම ඊනියා ආර්ය සංස්කෘතියේ නියෝජිතයා. රාවණ රාක්‍ෂස වර්ගයට අයත්. මා මහු ද්‍රවිඩ කියා කියන්නේ නැහැ. රාම සුර.  රාවණ අසුර. තාරකත් අසුර. සීතා සුර. දෙමළ ජනයා රාමට හා සිතාට වඳිනවා. ඒ ඔවුන් ඊනියා ආර්ය සංස්කෘතියට යට වීමක්. සිංහලයන්ගේ රාවණට ඇල්මක් තියෙනවා. තාරක පැරදවීමට ශිව පාර්වතී එකතු කර ස්කන්ධ ඇති කරාලු. දෙමළ ජනයාත් සිංහල ජනයාත් කතරගම යනවා. ශිව යනු කවුද? මෙහි දෙවිවරුනුත් පටළැවිලා. මහසෙන් ස්කන්ධ සමග පටළැවිලා ද? ස්කන්ධ දකුණු ඉන්දියාවේ මුරුගන් සමග පටළැවිලා. මේ පටළැවීම් ලිහන එක අමාරු දෙයක්. එහෙත් මෙරට දෙමළ ජාතිවාදයේ  එක්තරා ආකාරයකට ඊනියා ආර්ය විරෝධයක් තියෙනවා.



මෙරට කියැවෙන්නේ දෙමළ යනු ද්‍රවිඩ, සිංහල යනු ආර්ය. ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රාන්තවල යම් හින්දි විරෝධයක් තියෙනවා. මෙරට දෙමළ කතා කරන යාපනයේ ජනයා (වෙල්ලාලයන්) අතර සිංහල විරෝධයක් තියෙනවා. ඉන්දියාවේ මෙන් ම මෙහි ද දෙමළ ඊනියා ප්‍රභූ ජනයා ඉංගිරිසි ඉගෙන ගත්තත් සිංහල ඉගෙනීමට විරුද්ධ වුණා. අද මේ තත්වය තරමක් තුනී වී ගොස් තිබෙනවා. එහෙත් එකල මේ විරෝධය තදින් තිබුණා.



1949 දී පිහිටුවනු ලැබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය වෙල්ලාලයන්ගේ පක්‍ෂයක්. එයට 1956 මැතිවරණයෙනුත් එතරම් ආසන සංඛ්‍යාවක් ලැබුණේ නැහැ. පඬියන් මොනවා කිව්වත් පහළ කියන ජනයාට වෙන ම රාජ්‍යයක් අවශ්‍ය වුණේ නැහැ. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පනතට දෙමළ නායකයන් විරුද්ධ වුණා. ඔවුන් ඉංගිරිසිය රාජ්‍ය භාෂාව වශයෙන් 1815 සිට එතෙක්  තිබීම ගැන විරුද්ධ වුණේ නැහැ. මෝටර් රථවාහනවල ශ්‍රී අකුර යෙදීමට ඔවුන් විරුද්ධ වුණා. එහෙත් එතෙක් තිබූ ඉංගිරිසි අකුරුවලටවත් මෑතක දී හඳුන්වා දුන් ඉංගිරිසි අකුරුවලටවත් ඔවුන් විරුද්ධ වූයේ නැහැ. දෙමළ නායකයන් නාම පුවරුවල තිබූ සිංහල අකුරුවල තාර ගෑවා. අරුන් තම්බිමුත්තු කියන ආකාරයට මඩකලපුවේ මෑතක  සිංහල අකුරු මකා දා තියෙනවා. ඒ කාගේ වැඩක් දැයි දන්නේ නැහැ.



සිංහල රාජ්‍ය භාෂාව කිරීම යනු දෙමළ ජනයාට රජය සමග ගණුදෙනු කිරීමේ දී ප්‍රශ්න ඇති කිරීමක් නොවෙයි. රාජ්‍ය භාෂාව යනු රජයේ වැඩ කටයුතු කරන භාෂාවයි. පනතක් නැති වුවත් අවුරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වුණෙ සිංහල. 1815 දී ඉංගිරිසින් එය නැති කළා. නැවතත් සිංහල මෙරට රාජ්‍ය භාෂාව කිරීම යුක්ති සහගතයි. (මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවීමෙන් දැන ගන්න පුළුවන්) දෙමළ වෙල්ලාලයන් නොදැන සිටියා ට පෘතුගීසීන් හා ආර්ය චක්‍රවර්ති රජු අතර ඇති වූ ගිවිසුම සකස් කරල තියෙන්නෙත් සිංහල හා පෘතුගීසී බසින් මිස දෙමළ හා පෘතුගීසි බසින් නො වෙයි. එයින් පැහැදිලි වන්නේ ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේත් රාජ්‍ය භාෂාව වී තිබෙන්නේ සිංහල කියන එකයි. කොහොමටත් එකල යාපනයේ බහුතරය සිංහල.