History

Wednesday, 26 September 2018

පිදුරංගල ගියේ කවුද


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

පිදුරංගල ගියේ කවුද



ඉන්දීය ප්‍රශ්නවලට පිළිතුරු පස්සෙ දෙන්නම්. ඒ කිසිවක් උභතෝකෝටික ප්‍රශ්න නො වෙයි. ඒ ප්‍රශ්නවලට මුල ඉන්දියාවට අප තම ග්‍රහණයට හසු කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එය 1947 පමණ සිට එන්නක්. මෙහි ඉන්දියාවයි අප කළමනාකරණය කරන්නේ. අපේ සමහරුන් හිතනවා අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. ඉන්දියාව යනුවෙන් අද හැඳින්වෙන රටෙහි ඇතැම් පෙදෙස් කළමනාකරණය කළ රජවරු ඈත අතීතයේ සිටියා. ඒත් ඒ ඉන්දියාව නො වෙයි. ඉන්දියාව කියා රටක් සුද්දන් ඒමට පෙර තිබුණේ නැහැ. අප ඉන්දිය කළමනාකරණයෙන් අවුරුදු දහයකට පමණ පෙර අනූනමයෙන් බේරුණේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබුණ නිසා. අද එහෙම දේශපාලනකරණීය නොවූ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැහැ. භයානකකම ඇත්තේ එතැනයි.




අර ලංකාණ්ඩුව හා ඉන්දීය ට්‍රොයිකාවේ දෙදෙනකු විසින් 2009 මැයි විසිඑක්වැනි දා නිකුත් කරන ලද ප්‍රකාශයේ දළ අදහසක් අද දෙන්න තමයි හිටියෙ. එහෙත් එය කල්දාන්න වෙලා. එහි අඩංගු දේ බොහෝ දෙනකුට පැහැදිලියි. එයට පෙරත් එයට පසුවත් සිදු වූ දේ ඉන්දීය ප්‍රශ්නවල ඇති. ඒ සියල්ලට ම සංගත පිළිතුරු තියෙනවා.



එහෙත් අද පිදුරංගල ගැන කියන්න ඕන. මේ තරුණ තරුණියන් තම පස්සා පැත්ත ප්‍රදර්ශනය කර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා සිංහල බෞද්ධයනටයි. ඔවුන් කිසි දිනෙක කතෝලික/ක්‍රිස්තියානි/ හිනදු/මුස්ලිම් සංස්කෘතියට එසේ කරන්නේ නැහැ. ඒ එකී සංස්කෘතීන්වලට විදේශවල ශක්තිය තිබෙන නිසාත් ඔවුන් ඒ සංස්කෘතීන්ට බය නිසාත්. කාලෝ ෆොන්සේකා තමා දන්නවා ය කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය හරිහැටි අනුගමනය නොකරමිනුත් ගිනි පෑගුවේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව. එ හින්දු සංස්කෘතියට එරෙහිව නො වෙයි. ඔහු එකල දෙමළ මාධ්‍යයට ඒ ගැන කතා කළ බවක් මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහු ගොළුවන් කතා කරවන කතෝලික පූජකවරුන්ට එරෙහිව ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ කෙළේ නැහැ. කාලෝ හා පිදුරංගල තරුණ තරුණියන් අතර විශාල වෙනසක් නැහැ. ඒ තරුණ තරණියන් කාලෝගේ මුණුබුරු මිණිබිරියන්.



කාලෝ පොරක් වුණේ ඒ ගිනිපෑගීමෙන් පස්සෙ. අදත් ඔහු සිංහල බෞද්ධ උගත් සමාජයෙ ප්‍රාඥයා. එසේ වන්නේ කෙසේ ද? ඔහු නූතනත්වයේ නියෝජිතයකු නිසා මිස ඔහු බටහිර වෛද්‍ය විද්‍යාවට සංකල්ප, ප්‍රවාද එකතු කර ඇති නිසා නොවේ. පිදුරංගල තරුණ තරුණියන් තම පස්සා පැත්ත ප්‍රදර්ශනය කරන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට පස්ස පැත්ත පෙන්වා පොරවල් වීමට. තවමත් එයට විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇත්තේ හාමුදුරුවරුන් කිහිප නමක හා ගිහි බෞද්ධයන් කිහිප දෙනකු පමණයි. ඊනියා උගත් සමාජයවත් ඔවුන්ගේ දේශපාලනඥයන්වත් කට හොල්ලලා නැහැ. ඔවුන් ඒ තරුණ තරුණියන්ගෙ මානව අයිතිවාසිකම් ගැන කියනවා ඇති.



යම් රටක සම්ප්‍රදායට සංස්කෘතියට එරෙහිව එරටින් යම් යම් ප්‍රවණතා මතුවීම අතීතයේ සිට එන්නක්. බුදුහාමුදුරුවොත් වෛදීක සම්ප්‍රදායට විරුද්ධව නැගී හිටියා. පහළොස්වැනි සියවසේ සිට බටහිර යුරෝපයේ කතෝලික චින්තනයට හා සංස්කෘතියට එරෙහිව විවිධ ව්‍යාපාර පැන නැගුණා. විවිධ ක්‍රිස්තියානි නිකායන් ඇති වුණෙ ම කතෝලික සම්ප්‍රදායට විරුද්ධව. අදත් බටහිර පවතින සංස්කෘතියට හා සම්ප්‍රදායට එරෙහිව විවිධ ප්‍රවණතා මතුවෙනවා. ඒ තමයි ඉතිහාසයෙ වී තිබෙන්නෙ.



එහෙත් ලංකාවෙ සිදුවන්නෙ කුමක් ද? සිංහල බෞද්ධ සංස්කෘතියට සම්ප්‍රදායට එරෙහි ව විවිධ ප්‍රවණතා මතුවෙන්නෙ සිංහල බෞද්ධ සමාජයෙන් ද? එසේ නම් එහි වරදක් දකින්නෙ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ම මතුවන ප්‍රවණතාවක් විසින් කිසි දිනෙක පිදුරංගල ගොස් පස්ස පැත්ත පෙන්නන්නෙ සලස්සන්නෙ නැහැ. කාලෝ ද, එකල යළි උපන්නෙමි ආදී වල්බූත ලියූ අමරසේකර ද, ගණනාථ ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, සුචරිත ගම්ලත් අදී විවිධ ආචාර්ය මහාචාර්යවරු ද, දැන් පුහු පොරවල් ලෙස මතු වී ඇති මැදි වයසේ ඊනියා උගතුන් ද පඬියන් ද පඬි පෝතකයන් ද පෝතිකාවන්ද පිදුරංගල තරුණ තරුණියන් ද නිර්මාණශීලිව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ම ප්‍රවණතා මතු කර ගන්නවා නො වේ. 



මේ පුස්සන්ට කිසිම නිරමාණශීලිත්වයක් නැහැ. ඔවුන් කරන්නේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ විවිධ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික කෑලි අනුකරණය කර සිංහල බෞද්ධ සංස්කෘතියට පස්සා පැත්ත පෙන්වීමයි. මෙය සංස්කෘතික ආක්‍රමණයක්. කාලෝ කෙළේ ද ගණනාථලා කෙළේ ද, පඬියන් කරන්නේ ද, පිදුරංගල තරුණ තරුණියන් කරන්නේ ද විදේශීය සංස්කෘතික මෙවලම් යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමයි.



පඬියන් හා පිදුරංගල තරුණ තරුණියන් සැසඳීම හරි ද කියා කෙනකුට අසන්න පුළුවන්. මේ සියල්ලන්ට ම සිංහල බෞද්ධ සංස්කෘතියට, සම්ප්‍රදායට එරෙහිව පස්ස පැත්ත පෙන්වීමට ධෛර්යයක් ලැබෙන්නේ මත් වීමෙන් පමණයි. ඇතැමුන් යම් යම් දේ කිරීමට පෙර මත්පැන් බී මත් වෙනවා. මේ සියල්ලන් ම බටහිර දැනුමෙන් මත් වෙලා. ඔවුන් හිතන්නේ බටහිර දැනුම හරි කියා. එහි විශ්වාස නැහැ කියා. එහි ඇත්තේ හේතු, හේතුවාදය (බුද්ධිවාදය) ආදිය පමණයි කියා. එහෙත් එයත් විශ්වාසයක් පමණයි. නිරාගමිකයන්කටත් තිබෙන්නේ විශ්වාසයක් පමණයි.  හේතුවාදයේ මුල් හේතුවට හේතුවක් නැහැ. රේඛීය චින්තනය නොතේරෙණ පුස්සන්ට මේ කරුණ තේරුම් ගන්න බැහැ. එමෙන් ම ඊනියා අනුමාන නීති මිනිසුන් උද්ගමනයෙන් නිර්මාණය කරගත් දේ බවත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට ඒ සියල්ල ගැන ඇත්තේ විශ්වාසයක් පමණයි.මේ සියල්ලන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉත්තන් බවට පත්වෙලා.



කවුරු හරි කියන්න බැරි නැහැ මේක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ වැඩක් පමණයි කියලා. ඒත් හැම කොල්ලම හැම කෙල්ලම ඔහොම වැඩ කරන්නෙ නැහැ. මොවුන් පුහු පොරවල් වීම සඳහා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් කෑලි අහුලගත්ත අය. මෙය පෞද්ගලික අයිතියක් පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. මෙහි කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. මේ සංවිධානාත්මක ව කරන ලද්දක්. ඔය බටහිර පෞද්ගලික අයිතීන් පවා සංස්කෘතියට යටවෙනවා. බටහිර රටක ඕනෑම අයකුට ප්‍රසිද්ධ ස්ථානවල පස්ස පැත්ත පෙන්නන්න බැහැ. ඒ සඳහා වැසිකිළි නිදන කාමර ආදිය තියෙනවා. සමහර විට සාමාජිකයන්ට සීමා වූ සමාජ ශාලාවලත් කෙරෙනවා ඇති. ඒ තරුණ තරුණියන් වුවත් වතිකානුවේ හරි කැන්ටබරියේ ආච් බිෂොප් දේවස්ථානයේ හරි  එතරම් වැදගත්කමක් නැති දේචස්ථානයක හරි පස්ස පැත්ත පෙන්නන්නෙ නැහැ. බටහිර ඊනියා පෞද්ගලික අයිතීන් වුණත් අනෙක් අයගේ පෞද්ගලික අයිතීන් පටන්ගන්නා තැනින් අවසන් වෙනවා. 



මෙරට උගතුන් තරුණ තරුණියන් අනුගමනය කරන්නෙ බටහිරවත් ඉන්න අය නොවෙයි. ඔවුන් හුදෙක් බටහිර සංස්කෘතික කෑලිවලින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන තුට්ටු දෙකේ අනුකාරක අහිනක් පමණයි.