History

Thursday, 27 September 2018

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිළිතුරු තියෙන්නෙ.  ඉන්දියාව අවට තිබූ රටවලට මොකද වුණෙ කියා දැන ගන්න. මාල දිවයිනේ පහුගිය දවස්වල මොකද වුණේ කියා කල්පනා කරන්න. ඉන්දියාව මාලදිවයිනේ වගේ ම අපේ රටේත් ඡන්ද ප්‍රතිඵල මෙහෙයවනවා. අප දැන් දැන් මැතිවරණවලින් තෝරාගන්නේ ඉන්දියාවට අවශ්‍ය අය. අපට මෙයින් බේරෙන්නට ඇති හොඳ ම මග ලෙස මට තවමත් හිතෙන්නේ මහින්ද අගමැති කිරීමයි. ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ඒ සඳහා බලය තිබෙනවා. මෛත්‍රිපාල 2015 ජනවාරි 09 වැනි දා රනිල් අගමැති කෙළේ ඒ බලතල යොදා ගනිමින්. එදා කිසිවකු එයට පාර්ලිමේන්තුවේ දී හෝ පිටත දී හෝ විරුද්ධ වුණේ නැහැ.


මහින්ද අගමැති කළ හැක්කේ මෛත්‍රිපාල පන්නා දැමීමෙන් නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළු ද සුදු ද නොදන්නා අය නම් එහෙම හිතනවා ඇති. එහෙත් මෛත්‍රිපාල දෝෂාභියෝගයකින් ඉවත් කළහොත් රනිල් පළමුව තාවකාලිකවත් පසුව 2020 ජනවාරි දක්වාත් ජනාධිපති වෙනවා. යමකු නිතර ම මෛත්‍රිපාල ඉවත් කළ යුතු යැයි කියන්නේ නම් අපට ඔහු ගැන කතා කිරීමට තරම් දෙයක් ඉතිරි වන්නේ නැහැ. ඔහු රනිල්ගේ නියෝජිතයෙක්. මෛත්‍රිපාල ඉවත් කිරීමෙන් මහින්දට අගමැතිවත් ජනාධිපතිවත් වන්නට බැහැ. ජී එල් හා ඔහුගේ මස්සිනා නිහාල් ජයවික්‍රම ඉදිරිපත් කරන මහින්දට තුන්වැනි වතාවක් පුළුවන් කියන බොරු තර්කය අවසානයේ දී ජී එල් ජනාධිපති අපේක්‍ෂකයකු කිරීම සඳහා පමණයි. මහින්දත් ඔහුට අවදානමක් තිබේය කියා ජී එලුත් ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර මහින්දගේ අපේක්‍ෂකත්වය විරෝධතා මැද ප්‍රතික්‍ෂෙප වුවාට පසු ජී එල් ජනාධිපති අපේක්‍ෂක වෙනවා. මේ එක් විකල්පයක් පමණයි.  

ඉන්දීය ප්‍රශ්නවලට පිළිතුරු බොහොමයක් ලංකාණ්ඩුව හා ඉන්දියාවේ ට්‍රොයිකාවේ දෙදෙනකු 2009 මැයි 21 ප්‍රකාශ කළ සටහනෙහි තිබෙනවා. සමස්ත පිළිතුර ලිපි අවසානයේ දී දැනගන්න පුළුවන්. මුහුණු පොතේ ඇතැම් පඬියන් පඬිපෝතකයන් පෝතිකාවන් මෙන් මා 2015 මෛත්‍රිපාලට ඡන්දය දී දැන් එහි වරද හරිගස්සා ගැනීමට මහින්ද වර්ණනාවක් කරන්නේ නැහැ.   මැයි 21 ප්‍රකාශයෙහි සිංහල දළ අදහසක් දීමට පෙර මා නැවතත් ඉංගිරිසි පාඨය ගෙනහැර දක්වනවා. ඒ බොහෝ දෙනා පෙරේදා ලිපිය නැවත නොකියවන නිසා. "Mr. M.K. Narayanan, National Security Advisor and Mr. S. Menon, Foreign Secretary of India visited Sri Lanka on May 20 and 21. They called on His Excellency Mahinda Rajapaksa, President of Sri Lanka and met with senior officials, including Hon. Basil Rajapaksa, MP, Mr. Lalith Weeratunga, Secretary to the President and Defence Secretary, Mr. Gotabhaya Rajapaksa.

They also interacted with a number of political parties in Sri Lanka…....Both sides also emphasized the urgent necessity of arriving at a lasting political settlement in Sri Lanka. To this, the Government of Sri Lanka indicated that it will proceed with implementation of the 13th Amendment. Further, the Government of Sri Lanka also intends to begin a broader dialogue with all parties, including the Tamil parties, in the new circumstances, for further enhancement of political arrangements to bring about lasting peace and reconciliation in Sri Lanka." (May 21, 2009)

මෙහි මා කළු අකුරින් යම් යම් දේ සඳහන් කර තිබෙනවා. ඒ මගේ අවධාරණ. මුහුණු පෙතේ ඒ අවධාරණ එලෙසින් ම පළ කිරීමට හැකි දැයි මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඉන්දීය ට්‍රොයිකාවේ නාරායනන් හා මෙනන් ලංකාවේ ට්‍රොයිකාවේ බැසිල් ලලිත් හා ගෝඨාභය හමු වූ බවත් තවත් දේශපාලන පක්‍ෂවල අය සමග කතාබහ කළ බවත් කියනවා. දෙවැනි ඡේදයෙහි තිත්වලට පසුව කියන දේ තමයි වැදගත්. ඉන් කියැවෙන්නේ දෙපාර්ශ්වය ම ඉන්දීය ට්‍රොයිකාව හා ලංකාණ්ඩුව, (මේ ප්‍රකාශය පළවූයේ ලංකාණ්ඩුවේ වෙබ් අඩවියේ) කල් පවතින දේශපාලන විසඳුමකට එළඹීමට ඇති ඉතා හදිසි අවශ්‍යතාව අවධාරණය කළ බවයි. මේ සඳහා ලංකාණ්ඩුව (ට්‍රොයිකාව පමණක් නොවේ) 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කරගෙන යන බව කියනවා.  ඇති වී තිබෙන නව තතත්වයන් යටතේ ලංකාණ්ඩුව දේශපාලන සැලසුම් තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙමළ පක්‍ෂ ඇතුළු සියළු දේශපාලන පක්‍ෂ සමග පුළුල් සාකච්ඡා ඇරඹීමටත් බලාපොරොත්තු වන බවත් කියනවා.

මොකක් ද මේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඇති වූ නව තත්වය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ප්‍රශ්නයක් තිබුණ නම් එය ඉවරයි. නන්දිකඩාල් යනු දේශපාලන විසඳුමක්. සෑම හමුදා විසඳුමක් ම දේශපාලන විසඳුමක්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු  නට්සිවාදයට දේශපාලන විසඳුමක් ලැබුණා. නට්සින් එක්ක ඉන් පසු සාකච්ඡා කරන්න ඝියේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඇති වු නව තත්වය දෙමළ ජාතිවාදය පරාද කියන එක පමණයි. එහෙත් ඉන්දියාව කීවේත් තවමත් කියන්නේත් එය නො වෙයි.

ඉහත සඳහන් ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව 13 ක්‍රියාත්මක කරන බව හා 13හි සඳහන් දේට වැඩි දේශපාලන සැලසුම් ගැන සාකච්ඡා කරන බවත් කියනවා. එයින් කියැවෙන්නේ දහතුනින් ඔබ්බට යන වැඩ පිළිවෙළක්. 13+ කියන්නේ වෙනත් දෙයකට නො වෙයි. මෙහි 13+ සෘජුව ම කියැවෙන්නේ නැහැ කියා ඇඟ බේරා ගන්න බැහැ. 2012 හි නොව ඔය කාලයෙහි ම 13+ ගැන සෘජුවත් කළ කතා සම්බන්ධ සාක්‍ෂි පසුව ඉදිරිපත් කරන්නම්.  මේ ප්‍රකාශයෙහි භාරදුරකම ඇත්තේ මෙය නන්දිකඩාල් ජයග්‍රහණෙයන් දින දෙකකට පසුව කිරීමයි. ජයග්‍රහණයේ උණුසුම මැකී යෑමටත් පෙර අප ජයග්‍රහණය පාවා දීලා. මේ ප්‍රකාශය ඒ දිනවල අපේ අවධානයට යොමු නොවූ බවත් කියන්න ඕන. සමහර විට ජනමාධ්‍යයේ ඒ ගැන සඳහනක් නොවන්න ඇති.

මේ ලිපි මහින්ද ගැනත් කරන විවේචනයක් තමයි. මා එය නැතැයි කියන්නේ නැහැ. එහෙත් ඒ විවේචනය කරන්නේ රනිල්වත් මෛත්‍රිපාලවත් පිම්බීමට නො වෙයි. එවැනි විවේචනයකින් ඔවුන් පුම්බන්නත් බැහැ. මෛත්‍රිපාල මේ කාරණයෙහි දී ඉන්නේ මහින්දට ගවු ගණනක් පහළින්. රනිල් නම් ඉන්නේ සම්පුර්ණයෙන් ම විරුද්ධ පැත්තේ. මේ ලිපි කියවා කිසිවකුට මෛත්‍රිපාලට හරි රනිල්ට හරි ඡන්දය දෙන්න හිතෙන්නෙ විධියක් නැහැ. ඉන්දිය ප්‍රශ්න ගැන ඔවුන්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ. එහෙත් 2015ට පෙර මහින්ද විවේචනය කළ අය නම් එමගින් මෛත්‍රිපාලට ඡන්ද හැරෙව්වා. සමහරු ඡන්දෙත් දුන්නා. ඔවුන් අද කියන්නේ බයිලා.

ඉහත සඳහන් ප්‍රකාශය හදිසියේ නිකුත් කළ එකක් නොවෙයි. එය 2008-2009 ඉන්දීය හා ලංකා ට්‍රොයිකා අතර වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක්. නන්දිකඩාල් ජයග්‍රහණයට පසුදා ම නාරායනන් හා මෙනන් කොළඹට පැමිණියේ අහම්බයකින් නොවෙයි. ඔවුන් පැමිණියේ අපේ පොරොන්දුව අප ඉටකළා දැන් ඔබේ පොරොන්දුව ඉටු කරන්න කීමටයි. ඉන්දියාවේ පොරොන්දුව වී ඇත්තේ 1987 දී මෙන් නොව හමුදා මෙහෙයුම්වලට ඉඩ දී පැත්තකට වී සිටීම. ලංකාවේ පොරොන්දුව වී ඇත්තේ 13 ක්‍රියාත්මක කිරීමත් 13+ ගැන සැලසුම් කිරීමත්. ප්‍රකාශයෙන් කියැවෙන්නේ මේ එකඟතාවයි.

ලලිත් වීරතුංගගේ ලිපිය අනුව ට්‍රොයිකාව එකල ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ආලෝක් ප්‍රසාද්ගේ අදහසක් අනුව ඇති වූවක්. ඒ වඩාත් සුහද ව සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවලින් ඉවත් ව ප්‍රශ්න සාකච්ඡා කිරීමට. ලලිත් පැහැදිලිව  තම ලිපියෙන් කියනවා ට්‍රොයිකාවේ පළමු රැස්වීමේ දී ඉන්දියාව කරුණු දෙකක් සඳහන් කළ බව. එක ත්‍රස්තවාදය පැරදවීම, දෙක ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ඉන්දියාවේ වගකීම. ලංකවේ දෙමළ ජනයා වෙනුවෙන් ඉන්දියාවට ඇුති වගකීම කුමක් ද? තමිල්නාඩුවේ දෙමළ ජනයා ඉන්න බව ඇත්ත. මෙරට වෙල්ලාලයන් අවුරුදු තුන්සිය පනහකට පමණ පෙර කෝරමණ්ඩල වෙරළෙන් ලංකාවට ගෙන ආ බවත් ඇත්ත. එහෙත් ඔවුන් දැන් ඉන්දියාවේ රටවැසියන් නො වෙයි. වෙනත් රටක රටවැසියන්ගෙන් කොටසක් පමණක් ගැන ඉන්දියාවට ඇති වගකීම කුමක් ද? මේ වගකීම සදාතනික ද? වංගයෙන් පැමිණ සිංහල ජාතිය ගොඩනැගූවන් ගැන ඉන්දියාවට වගකීමක් නැහැ. එය හොඳයි. එමෙන් ම මෙරට දෙමළ කතාකරන ජනයා ගැනත් ඉන්දියාවට වගකීමක් තියෙන්න බැහැ.

ඉන්දියාව ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ ගන්නේ ඉංගිරිසින් ඉන්දියාවට නිදහස දුන් දින සිට. 1947 සිට ඉන්දියාව කඳුකරයේ දෙමළ කතාකරන ජනයාගේ රටවැසි ප්‍රශ්නය ගත්තා. පසුව උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පදිංචි දෙමළ කතාකරන ජනයාගේ ඊනියා ප්‍රශ්න ගත්තා, ගන්නවා. ඉන්දියාවට මේ ජනයා ගැන ඔතරම් ම වගකීමක් තියෙනවා නම් කළ යුත්තේ ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම මිස ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගැසීම නො වෙයි.

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් දින දෙකක දී ඉන්දියාව ට්‍රොයිකා සාකච්ඡාවල පල නෙළා ගත්තා. ත්‍රස්තවාදය පරාජය කෙරුණා. ඉන්දියාව මෙරට දෙමළ ජනයාගේ වගකීම වෙනුවෙන් 13 ක්‍රියාත්මක කිරීමටත් 13+ක් සැලසුම් කිරීමටත් ලංකාණ්ඩුව ලිඛිතව ම එකඟ කර ගත්තා. 2009 සිට ජෙනීවාහි සිදු වූ දේ හා මෛත්‍රිපාල ඊනියා ජාත්‍යන්තරය දිනා ගැනීම මීළඟට.