History

Sunday, 29 July 2018

මහින්ද හා පාස්පෝට් ජාතිය


මහින්ද හා පාස්පෝට් ජාතිය



මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා. දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ඉන්නත් ඇති. දේශපාලනය කියන්නෙ කැපිලි කෙටිලි ඇති ඉහළ ම තැන. අනෙක් තැන්වලත්  කැපිලි කෙටිලි තියෙනවා.





මහින්ද හා චන්ද්‍රිකා අතර තිබූ ප්‍රශ්න මේ භවයේ දී විසඳෙන ඒවා නො වෙයි. චන්ද්‍රිකා මහින්දට කීවේ රිපෝටර් කියලයි. දේශපාලනයේ දක්‍ෂයන් වන්නේ මේ කැපිලි කෙටිලි විඳ දරාගෙන ඉන්න පුළුවන් අයයි. එහෙම නැත්නම් නියම වෙලාවට පනින අයයි. මේ දවස්වල විවිධ අය මහින්ද සමග එකතු වීමට හදනවා. ඒ කියන්නෙ මහින්දගෙ පැත්තට පනින්න හදනවා. බොහෝ දෙනා කියන කතාවක් තමයි රතනං පණිතං යන්න. මෙය බුදුදහමට හොඳ නැහැ. ඒ වුණත් මිනිසුන් මෙවැනි කියුම් හදාගන්නේ බුදුදහමට අගෞරව කිරීමට නො වෙයි.



දැන් මහින්ද ජනප්‍රිය ම නායකයා වුණේ ඇයි? මහින්ද හොරා කියද්දීත් විකිණෙන්නෙ නැති නිව්යෝක් ටයිම්ස් පුවත්පත කතා කියද්දිත් මහින්දගෙ ජනප්‍රියත්වය නැති වෙන්නෙ නැත්තෙ ඇයි? කවුරු හරි අහන්න පුළුවන් මහින්ද ඔය තරම් ජනප්‍රිය නම් පැරදුණෙ මොකද කියලා. ඒක අර බටහිරයන් කියන්න වගේ හොඳ ප්‍රශ්නයක්. මහින්ද පැරදුණෙ නාගරික තරුණ සිංහල බෞද්ධයන් පිරිසක් පඬියන් වීම නිසා සහ ජාතිකත්ව ඡන්ද යම් ප්‍රමාණයක් මෛත්‍රිපාලට වැටුණ නිසා. පඬියන්ට මෙලෝ දෙයක් තේරුම් ගන්න බැහැ. ඒ පඬිත්වය අර තරුණ තරුණියන්ට ලැබුණෙ මුහුණු පොත මගින්. අද ඒ තරුණ තරුණියන් මුහුණු පොත මගින් ම තමන්ගෙ වරද වටහා ගෙන. එහෙත් මෛත්‍රිපාලගෙ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් තවමත් ඇත්තේ මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි ප සමග. අර දහසය දෙනා ඒ ඡන්ද කොපමණ ප්‍රමාණයක් ආපසු ගෙනාව ද කියන එක ගැන හරි තක්සේරුවක් නැහැ.



2015 දි මහින්ද පැරදුණු විගස ඔහුට විරුද්ධ ව ඡන්දය දුන් යම් පිරිසකට තේරුණා තමන් කළ වරද. ඔහුට අඩුවෙලා තිබුණෙ ඡන්ද ලක්‍ෂ හතරක් පමණ. මහින්ද හැටියට ගත්තොත් ඔහු ජනාධිපතිවරණයෙ දි ලබාගත් ඡන්ද ප්‍රතිශතය තවමත් පොහොට්ටුවට ලැබී නැහැ. ඔය මොන තරම් කයිවාරු ගැහුවත් පහුගිය පෙබරවාරි ඡන්දෙදි පොහොට්ටුවට ලැබුණෙ 46%ක් පමණ. 2015 ජනාධිපතිවරණයෙදි මහින්දට ලැබුණ 48%ක් පමණ. මහින්දගෙ ප්‍රතිශතයවත් පොහොට්ටුව ගත්තෙ  නැති බව අමතක නොකළ යුතුයි. මහින්දට දෙන ඡන්දවලින් යම් කොටසක්  පොහොට්ටුවට ලැබිල නැහැ.



මීළඟ ජනාධිපතිවරණයක් තියෙයි ද නැද්ද කියන එක හරියට ම කියන්න බැහැ. තිබ්බත් මහින්දට තරග කරන්න බැහැ. මහින්ද වෙනුවෙන් එන අපේක්‍ෂකයාට මහින්දට ලැබෙන ඡන්ද සියල්ල ලැබෙයි කියලා කියන්න බැහැ. සමහරකු කියන්න බැරි නැහැ ඊට වැඩිය ලැබෙයි කියලා. මහින්දට නොදෙන සමහර ඡන්දත් මහින්ද වෙනුවෙන් තරග කරන අපේක්‍ෂකයාට ලැබුණත් අද තත්වය අනුව සමස්තයක් ලෙස ගතහොත් මහින්ද ලබාගත් ප්‍රතිශතය ඔහු වෙනුවෙන් පෙනී සිටින අපේක්‍ෂකයාට ලැබෙන එකක් නැහැ. මා මෙය කියන්නේ කිසිවකු අධෛර්යමත් කිරීමට නො වෙයි. අවශ්‍ය නම් මා  මෛත්‍රිපාල වෙනුවෙන් කතා කරන සිරිජාතිකවාදියකු බව කියන්න.



මහින්දට ඡන්ද ලැබෙන්නෙ වෙන කවුරුන්වත් නිසා නොවෙයි මහින්ද නිසා. අප ඒ බව තේරුම් ගත යුතුයි. එක් පිරිසක් බැසිල්ගෙ සංවිධාන ශක්තිය ගැන කියද්දි තව පිරිසක් විමල් ගම්මන්පිළ දිනේෂ් වාසු සංවිධානය කළ නුගේගොඩ රැස්වීම ගැන කියනවා. මට නම් ඒ දෙක ම ආන්තිකයි. මහින්දට මිනිසුන් ඡන්දෙ දෙන්නෙ ඔහු මහින්ද නිසා. පසුගිය දා එක් හිමි නමක් දේශනා කර තිබුණ ගැමුණු රජුගෙන් පසු අපට සහනයක් ගෙන දුන්නෙ මහින්ද කියා. එයින් කියැවෙන්නෙ මහින්ද කර ඇති දේ ගැන රටේ විශාල පිරිසක් හිතන විධිය. මහින්ද කෙළෙ අධිවේගී මාර්ග තනපු එකවත් රට සංවර්ධනය කරපු එකවත් නොවෙයි ත්‍රස්තවාදය පරාජය කරපු එක. අධිවේගී මාර්ග නොහැදුවා නොවෙයි. රටේ යම් සංවර්ධනයක් නොවුණා නො වෙයි. එහෙත් මහින්ද ගැමුණු රජු හරි හයවැනි පරාක්‍රමබාහු රජු හරි සමග සංසන්දනය කෙරෙන්නෙ සිංහල බෞද්ධකම මත පිහිටලා. ප්‍රභාකරන් හා ඔහු පිටුපස සිටි බටහිරයන් ඇතුළු සිංහල බෞද්ධ විරෝධී බලවේග පරාජය කළ නිසා.



එහෙත් ඒ ජයග්‍රහණය තහවුරු කරගන්න ඔහු අසමත් වුණා. 2010 ජනාධිපතිවරණයෙ දි මහින්දට 58%ක පමණ ඡන්දයක් ලැබුණා. එහෙත් 2010න් පස්සෙ ඔහු ජාතිකත්ව දේශපාලනයෙන් යම් තරමින් බැහැර වුණා. 58%, 48%ටත් එය 46%ටත් දළ වශයෙන් අඩු වෙලා. 58%, 48%ට අඩු වූ කාලයේ යම් සංවර්ධනයක් වූ බව අමතක කරන්න බැහැ. එහෙත් ඒ කාලයේ දයාන් ජයතිලකලා ඩිලාන් පෙරේරාලා ජී එල්ලා ඔහු වටේ හිටියා. අපට ජෙනීවා ප්‍රශ්න ඇති වුණෙ ඉන්දියාවෙ අවශ්‍යතාවට  ඊනියා 13+ කතා කරලා එය නුදුන් බැවින් ඉන්දියාව අපට විරුද්ධ වූ නිසා. 



අද ඇතැමුන් නැවතත් මුස්ලිම් ඡන්ද දෙමළ ඡන්ද එකතු කර ගැනීමේ වෑයමක නිරත වනවා. එහෙත් මුස්ලිමුන් ඉතිහාසයේ හැමදාමත් කර ඇත්තේ ජයග්‍රාහී පැත්තට එකතු වීමේ දේශපාලනයක්. මෙරට ජාතිකත්ව ඡන්ද 55%කට වඩා තියෙනවා. අප පළමුව මේ ඡන්ද එකතු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. මෙරට ජාතිය ගොඩ නැගී ඇත්තේ මේ ඡන්දවලින් නියෝජනය වන චින්තනයක් මත. පක්‍ෂ දේශපාලනය නිසා ඒ ඡන්ද විවිධ තැන්වල. ඒ ඡන්ද පළමුව එකතු කර දෙවනුව ජයග්‍රහණයෙන් පසු (ජනාධිපතිවරණය ද මොකක් ද කියන එක හරියට කියන්න බැහැ. එයත් තීරණය වන්නේ මහින්දගෙන්.) මුස්ලිම් දෙමළ ඡන්ද එකතු කරමු. අප පළමුව මුස්ලිම් දෙමළ ඡන්ද එකතු කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ සිංහලයන්. ඩිලාන්ලා මහින්දට එකතු වෙන්න හදන්නෙ හොඳකට නො වෙයි. ඔවුන්ට ජනතාවගේ ඇති ඡන්දයක් නැහැ. එහෙත් පාර්ලිමේන්තුවේ ඔවුන්ට ඇති ඡන්ද රනිල් ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන්.



අද කළ යුත්තේ බටහිරයන් කියන ඊනියා ගමන් බලපත්‍ර (පාස්පෝට්) ජාතියක් ගොඩ නැගීම නොව තිබෙන සිංහල ජාතියට ජනවර්ග එකතු කරන ක්‍රමයක් සෙවීමයි. සිංහල නොවන ඡන්ද ගැන මුලින් බලන්නේ පාස්පෝට් ජාතියක් ගොඩ නැගීමට. පාස්පෝට් ජාතිවල ජාතිකත්වය ඇත්තේ ගමන් බලපත්‍රයේ රටවැසිබව සඳහන් කිරීමේ පමණයි. ඊනියා ජාතික රාජ්‍ය යනු පාස්පෝට් ජාතිකත්ව ඇති රටවල්.