ජනාධිපති කතාවෙන් කියැවුණු දේ
මෛත්‍රිපාල ජාතිය ඇමතුවෙ ජනාධිපති ලෙස. ඒ කතාවෙන් කියැවුණු කරුණක්
දෙකක් ගැන යමක් කියන්න ඕන. ඔහූ කියන්නෙ අද එ ජා ප එදා එ ජා ප නොවෙයි කියලා. ඒකෙ
ඇත්තක් තියෙනවා. ඒත් අද එ ජා ප හා එදා එ ජා ප අතර සම්බන්ධයකුත් තියෙනවා. එ ජා ප
එදත් අදත් ජාතික පක්‍ෂයක් නො වෙයි. එහෙත් ඩී එස්ලාට ඩඩ්ලිලාට බෝතලේ වලව්වෙන්
ලැබුණු යම් ජාතිකත්වයක් තියෙන්න ඇති. දැන් කසිකබල් මාක්ස්වාදීන් කලබල වෙලා එයට
සුළු ධනේශ්වර කතා ඈඳන්න පුළුවන්. අපි නොදන්න මාක්ස්වාදය. සමහරු වලව්වල තියෙන ජාතිකත්වය ගැන අසාවි. මේ
ජාතිකත්වය වසන්ත සේනානායක ළඟත් තියෙනව කියල සමහරු කියාවි.
බොහෝ පන්සල් සේනානායකලාට හිතවත් වුණා. ඒ ඔවුන් නිදහස වෙනුවෙන් සටන්
කළාය යන හැඟීමෙන්. ඩී බී ධනපාල වරක් කියලා තිබුණා ඩී එස් ගෙ ටොප් හැට් හා ටේල්
කෝට් තුළ සිංහල ගැමියකු හිටිය කියලා. එහෙත් ඩී එස්ලාත් ඩඩ්ලිලාත් අවසානයේ දී බටහිර
ක්‍රිස්තියානි නූතනත්වයෙ දරුවන්. ඔවුන් නුතනත්ව ආධිපත්‍යයට යටවූවන්. එහෙත් ඔවුන්
ළඟ ඉතිරි වුණු යම් ජාතිකත්වයක් තිබුණ. මහින්දත් මෛත්‍රිපලත් එහෙමයි. නූතනත්වයට
යටවීමේ හා ජාතිකත්වය තබා ගැනීමේ විවිධ මාත්‍රා තියෙනවා. එ ජා පක්‍ෂය සමස්තයක් ලෙස
ගත්ත ම විජාතික පක්‍ෂයක්. ඒකෙ නමේ විතරයි ජාතික තියෙන්නෙ. ඒ විජාතික පක්‍ෂයෙත් යම්
පමණකට ජාතිකත්වයක් තිබූ අය හිටිය.
ඒත් රනිල්ගෙ කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහු මුළුමනින් ම විජාතිකයෙක්.
ජේ අර් ළඟත් පොඩි ජාතිකත්වයක් තිබුණා. මා එසේ කියන්නේ ඔහු රෙද්ද බැනියම ඇන්ද නිසා
නො වෙයි. ඔහු තමයි පළමුවෙන් ම සිංහලය රාජ්‍ය භාෂාව කළ යුතු ය කියා කිව්වෙ. පස්සෙ
එය සිංහල හා දෙමළ කියා වෙනස් වුණා. ඔහු විිද්‍යාලංකාර පිරිවෙනට හිරිහැර කළා. එහෙත්
ඔහුගෙත් යම් ජාතිකත්වයක් ඉතුරු වෙලා තිබුණ. තිම්පු ආදී සාකච්ඡා හරහා ඉන්දියාවට
බැරි වුණා ඔහු ලවා දෙමළ ජාතිවාදීන්ට රට පාවා දීමට. එහෙත් ඔහු තොණ්ඩමන්ට සිරිමා
ශාස්ත්‍රී ගිවිසුම පාවා දුන්නා. මා මෙයින් කියන්නේ ජේ ආර් ළඟත් අගය කළ යුතු යමක්
තිබූ බව පමණයි.
ජේ ආර් හා බණ්ඩාරනායක
ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් තිබී බෞද්ධ වූ අය. ශ්‍රී ල නි පක්‍ෂයත්
මුල දී ලිබරල් පක්‍ෂයක්. එය ජාතිකත්වයේ පක්‍ෂය වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයෙන් පස්සෙ. එ ජා පක්‍ෂයට එවැනි විකාශයක්
තිබුණෙ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වීමෙන් පසු බණ්ඩාරනායකත්
ඉක්මණින් වෙනස් වන්න පටන් ගත්තා. එහෙත් ඔහුගේ යම් ජාතිකත්වයක් මුල සිටමත් තිබුණ.
ඔහු එංගලන්තයෙන් ලංකාවට පැමිණි පසු එකල ම සිංහල මහා සභාව පිහිටුවා ගත් බවත් අමතක
නොකළ යුතුයි.
එ ජා ප මේ සියල්ලන්ගේ ම අගය කළ යුතු යමක් තිබුණු බව ඇත්ත. එහෙත් මෛත්‍රිපාල
තම ජාතිය ඇමතීමේ දී ඔවුන්ට අනවශ්‍ය තැනක් දුන්නා. රනිල්ගේ වරද කීමට මේ අය උස්සා
තැබීමක් සිදු වුණා. රනිල්ට කිසිම ජාතිකත්වයක් නැහැ. මෙරට කිසිම ජාතිකත්වයක් නැත්තේ
බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ නූතනත්වයට මුළුමනින් ම යටවූවන්ට. ඔවුන්
ලිබරල්වාදීන් අතර මෙන් ම නිරාගමික සිංහල බෞද්ධ විරෝධී පුහු පඬියන් අතරත් දකින්න
පුළුවන්. මේ දෙගොල්ලන්ට ම ලොකු හීනමානයක් තියෙනවා. අධිමානයත් හීනමානයක්
පමණයි.
ප්‍රේමදාසගේ අභාවයෙන් පසු රනිල් හා ඔහුගෙ මිතුරු කැලකට එ ජා පක්‍ෂය
මෙහෙයවන්න පුළුවන් කම ලැබුණා. ඒ කියන්නෙ විජාතික පක්‍ෂයක් වූ එ ජා පක්‍ෂයට නියම
නායකත්වය ලැබුණා. මෛත්‍රිපාල ඒ බව නොදැන සිටියා නම් වරද ඔහුගේ. ශ්‍රි ල නි පක්‍ෂය
ජාතිකත්වයේ පක්‍ෂය වුණාට එහිත් විවිධ අය සිටියා. මාක්ස්වාදයෙන් ආ නමුත් මාක්ස්වාදී
අදහස් තිබුණ අය, ජිම් මුණසිංහලා, සටැන්ලි සොයිසලා වැනි අය, මාක්ස්වාදයෙන් නාවත් රෝස පාට මාක්ස්වාදී අදහස්
තිබුණු චන්ද්‍රිකා වැනි අය, ඊනියා සමාජවාදයක් ගැන කතා කළ අය ආදී වශයෙන්. ඒත් පක්‍ෂයක් ලෙස එය ජාතිකත්වයේ
පක්‍ෂය වුණා. මෛත්‍රිපාල ඒ පක්‍ෂයේ ලේකම් වෙලා හිටියා.
රනිල්ටයි මෛත්‍රිපාලටයි එකට වැඩ කරන්න බැරි බව මුලදී ම තේරෙන්න ඕන.
රනිල් චන්ද්‍රිකාටත් නොදන්වා ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කළ අයකු බව මෛත්‍රිපාල
දැනගෙන ඉන්න ඕන. කෙසේ වෙතත් මාස තුනක් යන විට මෛත්‍රිපාලට ඒ බව තේරෙන්න පටන් ගන්න
ඇති. මෛත්‍රිපාලගෙ හා රනිල්ගෙ ඊනියා ජාතික ආණ්ඩුව නීතියෙන් නැති වුවත් ආණ්ඩු දෙකක්
බවට පත් වුණා. රනිල් බලවත්. මෛත්‍රිපාල ජාතිය අමතා කිව්වෙ තමන් රනිල්ට යට වූ
ආකාරය. ආණ්ඩු දෙක අතර විරසකයක් ඇති වුණා. අපට එය ඒ දවස්වල ම තේරුණා. බැංකු කොල්ලය
මූලික වශයෙන් ම එ ජා පක්‍ෂයෙ මැතිවරණ අරමුදල තර කරන්න කළ එකක්. ඒ සම්බන්ධ මෛත්‍රිපාල
ජනාධිපති කොමිසමක් පත් කළ බව ඇත්ත. ඒත් ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත් වෙන කොට
පාර්ලිමෙන්තු සැසි වාරය අවසන් කරන්න මෛත්‍රිපාලට සිද්ධ වුණා. ඔහු රනිල්ට යට වුණා.
මෛත්‍රිපාල කියන්නෙ මේ ගැටුම ගැන.
මේ ගැටුම සංස්ෘතික ආර්ථික හා දේශපාලනික ගැටුමක්. රනිල් රට විකුණන්න පටන්
ගත්ත. මෛත්‍රිපාලට රට ආරක්‍ෂා කර ගන්න බැරි වුණා. රනිල්ලට තිබුණෙ මුළුමනින් ම
විජාතික ආර්ථික ප්‍රතිපත්තියක්. ඊනියා විවෘත ආර්ථිකයෙ ඇතුළත්මුදලිලත් හිටියා.
ඔවුන්ට තිබුණේ ආනයන ආර්ථික ප්‍රතිපත්තියක්. රනිල් විවෘත ආර්ථිකයෙහි මෙන් ම විවෘත
සංස්කෘතියෙහි ද ඉහළ ම නියෝජිතයා. ඔහුට මංගලත් එකතු වුණා ම රට ඉක්මණින් ම නැති
වෙන්න පටන් ගත්තා. ඔවුන් ජෙනීවාහි දී රට පාවා දුන්න. ඊනියා යහපාලන ආණ්ඩුව පටන් ගත් කාලයෙ ම අප යෝජනා කළා විජාතික රනිල්
අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්ද අගමැති කරන්න කියා. යහපාලනය කියන්නෙත් ඉංගිරිසි
යෙදුමක් සිංහලට හැරවීමක්. බොහෝ දෙනාට ගැටුමක් ඇති බවක් තේරුණෙ නැහැ. ඇතැමුන්
හිතුවෙ එය රංගනයක් කියා. අපේ අදහස් නිසා බොහෝ දෙනා අපට අපහාස කළා. මා
සිරිජාතිකවාදියා වුණා. මහින්දවත් මෛත්‍රිපාලවත් අප කී දෙයක් පිළිගත්තෙ නැහැ. ඒත්
රනිල් මෛත්‍රිපාල ගැටුම නැත්නම් ජාතික විජාතික ගැටුම එන්න එන්න වැඩි වුණා. පහුගිය මාස තුනක පමණ කාලයෙහි එය තීව්‍ර වුණා.
කුමන්ත්‍රණ කතාවක් ගැන නාමල් කුමාර කියා පොලිස් ඔත්තු කරුවකු ප්‍රකාශ
නිකුත් කරන්න පටන් ගත්තා. එහි ඇත්ත නැත්ත හෙළි වෙයි ද කියන්නත් බැහැ. කොහොමටත්
මෛත්‍රිපාලට තවත් රනිල් එක්ක ඊනියා ජාතික ආණ්ඩුව කරගෙන යන්න බැරි තත්වයක් උදා
වුණා. එය නාමල්ගෙ කතාව නිසා ම වූවක් යැයි මා හිතන්නේ නැහැ. මෛත්‍රිපාල විවිධ කතා මගින් කියන්නෙ ජාතික - විජාතික හැටුමක් ගැන. මේ ගැටුමෙහි ජය ලැබුණෙ විජාතික රනිල්ට. රනිල්
පරාජය කරන්න මෛත්‍රිපාල ආධාරයක් ශක්තියක් හෙවුවා. ඒ ශක්තිය තිබුණෙ මහින්ද ළඟ
විතරයි.
මෛත්‍රිපාල විකල්පයක් සෙවීමත් අවසානයේ දී මහින්දට අගමැති වීමට ආරාධනය
කිරීමත් එහි ප්‍රතිඵලයක්. මහින්ද ඒ ශක්තිය ලබා දුන්නා. මෛත්‍රිපාලත් මහින්දත් යම්
ජාතිකත්වයක ඇති අය. එහෙත් මේ ආණ්ඩුවෙන්, එයට කුමක් නමක් කිව්වත්, ඉර
හඳ බලාපොරෙත්තු වෙන්න බැහැ. රනිල්ලා හා ඊනියා විදග්ධ කලාකරුවන් ඇතුළු පුහූ පඬියන්
හැර අනෙක් අය ළඟ යම් ජාතිකත්වයක් අඩු වැඩි වශයෙන් තියෙනවා. අද කළ යුත්තේ මේ
ජාතිකත්වය වර්ධනය කිරීමයි. අද ලෝකය ඇමරිකන් හා ප්‍රංශ විප්ලවවලින් මෙන් රුසියන්
ඔක්තෝම්බර් විප්ලවයෙන් ද මිදිලා වෙනත් අතක් බලනවා. රනිල්ලා හා පුහු පඬියන් තවමත්
ඉන්නෙ ඒ ඊනියා විප්ලවවල. රනිල් අරලිය ගහ මන්දිරයෙ පිරිත් කියවන්නෙ එතැන ලැග ඉන්න
මිසක් බෞද්ධයකු වීම නිසා නො වෙයි. ඔහුට උල්පන්දන් දෙන්නෙ රාජිත චම්පක වැනි අය.
ජාතිකත්ව ප්‍රතිපත්ති මත මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙත් එය
අවුරුද්දකින් දෙකකින් කරන්න බැහැ. මෛත්‍රිපාලටත් මහින්දටත් එයට ආරම්භයක් දෙන්න පුළුවන්.