History

Monday, 20 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16





අද මෙරට පාලනය ඉන්දියාව බොහෝ දුරට අත් කර ගෙන ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ බටහිරයන් ඉන් ඈත් වී ඇත කියන එක නොවෙයි. බටහිරයන් හා ඉන්දියාව අද ඉන්නේ එක ම පිළක. මෙරට දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුවේ එංගලන්තය (හා නෙදර්ලන්තය ඒ දිනවල ඕලන්දය) විසින් බව මේ ලිපි පෙළේ පමණක් නොව මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ බව කියා ඇති. ඒ සඳහා අවශ්‍ය ඊනියා සාධක ද ඉදිරිපත් කර ඇති. මෑත කාලයෙහි යුරෝපා සංගමය, විශේෂයෙන් නෝර්වේ, ස්වීඩනය හා එක්සත් රාජ්‍ය ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඒ මූලික වශයෙන් එංගලන්තයේ අවශ්‍යතාවට. එක්සත් රාජ්‍ය අද වෙනත් දේශපාලනයක යෙදෙනවා. ඒ ට්‍රම්ප්ගේ නායකත්වයෙන්. අප රටේ කිසිවකු ට්‍රම්ප් සමග සම්බන්ධකම් ගොඩ නගා ගන්න උත්සාහ ගන්නේ නැහැ. තවමත් ධනවාදය - සමාජවාදය කණ්නාඩියෙන් ලෝකය බලන අයට එසේ කළ යුත්තේ ඇයි ද යන්න තේරෙන්නේ නැහැ.





මේ වන විට මෙරට දේශපාලන නායකයන් වැඩියෙන් ම ගණු දෙනු කරන්නේ ඉන්දියාව සමගයි. එය රනිල්ට මෛත්‍රිපාලට මෙන් ම මහින්දට හා විශේෂයෙන් බැසිල්ටත් පොදුයි. ජී එල් පීරිස් ද ඉන්දියාවට අවශ්‍ය දේශපාලනයක යෙදෙනවා. සංගක්කාර මුලින් ම ජනතා අවධානයට ගෙන ආවේ එංගලන්තයයි. ඔක්ස්ෆර්ඩ් දේශනය කවුඩ්රි දේශනය මගින් ඔහු කෙරෙහි ජනතා අවධානය යොමු කරවීමට එංගලන්තය උත්සාහ ගත්තා. අප ඒ දිනවල ම ඒ බව කිව්වා. එහෙත් සුපුරුදු පරිදි අප කී දෙයට ජනතා අවධානය යොමු වුණේ නැහැ. දැන් නම් ඒ ගැන ටිකක් කතා වෙනවා. අද සංගක්කාරත් ඉන්දියාවට භාර දී ඇති බවක් පේනවා. මුරලිදරන් කොහොමත් ඉන්දියාවේ. ඉම්රාන් ඛාන්ගේ සම්ප්‍රාප්තියත් සමග ඉන්දියාවට සංගක්කාරගේ අවශ්‍යතාව වැඩි වේවි.



අප පසුගිය ලිපියෙන් කතා කෙළේ වර්ධරාජ පෙරුමාල් ගැන. ඔහු උතුරු හා නැගෙනහිර පළාත් මහා ඇමති ලෙස බෙදුම්වාදී දේශපාලනයක නිරත වුණා.  විග්නේෂ්වරන් මෙන් උපායශීලි නොවූ වර්ධරාජ පෙරුමාල් 1990 මාර්තුවේ ඒකපාර්ශ්වීය ව ඊළමක් ප්‍රකාශ කළා. මෙරට රජයට එවිට උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාව විසුරුවා හැරීමට බල කෙරුණා. ඒ රටේ ස්වෛරීභාවය වෙනුවෙන්. එහි දී වර්ධරාජ පෙරුමාල් පළා ගියේ ඉන්දියාවට! ඉන්දියාව ඔහුට දේශපාලන රැකවරණය ලබා දුන්නා.



එහි බරපතලකම තවම අප හරියට අධ්‍යයනය කර නැහැ. මෙරට වෙන ම රාජ්‍යයක් ප්‍රකාශ කළ අයකුට ඉන්දියාව දේශපාලන රැකවරණ ලබා දීම ඉතාමත් භයානක දෙයක්. වර්ධරාජ පෙරුමාල්ගේ පක්‍ෂය වූ ඊ පී ආර් එල් එෆ් සමග ඉන්දීය සම්බන්ධකම් තිබුණා. දයාන් ජයතිලකත් ඒ දිනවල ඒ පක්‍ෂය හා සම්බන්ධයි. අද වන තුරුත් මෙරට කිසිම නායකයකු මා දන්නා තරමින් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරලා නැහැ. වර්ධරාජා පෙරුමාල් චන්ද්‍රිකා යුගයේ දී ලංකාවට පැමිණියා මා හිතන්නේ 1999 පමණ. ඒ ඊනියා සාම සාකච්ඡා සඳහා. එය ඉංගිරිසියෙන් හැඳින්වූයේ peace talks කියා. මා එයට කීවේ piece – talks,. එහෙම නැත්නමථ කැබලි සාකච්ඡා කියා. ඒ වර්ධරාජා මා හිතන්නේ අද ජීවත් වන්නේ ලංකාවේ. කාට හරි අහන්න පුළුවන් ඔහුට ලංකාවට එන්න පුළුවන් නම් ඉන්දියාව ඔහුට නවාතැන් දීමේ ඇති වරද කුමක් ද කියා.



1987ට පෙර ඉතිහාසය අප නොදන්නවා නො වෙයි. මා ඊයේ පෙරේදා දේශපාලනයට පැමිණි අයකු නො වෙයි. 1987 ඉන්දියාවේ පරිප්පු දේශපාලනය අහම්බයකින් එක දවසකින් වෙච්ච දෙයක් නො වෙයි. ඒ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. අප ඒ දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ නිකම් උඩ බලා ගෙන සිටියා නො වෙයි. ඒ බව නොදන්නා අය ද ඉන්න පුළුවන්. ජේ ආර් ගාමිණී දිසානායක ප්‍රේමදාස කළ කී දේ අප නොදන්වා නො වෙයි. එපමණක් නොව බැසිල් ගාමිණී දිසානායකගෙන් වැඩ ඉගෙන ගත් බවත් අප දන්නවා. එකල විවිධ පර්තසාරථීලා ඉන්දියාවෙන් ලංකාවට නිරන්තරයෙන් පැමිණියා. අප ඒ දිනවල දිවයින පුවත්පතේ මේ බොහෝ දේ සාකච්ඡා කළා. ඒ සියල්ල නැවතත් මෙහි කීමට අවශ්‍ය නැහැ.



දෙමළ ජාතිවාදීන්ට පුහුණුව ලබා දීමේ සිට ඉන්දියාව ක්‍රියා කෙළේ ලංකාව පාලනය කිරීමට පොටක් පාදා ගැනීමට. එහෙත් එයට පෙරත් ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය යන අදහස ඉන්දියාවේ ප්‍රධානීන්ට තිබුණා. ඒ බව මා කලින් සඳහන් කර ඇති. ඉන්දියාව පරිප්පු දේශපාලනය ක්‍රියාත්මක කළේ තමන් සහාය දුන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය පරාජය වීමෙන් වළක්වා ගැනීමට.



ඇතැමුන් කියන්න පුළුවන් ලංකාවේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීම ඉන්දියාවට තර්ජනයක් කියා. මෙරට ඊනියා ඊළම තමිල්නඩුවත් සමග එක් වී ඉන්දීය රාජ්‍යයට විරුද්ධව නැගිටීවි යන අදහසක් ඔවුන් සතුව ඇති. එහෙත් එවැන්නක් ඇති නොවන බව ඉන්දියාව දන්නවා විතරක් නොවෙයි ලංකාවේ ඉතිරි පළාත් ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කර ගැනීමට ඉන්දියාව අවස්ථාව කර ගනීවි. එබැවිනුත් සියලු ආකාරවල බලය බෙදීම්වලට අප විරුද්ධ වෙනවා. අද සුමන්තිරන් බයිලා කියන්නේ සිංහලයන් රැවටීමටයි.



මා කලින් ලිපියේ සඳහන් කළා ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමට ප්‍රභාකරන් කැමති කරවා ගැනීමට ඉන්දියාවට ගෙන්වා ගත්තා කියා. ඉන්දියාව ප්‍රභාකරන්ට කැමැත්තක් දැක්වූයේ නැහැ. ප්‍රභාකරන් ද වර්ධරාජා පෙරුමාල්ලා තොණ්ඩමන්ලා මෙන් නොව ඉන්දියාවට කැමැති වූයේ නැහැ. මේ විරසකය අවසානයේ දී අපට වාසියක් මෙන් ම අවාසියක් ද වුණා. වාසිය වූයේ අපට ප්‍රභාකරන් හා කොටි පැරදවීමට හැකි වීමයි. අවාසිය වූයේ අපට ඒ වෙනුවෙන් 13+ නමින් වන්දියක් ගෙවීමට සිදුවීමයි. ජෙනීවා අවුල්, රණවිරු දඩයම්, අරාබි වසන්ත ආදියත් එයට සම්බ්ධයි.



අද විවිධ පඬියන් ඇති වෙලා. 1987 අවධියේ ජාතිකත්ව විරෝධී දේශපාලනයක යෙදුණවුන් අද අපට 1987 ගැන උගන්වන්න එනවා.  ඒ අතර ඇතැම් ජාතිකවාදී යැයි කියන පඬියන් අප දෙමළ ජනයාට විරුද්ධ නොවිය යුතු බව පවසනවා. අප කිසි දිනෙක දෙමළ කතාකරන ජනයාට විරුද්ධ වෙලා නැහැ. අප හැමදාමත් කියා සිටියේ අප දෙමළ කතාකරන ජනයා අතර ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිය යුතු බව. එහෙත් සිංහලයන් අතරත් එතරම් ක්‍රියාකාරී දේශපාලනයක් කිරීමට නොහැකි අපට (ජනමාධ්‍ය මූල්‍ය ශක්තිය නොමැති කමින්) දෙමළ කතා කරන ජනයා අතර ක්‍රියාත්මක වීමට අවස්ථාවක් නැහැ. මුහුණු පොතේ ප්‍රතිචාර දැක්වීම ක්‍රියාකාරී දේශපාලනයක් නො වෙයි.



දෙමළ කතාකරන ජනයා සිංහල විරෝධී තත්වයකට පත් වුණේ වෙල්ලාල නායකයන් හා කතෝලික පල්ලිය නිසා. 1956 වන තුරුත් දෙමළ කතාකරන ජනයා සිංහල විරෝධි වුණේ නැහැ. භාෂා පනත ශ්‍රී විරෝධය 1833 සිට සිංහල විරෝධී වූ වෙල්ලාල නායකයන් දෙමළ කතාකරන ජනයා අතරට ගෙන ගිය දේ. ඊනියා සංහිඳියාවක් මගින් නොව වෙනත් අයුරකින් දෙමළ කතාකරන ජනයා අතරට යෑමට අප මගක් සොයා ගත යුතුයි. මුහුණු පොතේ වීරයන් වීමෙන් එය කරන්න බැහැ. මා මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් කලින් කර තියෙනවා. පසුගිය මැතිවරණයේ දී අප හැකි පමණින් ක්‍රියාත්මක වූවා. අපි පසුව නැවතත් ඒ යොාජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමු.