History

Tuesday, 9 October 2018

අද වහීවි ද?


අද වහීවි ද?



මේ දිනවල වහිනවා. ඒත් අද වහීවි ද? අද රටේ දේශපාලනයේ වැදගත් දවසක් වෙන්න පුළුවන්. සමහරුනට නම් මේකත් රංගනයක කොටසක්. දැන් තියෙන්නෙ රනිල් මෛත්‍රිපාල රංගනයත් ඉක්මවා ගිය රනිල් මෛත්‍රිපාල මහින්ද රංගනයක් බව ඔවුන් කියාවි. ඒ කුමක් වුවත් අද ඒකාබද්ධ විපක්‍ෂෙ/ පොහොට්ටුවෙ අය ජී එල් පීරිස්ගෙ ගෙදර භාරකාර ආණ්ඩුවක් ගැන තීරණය කරන්න රැස්වෙන බවට ආරංචි තියෙනවා. මේ රටේ සම්ප්‍රදාය අනුව රැස්වීමේ දී කිසිම තීරණයකට නොඑළඹෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැවත දිනයක හමුවන්න පමණක් තීරණය වන්නත් පුළුවන්.




රැස්වීමේ දී නිරවුල් මත ප්‍රකාශ වෙයි කියල හිතන්න බැහැ. භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. ඒක කරන්න නම් ඒ සඳහා මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක පිිරිසකගෙ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගන්න ඕන. එහෙත් එවැනි යෝජනාවකට තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙයි කියල හිතන්න බැහැ. එ ජා පෙරමුණෙ ඉතා වැඩි පිරිස, ජ වි පෙ, දෙමළ ජාතික සංධානය සහ ඇතැම් මුස්ලිම් පක්‍ෂ එවැනි යෝජනාවකට විරුද්ධ ව ඡන්දය දේවි.



තවත් සමහරු හිතන් ඉන්නෙ අයවැය විවාදයේ දි ආණ්ඩුව පරදවන්න. ඒකත් ලෙහෙසි නැහැ. තියෙන ආණ්ඩුවකට විරුද්ධ වෙන්න බොහෝ අය කැමති නැහැ. අයවැයේ දි ආණ්ඩුව පරදවන්න පුළුවන් නම් හොඳයි. අද ප්‍රායෝගික ව ආණ්ඩු දෙකක් තිබෙන බව ඇතැමුන් වටහා ගන්නෙ නැහැ. පරදවන්න ඕන රනිල්ගෙ ආණ්ඩුව. ඒකට මෛත්‍රිපාලගෙ ආණ්ඩුවේ කිහිප දෙනෙකුත් විරුද්ධ වේවි. ඒ නිසා අයවැයේ දී රනිල්ගෙ ආණ්ඩුව පැරදවීමේ ප්‍රශ්න තියෙනවා.



අද පහසු ම විධිය තමයි අප හැමදාමත් කී විධිය. එනම් මෛත්‍රිපාල තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇති අයකු අගමැති කර වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම. මෛත්‍රිපාලට එය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තියෙන බව අප කලින් කිහිප වතාවක් ම පෙන්වා දී තිබෙනවා. 2015 ජනවාරි 9 වැනි දා මෛත්‍රිපාල රනිල් අගමැති කෙළේ ඒ ප්‍රතිපාදන යොදා ගෙන. එය කරන්න පුළුවන්. එලෙස ආණ්ඩුවක් පත් කර ගත් පසු ඔය මන්ත්‍රීවරුන් හා පක්‍ෂ වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනවාරි 9 වැනි දාට පසුව සිද්ධ වුණෙත් එයයි.



ඒත් ඇතැමුන් මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඉන්නවාට විරුද්ධයි. ඔවුන්ට අද ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රායෝගික ව ඉඩක් නැහැ. ඔහු කිසියම් අයුරකින් ජනාධිපති ධුරයෙන් ඉවත් කළහොත් වැඩබලන ජනාධිපති වෙන්නෙ රනිල්. අද කළ හැකි හොඳ ම දේ මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන මහින්ද අගමැති කිරීමයි. යමකු එයට විරුද්ධ වන්නේ නම් ඒ රනිල් අගමැති ලෙස තබා ගැනීමටයි. එසේ තබා ගත්තොත් ඔවුන්ට අරකට විරුද්ධව මේකට විරුද්ධව මාධ්‍ය සංදර්ශන පවත්වමින් මාධ්‍යයට ඊනියා ප්‍රකාශ කරමින් 2020 වන තෙක් ගැලරි දේශපාලනයක යෙදෙන්න පුළුවන්. ඔවුන් සමහර දෙනකු හිතනවා 2020 වන විට අප්‍රසාද උපක්‍රමය යොදා ගනිමින් තමන්ට පහසුවෙන් පාර්ලිමේන්තු යන්න හැකි වේවි කියා. (පෙරේදා පළ වූ භාරකාර සම ආණ්ඩුවක් මැයෙන් ලිපිය කියවන්න)



2015 අගෝස්තු මස පැවති මැතිවරණැයන් මහින්දට අගමැති වීමට හැකි වූවා නම් මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඉන්නවාට විරුද්ධ ඒකාබද්ධ විපක්‍ෂෙ/පොහොට්ටුවෙ අය මොක ද කරන්නෙ. මෛත්‍රිපාල විශ්වාස කරන්න බැරි පුද්ගලයකු කියා මහින්ද අගමැතිකම බාර නොගෙන ඉන්නවා ද? එදා මහින්ද හා පිරිස වෙන ම තරග කළා නම් මහින්ද අගමැති වීමේ ඉඩක් තිබුණා. එහෙත් දේශපාලන විදග්ධයන්ගේ අමනකම් නිසා අද මහින්දට විරුද්ධ පක්‍ෂ නායකකමත් නැහැ. අද තීරණ ගැනීමේ දී ඇතැමුන් කියන්න පුළුවන් පෙබරවාරි ඡන්දෙන් දිනූ තමන්ට 2020 දි පහසුවෙන් දිනන්න පුළුවන් කියලා. එහෙම හිතන්න එපා. පෙබරවාරියේ දි ඡන්ද අඩුවෙලා. ඒ ඡන්ද මහින්දගෙ ඡන්ද මිසක් අපේක්‍ෂකයන්ගෙ ඡන්ද නොවෙයි. පළාත් පාලන ආයතන  සියයට හැත්තෑවක් දිනුවට ඡන්ද ප්‍රතිශතය සියයට කීය ද? ජනාධිපතිවරණයක දි වැදගත් වන්නෙ සමස්ත ඡන්ද ප්‍රමාණය මිස ඡන්ද කොට්ඨාශ හරි දිස්ත්‍රික්ක හරිි ඡන්ද ප්‍රමාණ නොවෙයි.

 

පසුගිය දිනවල මහින්ද අගමැති කිරීමට ප්‍රසිද්ධියේ වෙහෙසුනේ එස් බී හා වාසුදේවයි. මේ දෙදෙනා ම වාමාංශික අදහස් ඇති අය. ඔවුන්ගේ ජාතිකත්වයක් නැහැ. ඔවුන් මහින්ද අගමැති කරන්න වෙහෙසෙන්නෙ ඇතැම් විට මාක්ස්වාදී අදහස් අනුව ඊනියා ලිබරල් දෙවැනි ඉනිමේ රනිල් ඉවත් කිරීමට වෙන්න පුළුවන්. ඇතැම් විට හුදු පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ වෙන්න පුළුවන්. ඒ කුමක් ද යන්න අද වැදගත් නැහැ. රනිල් තබා ගැනීමට වඩා ඔහු ඉවත් කිරීම රටට වැඩදායකයි.



අද ජනමාධ්‍යයේ රනිල් ඉවත් කිරීම සඳහා ලියන්නේ මව්බිම පුවත්පතයි. එහි අයිතිකරු ජාතිකවාදියකු නො වෙයි. මා දන්නා පරිදි කිසිම ජනමාධ්‍යයක් අද ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. හැම ජනමාධ්‍යක ම ඉංගිරිසි වචන යොදා ගැනීමත් එන්න එන්න වැඩි වෙනවා. ජාතික රූපවාහිනිය සැළලිහිණියා ඉවත් කර ඉංගිරිසි අකුරුවලට සිංහල පිලි යොදන්න සූදානම් වෙනවා. එය ඉංගිරිසි සිංහල අකුරු මිශ්‍ර ලිවීමේ ක්‍රමයක විකාශයේ එක් අවස්ථාවක් පමණයි. අද එයට විරුද්ධවන්නන් එය එලෙස දකින බවක් පේන්නෙ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ සැළලිහිණියා ඉවත් කිරීමට පමණක් ද? ඇතැම් ජාතිකවාදී යැයි කියන භික්‍ෂූන් වහන්සේ ද හැකි හැම අවස්ථාවක ම නෙක්ස්ට් ෆ්‍රයිඩේ වැනි ඉංගිරිසි යෙදුම් භාවිතා කරන විට මෙය පුදුුමයක් නොවෙයි.



ජනමාධ්‍ය සංස්කෘතික ව ක්‍රිස්තියානි වී බොහෝ කල්. ඔවුන් ගැන මා දන්නවා. යම් ජනමාධ්‍යයක් මට ලිපියක් ලිවීමට හෝ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හෝ කිවහොත් එයින් කියැවෙන්නේ ඔවුන් මා යෙදා ගැනීමක් ද? මා ඒ ආරාධනය පිළිගතහොත් මා ඔවුන් යොදා ගන්නවා ද? මේ  වම ම නොවන වමේ බොරු කතා පමණයි.  මට මගේ අදහස් ප්‍රකාශ කිරීම කිසිම අවස්ථාවක් නොදෙන ජනමාධ්‍ය තම උත්සවවලට මට ආරාධනය කරන්නේ මා යොදා ගැනීමට ද? මා යොදා ගෙන තම ජනමාධ්‍යයට ප්‍රචාරයක් ලබා ගැනීමට ද? ඔවුන්ට මගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දී එයට වඩා ප්‍රචාරයක් ලබා ගන්න පුළුවන් ද? ඔවුන් එසේ කරන්නේ නැත්තේ ජනමාධ්‍ය බලන කියවන ඊනියා උගතුන් මට සවන් නොදෙන නිසා. මා උත්සවයකට සහභාගී වූ පමණින් ඒ ගැන මුහුණු පොතේ පළ වූ පමණින් ඔවුන්ට ප්‍රචාරක වාසියක් ලැබෙනවා යැයි සිතිය හැක්කේ තවමත් ඊනියා වාමාංශික අදහස්වල හිර වූ අයට පමණයි. මා මේ පුුහු වාම අදහස්වලින් ගැල වී බොහෝ කල්.



මුහුණු පොත ඇතුළු  ඊනියා සමාජයීය මාධ්‍ය ගැන කිව හැක්කේ කුමක් ද? අද මහින්ද මෛත්‍රිපාල ආණ්ඩුවකට අකුල් හෙලන්නේ ප්‍රධාන වශයෙන් ම සමාජයීය මාධ්‍යයයි. සමාජයීය මාධ්‍ය යොදා ගැනෙන්නේ කවරක් සඳහා ද? මහින්ද පැරදවීමේ දී සමාජයීය මාධ්‍ය සුළුවෙන් නමුත් තම කාර්යභාරය ඉටු කළා. අද රනිල් පවත්වාගෙන යෑමටත් එයින් යම් කාර්යයක් ඉටු වෙනවා. මුහුණු පොත ජාතිකත්වයේ පොතක් නො වෙයි. එහි බහුතරය ජාතිකත්වයක් නැති අය. මුහුණු පොතෙන් වඩාත් ම පහර දෙන්නේ මට වෙන්න පුළුවන්. ඒ මා අට සමත් වුණත් උගතකු බුද්ධිමතකු විද්වතකු ප්‍රබුද්ධයකු නොවන මිථ්‍යා මතධාරියකු නිසා වෙන්න පුළුවන්.  මුහුණු පොත සමස්තයක් ලෙස මට විරුද්ධයි.



ඒ කුමක් වුවත් ජනමාධ්‍යයත් මුහුණු පොතත් මට විරුද්ධ වුණත් අද මහින්ද අගමැති කිරීමෙි අදහස යම් පමණකට හරි ව්‍යාප්ත වී තිබීම ගැන මා සතුටු වෙනවා. එයින් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. සාමාන්‍ය මහජනයාගේ අවශ්‍යතාව මොන මාධ්‍යකටවත් සම්පූර්ණයෙන් යටපත් කරන්න බැහැ. මා පෙනී සිටින්නේ සාමාන්‍ය සිංහලයාගේ අවශ්‍යතාව වෙනුවෙන්. සාමාන්‍ය සිංහලයාගේ අවාසනාව ඔවුන්ට තම මතය වෙනුවෙන් ක්‍රියා කරන නායකයන් නැති වීම. එසේ සිටියා නම් මෙලහකටත් රනිල් ගෙදර ගිහින්. අද වැස්සොත් හොඳයි.