History

Tuesday, 21 August 2018

පරංගි සමයම





පරංගි සමයම





අර 140 සීමාව සකර්බර්ග්ගෙ වැඩක් නොව ට්විටර් සීමාවක් කියලා මුහුණු පොතෙත් සැරිසරන අයකු පෙන්වා දී තිබුණා. ඔහුට පින්. ඔහු මගේ ලොකු පුතාගෙ මිතුරෙක්. ඔවුන් පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් එකට ඉගෙන ගෙන තියෙනවා. නෑ නෑ ඒක ලංකාවෙ විශ්වවිද්‍යාලයක්. මා පුතාලගෙන් පමණක් නොව මුණුබුරාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒත් මුහුණු පොතේ සැරිසරන බොහෝ දෙනකු නම් හිතන්න බැරි අය. දෙමළ කියා ජාතියක් නැත්නම් දෙමළ ජාතිවාදයක් තියෙන්න පුළුවන් ද කියල ඔවුන් අහනවා. ජාතිය ජනවර්ගය භාෂාවක් කතා කිරීම ජාතිවාදය ආදිය ගැන ඔවුන්ට කිසිම පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි ලියන්නෙ සියල්ල දත් මහා තාර්කික ඥානයක් ඇති අය ලෙස.  විවිධ සපත්තු ජාතිත් තියෙනවා. සපත්තුවලත් ජාතිවාදයක් තියෙනව ද කියල ඔය පඬියකු අහන්න බැරි නැහැ. තවත් පඬියකු අහලා තිබුණෙ අපට ඕන විද්‍යාව වෙනුවට ජාතික චින්තනයට යෑමට ද කියා. ඔහුට චින්තනය විද්‍යාව ආදිය ගැන තේරුමක් නැහැ. විද්‍යාවක් එය පදනම් වන හෝ නොවන හෝ චින්තනයකින් ආදේශ කරන්න බැහැ.




මේ පඬියන් බොහෝ දෙනකු ඊනියා සමාජවාදීන්. ඇතැමුන් කතෝලික පවුල්වල උපන් සමාජවාදීන්. සමාජවාදීන්ට තමයි බුදුදහමෙ, බුද්ධාගමෙ වැරදි පේන්නෙ. ඔවුන්ට වෙන ආගමක වැරදි පේන්නෙ නැහැ. වෙන ආගම්වල වැරදි නැතිව වෙන්න ඇති. කොහොමත් මාක්ස්වාදයයි කතෝලික ආගමයි බිහිවෙලා තියෙන්නෙ එකම චින්තනයක. ඒ නිසා මාක්ස්වාදී සමාජවාදීන්ට ඒ ආගම්වල වැරැදි නැතුව ඇති. දෙවියන් වහන්සෙ මාක්ස්වාදයෙ ඉන්නව ද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා. හිටියත් එකයි නැතත් එකයි. වැදගත් ආරම්භය, ඒක රේඛීය චින්තනය ආදියයි. කොහෙද ඉතින් චින්තනය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව චින්තනය ගැන කතා කරන අය නෙ මුහුණු පොතේ ඉන්නෙ.



මුතුකුඩ නමින් හොඳ ටෙලි නාට්‍යයක් නිපදවපු කේ බී හේරත් දෝන කතිරිනා නමින් අමුතු ම දෙයක් කරන බවක්, අර නීතියෙ කියනව වගේ බැලූ බැල්මට පේනවා. ඒ නාට්‍යයෙහි තාම කොටස් කිහිපයයි පෙන්නල තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන යමක් කියන එක වැරදි වෙන්නත් පුළුවන්. ඒත් අපේ කියමනක් තියෙනවා හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. මේ නාට්‍යයෙ පාදිලි උන්නාන්සෙට කතා කරන්නෙ පියතුමා කියලා. මා හිතන්නෙ නම් නැහැ සීතාවක රාජසිංහ කාලෙ, එහෙම නැත්නම් පරංගි ඇවිල්ල වැඩි කලක් යන්න ඉස්සර පාදිලි උන්නාන්සෙලට පියතුමා කියා කතා කෙරුව කියලා.



පියතුමා කියන එක මැතක ව්‍යවහාරයක් කියලයි මට හිතෙන්නෙ. ඒක ඉංගිරිසි කාරයන්ගෙ ෆාදර් කියන එකේ විදග්ධ පරිවර්තනයක්. පෘතුගීසීන් පූජකවරුන්ට කිව්වෙ පද්රෙ නැත්නම් පද්රි කියලයි මා අහලා තියෙන්නෙ. ඒක සිංහලෙන් පාදිරි වුණා. පාදිරි සිංහල ව්‍යවහාරයෙ ල ර අකුරු මාරුවත් සමග පාදිලි වුණා. අප බෞද්ධ සම්ප්‍රදායෙ භික්‍ෂූන් වහන්සේට උන්වහන්සෙ ආදී වශයෙන් ව්‍යවහාර කළ නිසා කතෝලික වුණු බෞද්ධයන් තම සම්ප්‍රදායෙ ම පිහිටලා පාදිලි උන්නාන්සෙ කියා ව්‍යවහාර කරන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මේ බොහොමයක් මට හිතෙන දේ තමයි. මගේ ලෝකයෙ තියෙන්නෙ මට හිතෙන දේ. සමහරුන්ගෙ ලෝකවල නම් වැඩියෙන් තියෙන්නෙ වෙනත් කවුරුන්වත් හිතන දේ.



මා කලින් දවසක ප්‍රශ්නයක් ඇසුවා සීතාවක රාජසිංහ රජු ශිවාගම වැළඳ ගත්තෙ මොකද කියලා. මා අද අහන ප්‍රශ්නය තමයි සීතාවක රාජසිංහ රජු ඔය කියන විධියට ශිවාගම වැළඳ ගත්ත ද කියන එක. මේ ගැන හොයලා බලන්න කවුරු හරි ඉදිරිපත් වෙනව නම් හොඳයි. මා කරුණු එකතු කිරීමේ දක්‍ෂයකු නො වෙයි. මට පුළුවන් ප්‍රශ්න අහන්නයි හිතන්නයි කතන්දර හදන්නයි විතරයි.



සීතාවක රාජසිංහ රජු බෞද්ධ සිද්ධස්ථාන කොපමණ විනාශ කළේ ද? සීතාවක බැරැන්ඩි කෝවිලක් තියෙනවා. එය පන්සලක් කඩා තැනූ කෝවිලක් ද? පරංගි බෞද්ධ සිද්ධස්ථාන කඩා ඒ භූමිවල පල්ලි ඉදි කෙළේ ද? මෛත්‍රිපාල සිරිසේනත් පවුල පිටින් මඩු පල්ලි ගොස් තිබුණා. ඒ ජනාධිපති හැටියට පමණක් ද? එතැන කලින් තිබූ පත්තිනි දේවාලයට මොකක් වුණා ද? කැලණි පන්සල කැඩූ පරංගින්ට එතැන පල්ලියක් හදන්න බැරි වෙලා. 



අරිට්ටකි වෙන්ඩු සීතාවක බලවතකු වෙලා තියෙනවා. ඒත් ඔහු කියන තරම් ම බලවතකු වුණා ද? අප රාජා හෝ මා හෝ ගංගා හෝ දන්නේ අරිට්ටකි වෙන්ඩු අසරණ වී කියන ලද්දක් ලෙසයි. අනෙක් අතට කැලණි ගඟ අසබඩ ජනතාවට අනුව, ජනප්‍රවාදයට අනුව, සීතාවක රාජසිංහ රජු තම පියා මරා නැහැ. ඉතාම ඉහළ ගණයේ රණ ශූරයකු වූ ද යුරෝපීය හමුදාවකට පහර පිට පහර දී පරාජය කළා වූ ද සීතාවක රාජසිංහ රජු අපකීර්තියට පත් කිරීමට අවශ්‍ය වූයේ කාට ද?



ඒ කේ බී හේරත්ට කියා මා කියන්නේ නැහැ. අපි දෝන කතිරිනා නාට්‍යය විකාශය වන ආකාරය තවදුරටත් බලා ඉඳිමු. අපට අවශ්‍ය පරංගි ඉතිහාසයක්, එනම් පරංගින් ලියූ ඉතිහාසයක් නොවන බව පමණක් දැනට කියමු. කාලෝ ෆොන්සේකා වැනි අය කලක් කිව්වේ සිංහලයන්ට සංගීතය ලැබුණේ පරංගින්ගෙන් කියා. නච්ච ගීත වාදිත විසූක දස්සන අටසිල් සමාදන් වූ දාට මිස පන්සිල් සමාදන් වී සිටින විට නො වෙයි. පන්සිල් නොරකින්නන් අපේ සංස්කෘතිය අටසිල් නිසා හැඩ ගැහී ඇති බව කියන්නට වළිකන්නේ ද?





මා දන්නා දෝන කතිරිනා පසු කලෙක කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සිටි අයෙක්. ඇය ජීවිත කාලය පුරා ම දුක් වින්දා ද? ඇය පරංගි කොටුවල හිටියෙ දුකෙන් ද?  ඇය ඉතා ළදරු වියේ බෞතීස්ම කරනු ලැබුවා. ඇය මිය ගියේත් කතෝලිකයකු ලෙස. සීතාවක රාජසිංහ රජු දොන් ජුවන් ධර්මපාල මෙන් කතෝලික වුණේ නැහැ. පරංගින්ගෙන් අපට වසූරිය පරංගි මෙන් ම තවත් ලෙඩ රෝග ලැබුණා. අපි දෝන කතිරිනා හා තවත් දේ බලමු. එහෙත් තවත් බලන් ඉන්න බැරි තැනකට රට වැටී ගෙන යනවා. රනිල් 2005 දී පරංගි මෙරටට ආපු වසර පන්සියය සැමරීමට සිටියා.