History

Sunday, 19 August 2018

මහින්දාගමනය

මහින්දාගමනය

මහින්දට නැවතත් ජනාධිපතිධුරයට තරග කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා. මෙය කාගෙන් එන එකක් ද යන්න පැහැදිලි නැහැ. සමහරවිට එය නිහාල් ජයවික්‍රමගේ තර්කයක් මත පදනම් වනවා විය හැකියි. මා නීතිඥයකු නො වෙයි. එහෙත් මට පෙනෙන විධියට මේ තර්කය වලංගු වන්නේ 1977සම්මත වූ ව්‍යවස්ථාවෙන් පත් කළ ජනාධිපති වෙනුවට දහනවවැනි සංශෝධනයෙන් වෙනත් ජනාධිපතිවරයකු පත් කෙරෙන්නේ නම් පමණයි. ඒ කියන්නේ ජනාධිපති ධුරයේ පැහැදිලි ගුණාත්මක වෙනසක් ඇති වී තිබෙනවා නම් පමණයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා හැත්තෑහතේ ව්‍යවස්ථාවෙන් මුළුමනින් ම වෙනස් වුණා. නාමික ජනාධිපතිවරයකු වෙනුවට විධායක ජනාධිපතිවරයකු ලැබුණා. ජනාධිපති ධුරයේ එවැනි ගුණාත්මක වෙනසක් දහනවවැනි සංශෝධනයෙන් සිදු වී ඇත් ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕන. ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑම  ජනවාරි මාසයට කලින් කරගන්න වෙනවා. ඒ ඉන්පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබෙන නිසා. 



ශ්‍රෙෂ්ඨාධිකරණය කුමන තීරණයක් ගනීවි ද කියන එක අපට කියන්න බැහැ. නීතිඥයන් විවිධ තර්ක මතු කරාවි. එහෙත් මේ සෑම තර්කයක ම දේශපාලන අර්ථයක්, පසුබිමක් තියේවි. පසුගිය දා  හාවඩ් විශ්වවිද්‍යාලයේ ඩෙමොක්‍රටික් පක්‍ෂයේ හිතවත් නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් කතා කර තිබුණා. එහෙත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ජයම්පති වික්‍රමරත්න පැහැදිලි ව ම මහින්දට නැවත තරග කරන්න බැහැ කියන මතයෙ ඉඳීවි. ජී එල් පීරිස් සම්ම ජාතියේ උසාවියකට නොයන නිසා  මාධ්‍ය සාකච්ඡා පමණක් පවත්වාවි. නිහාල් ජයවික්‍රම ජී එල්ගේ මස්සිනා කෙනකු වෙනවා. ජේ ආර්ගෙ වුවමනාවට නිහාල් ජයවික්‍රමගේ ප්‍රජා අයිතිය අහෝසි කරන කාලයේ ජී එල් හිටියෙ ජේ ආර් එක්ක. දැන් ඒක අමතක කරලා වෙන්න ඕන. 

හැත්තෑහතේ ව්‍යවස්ථාවවත්  දහනවවැනි සංශෝධනයවත් කියවා නැති අයත් තම මතය ප්‍රකාශ කරාවි. මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන් හිතන විධියට කරුණු කියාවි. එහෙත් මෙහි දී අතරමං වන පිරිසක් ද ඉන්නවා. ඒ ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කර ගැනීමට සිටි අය. ඔවුන් මහින්දට විරුද්ධ නැහැ. එහෙත් මහින්දට එන්න පුුළුවන් නම් ගෝඨාභය අවශ්‍ය නැහැ. ගෝඨාභයත් කියාවි මහින්ද එනවා නම් තමන් එනවා ද කියන ප්‍රශ්නය පැන නගින්නේ නැති බව. එවිට ගෝඨාභය වටේ ඉන්න කිහිප දෙනකුට ප්‍රශ්නයක් ඇති වෙනවා.

කවුරු ජනාධිපති අපේක්‍ෂකයා වුණත් මෙවර නම් අපට කොන්දේසි ඉදිරිපත් කරන්න වෙනවා. ඒ පැහැදිලි ව ම මහින්ද කණ්ඩායමෙන් ඉදිරිපත් වන අයකුට. රනිල් කණ්ඩායමෙන් ඉදිරිපත් වන අයකුට කොන්දේසි විරහිත ව විරුද්ධ වෙනවා. ඒ රනිල් වුණත් මෛත්‍රිපාල වුණත් සජිත් වුණත් නවීන් දිසානායක වුණත් චම්පක වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. අපට අවශ්‍ය ජනාධිපතිවරයකු ඒ කඳවුරෙන් බිහි වන්නේ නැහැ.

අපේ කොන්දේසි මොනවා ද කියන එක සාකච්ඡාවෙන් පසු ඉදිරිපත් කරන්න ඕන. එය පක්‍ෂවලට සම්බන්ධ කමක් නැති ජාතික ව්‍යාපාරයේ අය එකතු වීමෙන් පිළියෙළ කර ගන්න ඕන. අද ජාතික ව්‍යාපාරයේ ඇතැම් කොටස් දේශපාලන පක්‍ෂවලින් මෙහෙය වෙනවා. ඊනියා ස්වාධීන ලෙස පෙනී සිටින ජාතික ව්‍යාපාර යටින් දේශපාලන පක්‍ෂ සමග සම්බන්ධකම් පවත්වනවා. ඒ පක්‍ෂ තම දේශපාලන වුවමනාවන් සඳහා අර ජාතික ව්‍යාපාරයේ කියන කණ්ඩායම් මෙහෙයවනවා. මේ කණ්ඩායම් හා පක්‍ෂ සමග ඇතැම් ජනමාධ්‍ය සම්බන්ධකම් පවත්වනවා. ඔවුන් වෙනත් අයගේ මතවලට ඉඩ දෙන්නේ නැහැ.

මා මෙසේ කී ගමන් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධකමක් ඇති ජාතික ව්‍යාපාරයේ සංවිධාන තම හිතවත් දේශපාලන පක්‍ෂවලට අවශ්‍ය විධියට කොන්දේසි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන්ට ක්‍රියාකාරී වීම  සඳහා දේශපාලන පක්‍ෂවලින් ම සැපයුණු යාන්ත්‍රණයක් තියෙනවා. අපට එවැනි යාන්ත්‍රණයක්වත් ජනමාධ්‍ය සම්බන්ධකම්වත් නැහැ. ඒ අතින් ගත් කල දේශපාලන පක්‍ෂ විසින් මෙහෙයවනු නොලබන ජාතික ව්‍යාපාරය අද දුර්වලයි. අද මාධ්‍ය සාකච්ඡාවලින් පෙනෙන්නට තියෙන්නෙ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ ජාතික ව්‍යාපාරය පමණයි.

මේ වැදගත් ප්‍රශ්නයේ දී මුහුණු නැති මුහුණු පොතෙන් සත පහක වැඩක් නැහැ. එහි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න බැහැ. පුළුවන් එක දේ බැණ ගැනීම පමණයි. සකර්බර්ග්ගේ වචන එකසිය හතළිහේ සීමාවට අද ලෝකය ම අහුවෙලා. එහෙත් සිංහලයන්ට මේ සීමාව නැහැ. ඒ නිසා බොහෝ සිංහලයන් මුහුණු පොතට එන්නේ නැහැ. කලකට පෙර ජේ ආර් කිව්වෙ ඕනෑම කතාවක් විනාඩි විස්සකට සීමා කොරන්න ඕන කියලා. ඒ බටහිරයන් දීර්ඝ කතාවලට සවන් දෙන්නෙ නැති නිසා. ඒත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ ජේ ආර් දැන ගෙන හිිටියෙ නැහැ සිංහල බෞද්ධයන් දිර්ඝ ධර්ම දේශනාවලට සවන් දීමට පුරුදු වී සිටි බව.

ඒ දීර්ඝ ධර්ම දේශනා පැයට සීමා වුණෙ ගුවන් විදුලි බණ නිසා. ඒ සීමා කෙරුවෙ බම්බලපිටියෙ වජිරාරාමය මැදිහත් වෙලා. අද වජිරාරාම දහම් පාසලේ ශත සංවත්සරය පැවැත්වෙනවා. බොහෝ දේශපාලනඥයන් මේ දහම් පාසලට ගිය අය. ජේ ආර් යන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් අපට අද නූතනත්වයෙ සීමා බාධක තියෙනවා.

අපි ඒ බාධකවලට සීමා නොවී සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.