History

Sunday, 28 October 2018

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව


රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

                                        



මා මේ ලිපිය ලියන්නේ කරුණු කිහිපයක් පැහැදිලි කිරීම සඳහායි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු යැයි අවුරුදු තුනකටත් පෙර මා කීවේ ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා පොදුවේ සිංහලයන්ට වන අසාධාරණ වැළැක්වීමටයි. එ ජා පෙරමුණ හා මෛත්‍රිපාලගේ එ ජ නි සංධානය එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති මත පදනම් වූ පක්‍ෂ. ඒ පක්‍ෂ නව ලිබරල්වාදයේ පක්‍ෂ බව හා අවශ්‍ය වන්නේ ඊනියා ක්‍රමය වෙනස් කිරීම වැනි කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් මාක්ස්වාදී බහුබූත කීමෙන් කිසි පලක් නැහැ. ඔය කියන ක්‍රමය වෙනස් කිරීම හැමදාමත් කිය කිය ඉන්න පුළුවන් දෙයක් පමණයි. එයත් බාලගිරි දෝෂය වගෙයි.




රනිල් ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. විශ්වාසභංග යෝජනාවකින් රනිල් පරාජය කිරීම, අයවැය පරාජය කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ආදිය ඉන් ප්‍රධානයි. එහෙත් ඒ දහනවවැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක මැඩ ගෙන. එය පහසු නැහැ. තිබෙන ආණ්ඩුවකට විරුද්ධ ව විශ්වාසභංග යෝජනා ආදිය ගේන එක පහසු නැහැ. එය ක්‍රියාවෙන් ම පෙන්වා දී තිබෙනවා.  පහසු ම ක්‍රමය ලෙස මා දුුටුවේ ජනාධිපති ලවා අගමැති ඉවත් කිරීම. එය ව්‍යවස්ථානුකූල ව කරන්න පුළුවන්. ඒ සඳහා මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දීය යුතු බව මා කියා සිටියා. මේ ශක්තිය යනු ඉංගිරිසි energy නො වෙයි. මෛත්‍රිපාලට විධායක බලතල තිබුණත් ඔහුට ජනබලය නැහැ. ඔහු පත් වූයේ මූලික වශයෙන් එ ජා පෙරමුණේ ඡන්දවලින්. ඔහුට අවශ්‍ය ජනබලය ලබා දිය හැකි ව තිබුණේ මහින්දට. ඒ මහින්ද රනිල් ඉවත් කර හදන ආණ්ඩුවේ අගමැති වීමෙන්. මා ඒ බව පැහැදිලිව කිවුවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද අගමැති ධුරයට පත්කිරීම තමයි ක්‍රමය. ඒ සඳහා මහින්ද කැමැත්ත පළ කළ යුතුව තිබුණා. ඒ සඳහා මෛත්‍රිපාල සමග වැඩ කිරීමට එකඟ විය යුතු ව තිබුණා. ඒක තමයි මෛත්‍රිපාලට ශක්තිය ලබා දීම. එහෙත් ජී එල්ලා පමණක් නොව මහින්දත් මෛත්‍රිපාල සමග එකතු වන්න කැමති වුණේ නැහැ.



මා හුදෙක් මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු ය යනුවෙන් කියා සෑහීමකට පත් වූයේ නැහැ. එ සඳහා ක්‍රමයක් පෙන්නුවා. එය ව්‍යවස්ථානුකුලුයි. මහින්ද අගමැති කිරීම සඳහා ව්‍යවස්ථාව යොදා ගන්නේ කෙසේ ද යන්නත් මා පෙන්වා දුන්නා. මේ ව්‍යවස්ථාව කියන්නේ දහනවවැනි සංශෝධනයෙන් පසු ව්‍යවස්ථාව මිස එයට පෙර ව්‍යවස්ථාව නො වෙයි. මෙහි දී අප ඉදිරියේ තිබුණේ මහා මැතිවරණයකින් පසු අගමැතිවරයකු පත් කිරීම නොවෙයි. ඉන්න අගමැතිවරයකු ඉවත් කර අලුත් අගමැතිවරයකු පත්කිරීම.



මැතිවරණයකින් පසු අගමැතිවරයකු පත්කිරීම නම් අරඹන්නේ 42 (4) අනුව්‍යවස්ථාවෙන්. ඒ අනුව ජනාධිපතිවරයාට තම මතය අනුව  පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ලැබිය හැකි මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි වැදගත් වචන වන්නේ තම මතය අනුව හා විශ්වාසය යන්න. මෙහි කියැවෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ උපරිම ඡන්ද බලය ඇති අය අගමැති කළ යුතු ය කියා. ජනාධිපති තීරණය කරන්නේ තම මතය අනුවයි. එපමණක් නොව පත් කරන්නේ විශ්වාසය දිනාගත හැකි අයකු.



අගමැති පත් කිරීමෙන් පසු 43 (1) හා (2) අනුව අගමැතිගේ අදහස් විමසා උපදෙස් මත අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යවරුන් ද පත් කළ යුතුයි.  මෙහි දී අපි තවත් අනුවයස්ථාවක් දක්වමු. ඒ 43(3) යි. ඒ අනුව ජනාධිපතිට කවර අවස්ථාවක දී වුව ද අමාත්‍යවරුන්ගේ කාර්යභාරය ද, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ද වෙනස් කරන්න පුළුවන්. ඒ අගමැති විමසන්නේ නැතිව. ඊළඟට අපට වැදගත් වන්නේ 46(1) (අ) හා (ආ). ඒ අනුව ඇමතිවරුන් සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්ම විය යුතුයි. එහෙත් 46 (4) (1) අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් ඇති විට ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් ආදීන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු ය.



දැන් අපට ප්‍රශ්නය වන්නේ අගමැතිවරයකු හා ඇමති මණ්ඩලයක් සිටින විට නව අගමැතිවරයකු හා නව ඇමති මණාඩලයක් පත් කරන්නේ කෙසේ ද යන්නයි. ජාතික ආණ්ඩුවක් තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වන්නේ නැහැ. දහනවය අනුව අගමැති අස්කරන්නත් බැහැ. දහනවයට පෙර අගමැති අස්කරන්න පුළුවන්කම තිබුණා. එබැවින් පත් කළ තැනැත්තාට ඉවත් කළ හැකිය යනුවෙන් ඇති අර්ථදැක්වීම් ආඥාපනත අදාළ වන්නේ නැහැ. එමෙන් ම ඊනියා ජාතික ආණ්ඩුවක් තිබී ඉන් එක් පක්‍ෂයක් ඉවත් වුවත් අගමැති ඉවත් වන්නේ නැහැ. එක් පක්‍ෂයක් ඉවත් වුවොත් සිදුවන්නේ ඇමති නියෝජ්‍ය ඇමති ආදී සංඛ්‍යාවලට සීමා පැමිණවීම පමණයි. අගමැති පත් කෙරෙන්නේ 42(4) යටතේ. ඇමතිවරුන් ආදීන් පත්කෙරෙන්නේ අගමැති පත් කිරීමෙන් පසු  43(1) හා (2) යටතේ. ඊනියා ජාතික ආණ්ඩුවක් අහෝසි වීමෙන් පසු ඉන්න අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් 30 දෙනකු ආදී වශයෙන් පත් කරන්න වෙනවා. ඒ කියන්නෙ රනිල්ගෙ උපදෙස් මත තිස්දෙනකුගෙන් යුත් නව ඇමති මණ්ඩලයක් පත් කිරීම. අද කෙරී ඇත්තේ එය නොවෙයි. දැන හෝ නොදැන හෝ වෙනත් දෙයක්. ඊනියා ජාතික ආණ්ඩුවෙන් අස්වීම යන්න වැඩකට නැති කොන්දේසියක්. කටයුතු සිදු වී ඇත්තේ ඒ කොන්දේසිය අනුව කටයුතු කිරීමෙන් යැයි කවුරුන් කීවත් එය වැරදියි. එසේ සිතා ගැනීමට වුවමනාවක් තිබෙනවා නම් එසේ කිරීමට හැකියි. 



ඒ වෙනුවට මා යෝජනා කෙළේ 43(3) යොදා ගෙන  ඇමතිවරුන්ගේ කාර්ය හා සංයුතිය වෙනස් කිරීම. (43) (3)න් කියන්නේ අගමැතිගේ කාර්ය ද වෙනස් කරන්න පුළුවන් කියා. 2015 ජනවාරි 09 දි මු ජයරත්න සිටිය දී රනිල් ද, 2018 ඔක්තෝම්බර් 26 රනිල් සිටිය දී මහින්ද පත්කරනු ලැබුවේ ද ඒ අනුවයි. දි මු ගේ කාලයේ දහනවයට පෙර ඒ අනුව්‍යවස්ථාව 44(3) වූවා. අංකය කුමක් වුවත් දෙකෙන් ම කෙරුණේ එකම කාර්යයක්. වත්මන් 43(3) යොදා ගැනීමේ දී පළමුව  ඉන්න අගමැති වෙනුවට වෙනත් අගමැතිවරයකු පත් කර දෙවනුව ඒ නව අගමැතිගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය පත්කර ගත හැකියි. අද මෙහි පළමු පියවර ඉටු වී අවසන්. මහින්ද අගමැති ලෙස පත් කෙරිලා. දැන් ඇත්තේ දෙවැනි පියවර ඒ මහින්දගේ උපදෙස් මත නව ඇමති මණ්ඩලයක් පත් කිරීම. මෙය ඊනියා ජාතික ආණ්ඩුවක් නොවන බැවින් ඇමතිවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුයි.



ඒ නිසා මෙහි ව්‍යවස්ථා අවුලක් අර්බුදයක් නැහැ. කළ යුත්තේ 43(3) හා 42(4) යොදා ගැනීම පමණයි. ඒ අනුව්‍යවස්ථා හා 46 (2) හැරෙන්න වෙනත් ව්‍යවස්ථාවක් සලකා බලන්න අවශ්‍ය නැහැ.  46 (2)න් කියන්නේ අමාත්‍ය මණ්ඩලය පවත්නා තාක් 46 (2) හි (අ) හා (ආ) ට යටත්ව අගමැති ස්වකීය ධුරය දරන බව. එහෙත් 43(3) යොදා ගෙන ඒ තත්වය නොසලකා සිටිය හැකියි. 43 (3) අනුව  රනිල් සිටිය දී මහින්ද අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ. 43(3) යටතේ මහින්ද අගමැති ලෙස පත් කළ විගස රනිල්ගේ අගමැතිකම අහෝසි වෙනවා. ඔහු හැකි ඉක්මණින් අරලියගහ මැදුරෙන් පිටවිය යුතුයි. මහින්දගේ උපදෙස් මත පත් කෙරෙන ඇමතිවරුන් අද හෙට දිවුරුම් දෙනු ඇති.



මා මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු ය කියා පමණක් නිකම් හිටියේ නැහැ. ඒ කරන්නේ කෙසේ ද කියාත් පැහැදිලිව සඳහන් කළා. එහෙත් මා ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු ය කියා කීවේ නැහැ. එය අවශ්‍ය නැහැ. 43(3) හා 42(4) පමණක් ඇති. අනෙක් අතට ශ්‍රී ල නි ප  ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම යන්නට පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාලත් ඉවත් වීම ද ඇතුළත් ද? මෛත්‍රිපාල එසේ අස් වුණා නම් රනිල් ජනාධිපති වෙනවා. මේ කරුණු මා ඇතැම් ලිපිවලින් කිව්වා. උදාහරණයකට ගතහොත් ඊයේ නැවතත් උපුටා දැක්වුණු 2017 නොවැම්බර් 25 වැනි දින ලිපියෙන් ද විස්තර කර ඇති. ඒ කරන්න මෛත්‍රිපාලට ශක්තිය දිය යුතුයි. මෛත්‍රිපාල දුර්වල කිරීමෙන් එය කරන්න බැහැ. මහින්ද මෛත්‍රිපාල ශක්තිමත් කළා. එසේ නොකර සිටියා නම්, මෛත්‍රිපාල දුර්වල කළා නම් රනිල් තවමත් අගමැති.



එහෙත් මේ තර්කවලට වඩා දැන් අවශ්‍ය මහින්දට 113 ලබා දීමයි.  සිංහලයන්ගේ අයිතිවාසිකම් නැති නොකර එය කළ යුතුයි.