History

Sunday, 18 November 2018

කරුවක් නොවී මරුවකු වූ කරු


කරුවක් නොවී මරුවකු වූ කරු



ඊනියා කතානායකගේ මේසය උඩ බයිබලයක් තිබුණු බව කියැවෙනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. එහෙම තිබුණ නම් මට දැන ගන්න ඕන රාමඤ්ඤ මහා නිකායෙ ගිහි සභාවෙ සභාපති කරු ජයසූරියගේ මේසය උඩ ධම්මපදය තිබුණෙ නැද්ද කියලා. බයිබලය තිබී ධම්මපදය තිබුණෙ නැත්නම් මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. මේ කතාව හරියට ම දැනගන්නකන් අපි ඒ ප්‍රශ්න පසුවට කල් දාමු.




ඊනියා කතානායක ගැන වෙනත් බොහෝ දේ කියන්න තියෙනවා. අද මේ හඬින් තීරණ ගැනීම ගැන කිරිඇල්ලත් කතා කර තියෙනවා. එහෙම හඬින් පාර්ලිමේන්තුවෙ තීරණය කරන්න පුළුවන් කියලයි ඔහු කියන්නෙ. ඕන ගොනකුට එහෙම කරන්න පුළුවන් කියල කියනව ද දන්නෙ නැහැ. එහෙත් මේ හඬ ඡන්දය අපි තව ටිකක් විභාග කරමු.  මා ඊයේ ලිපියෙන් කිව්වෙ ස්ථාවර නියෝග අත්හිටුවා තිබුණ නම් අදාළ වගන්තියත් අතහිටුවා තියෙන්න ඇති. එහෙම නම් ඒ අනුව ඡන්දෙ ගත්තෙ කොහොම ද? ඒත් කිරිඇල්ලට ඕව ගැන තේරුමක් නැහැ.



ස්ථාවර නියෝගවල 47(1) යටතේ සඳහන් වන දේ මෙසේයි. “කථානායකවරයා විසින් ප්‍රශ්නය විමසිය ලැබිය යුතු අතර පක්‍ෂයි හා විරුද්ධයි යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.” මෙයින් කියැවෙන්නේ ගාලගෝට්ටියක් මැද කතානායක හඬින් තීරණයක් ගැනීම නොවෙයි. ඔහු ඡන්දයක් ලබා ගත යුතුයි. 



මේ ඡන්දය ලබා ගැනීම ගැන කිරිඇල්ලලා කතා කරන්නේ නැහැ. කතානායක යෝජනාවකට පක්‍ෂ ද කියා ඇසූ විට යම් පිරිසක් ඔව් කියනවා. යම් පිරිසක් නැහැ කියනවා. ඒ ශබ්දය අනුව කතානායකට පුළුවන් නම් වැඩි ඡන්දයක් (කැමැත්තක්) තියෙන්නෙ කාට ද කියන්න ප්‍රශ්නයක් නැහැ. 150ක් ඔව් කියනව නම් 25ක් නැහැ කියනව නම් කතානායකට කියන්න පුළුවන් ඔව් වැඩියි කියලා. ඒත් දෙපැත්ත  110 - 100 වගේ නම් කතානායකට හඬින් කියන්න බැහැ ඡන්දය වැඩි කාට ද කියල කියන්න.



ඒ සාමාන්‍ය අවස්ථාවක් යටතේ. සභාවෙ ගාල ගෝට්ටියක් තියෙන විට හඬින් තීරණය කරන්න, කැමැත්ත විමසන්න බැහැ. පසුගිය දිනවල ඊනියා කතානායක පාර්ලිමේන්තුවට ආවෙ තිර රචනයෙ තමාට අයිති කොටස රඟපාන්න. ඔහු ජනාධිපති ලිපි කියෙවුවෙ නැහැ. සාමාන්‍ය න්‍යාය පත්‍රය අනුව කටයුතු කෙළෙ නැහැ. ඔහු ආවෙ ඊනියා විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට. සුමන්තිරන් අවශ්‍යතාව නොකියා ම ස්ථාවර නියෝග අත්හිටුවන්න යෝජනා කළා. එයට කැමැත්ත විමසිය යුතුව තිබුණා. එහෙත් ආණ්ඩු පක්‍ෂය විරුද්ධ වුණා. න්‍යාය පත්‍රයට අනුව ඊනියා කතානායක ක්‍රියා කෙළේ නැහැ. ඔහු අර ගාල ගෝට්ටිය මැද හඬින් සුමන්තිරන්ගේ යෝජනාව සම්මත වූ බව කිවුවා.



කිරිඇල්ලලා අහන්න පුළුවන් ඇයි ආණ්ඩු පක්‍ෂය කතානායක තීරණයට විරුද්ධ වී ඡන්දය නමින් හරි පේළි වශයෙන් හරි ඉලෙක්ට්‍රොනික වශයෙන් හරි ගැනීමට යෝජනා කෙළෙ නැත්තෙ කියලා. ඒත් ආණ්ඩු පක්‍ෂය ඒ වන විට ඊනියා කතානායකගෙ භූමිකාව තේරුම ගෙන ඉන්න ඇති. ඔවුන් එක් එක් සිද්ධියට නොව සමස්තයට ම විරුද්ධත්වය දක්වමින් සිටියෙ. 



ඊළඟට අනුර ඊනියා විශ්වාසභංග යෝජනාව  ගෙනාවා. එයටත් ඒ සන්තෑසියම ම හිමි වුණා. පැහැදිලිව ම ඊනියා කතානායක බටහිර තානාපතිවරුන්ට පණිවුඩයක් දීමටත් මහින්ද අගමැතිකමින් පන්නා දැමීමටත් ව්‍යවස්ථා විරෝධී ව ස්ථාවර නියෝග කුණු කූඩයට දමා කටයුතු කරමින් සිටියා. යම්කිසි මන්ත්‍රීවරයකු කුණු කූඩය ඉස්සුවා නම් මා පුදුම වෙන්නෙ නැහැ. ඔහුට හිතෙන්න ඇති ස්ථවර නියෝග එළියට ගන්න.



පසුගිය සිකුරාදා ඊනියා කතානායක පිහිකාරයන් ආරක්‍ෂා කළා. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීම ආරම්භ කිරීමට පෙර සභා ගැබේ විරුද්ධත්වය පෑවා. එහි වරදක් නැහැ. රැස්වීම ආරම්භ වෙලා තිබුණෙ නැහැ. ඊනියා කතානායක එහි දී කළ යුතුව තිබුණෙ පක්‍ෂ නායකයන් කැඳවා කළ යුත්තේ කුමක් දැයි සාකච්ඡා කිරීමයි. එහෙත් ඔහු කැඳෙවුවේ පොලීසියයි. පොලීසිය පිට අය (strangers). හිතනවා ද ආණ්ඩු පක්‍ෂය පොලීසියත් සමග විරුද්ධ පක්‍ෂ දොරටුවෙන් පැමිණි ඊනියා කතානායකට (ඒ සමග ම මෙන් රනිලුත් පැමිණියා) රැස්වීම පටන් ගන්න ඉඩ දේවි කියලා. පොලීසිය පාර්ලිමේන්තුවෙ පිටස්තරයන්. ජනතාවගෙන් ප්‍රතික්‍ෂෙප වී ජාතික ලැයිස්තුවෙන් පැමිණි ඊනියා කතානායකට අද ආරක්‍ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය (STF) අවශ්‍ය බවක් කියැවෙනවා. මේ තිර රචනය මොන රටේ තානාපතිගෙ ද?



අද ඊනියා කතානායක රටට ම ප්‍රශ්නයක්. ඔහු පාර්ලිමේන්තුව අක්‍රිය කළා. ඔහු අද පාර්ලිමේන්තුව අත්හිටුවලා. ව්‍යවස්ථාවේ (3) සමග (4) (අ) යටතේ කියැවෙන ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය අක්‍රිය කරලා. ජනතාවගෙ පරමාධිපත්‍යයෙ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන්නෙ පාර්ලිමේන්තුව මගින්. මා හිතන්නෙ නැහැ, සංවිධාන ලෙස කටයුතු කළ  ජ වි පෙ හා කොටි සංවිධානය හැරුණු විට, පුද්ගලයකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට මෙතරම් පහරක් එල්ල කළ අයකු හිටියා කියා. ඔහු පැහැදිලි ව ම මේ කාරණයේ දී ජේ ආර් හා රනිල් පරදවනවා. රනිල් අනුර හා සුමන්තිරන් ඔහු සමග එකට හිට ගැනීම පුදුමයක් නො වෙයි. 



අද ඇති ප්‍රධාන ම කාර්යය රනිල් අනුර සුමන්තිරන් කල්ලිය මෙන් ම ඊනියා කතානායකත් ඉවත් කිරීමයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. රනිල් අනුර සුමන්තිරන් කල්ලියට අවශ්‍යවන විධියට කරු ජයසූරිය පාර්ලිමේන්තුව අත්හිටුවලා. කරු පාර්ලිමේන්තුවට කරුවක් නොව මරුවකු වෙලා. ඔහු ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ල කාලා. අප මෙවැනි දෙයක් ගැන කලිනුත් කිවුවා. මා පසුගිය 10 වැනි දා මෙසේ කියා ඇති.



අද අර්බුදය උග්‍ර වී තිබෙනවා.  එයට ප්‍රධාන හේතුව කතානායක. ඔහු අද ක්‍රියා කරන්නේ සිරකොතේ කතානායක ලෙස. ඔහුගේ පක්‍ෂග්‍රාහී ක්‍රියා කලාපය නිසා පාර්ලිමේන්තුව අද අක්‍රිය වෙලා.



ජනාධිපති නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ඇත්තේ 43 ව්‍යවස්ථාව අනුව. ඒ බව ඇමතිවරුන් පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් ද පැහැදිලියි. අගමැති පත් කිරීම හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම 42 හා 43 ව්‍යවස්ථා යටතේ කෙරී ඇත්තේ. එහි කිසිම ව්‍යවස්ථානුකූල නොවන බවක් නැහැ. එහෙත් කතානායක එ ජා පෙරමුණේ අවශ්‍යතාවට ජනාධිපති ව්‍යවස්ථානුකූල ව කර ඇති පත්වීම් පිළිගන්නේ නැහැ.



කතානායක එමගින් ජනතා පරමාධිපත්‍යයට එරෙහි ව ක්‍රියා කරනවා. ජනතාවගේ පරමාධිපත්‍යය ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවෙන් කියැවෙනවා. එහි අනුව්‍යවස්ථා කිහිපයක් තියෙනවා. ඉන් පළමු වැන්න 4(අ) ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන්.



ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් කතානායකගේ ක්‍රියා කලාපය නිසා අද පාර්ලිමේන්තුව එ ජා පක්‍ෂයේ අවශ්‍යතා වෙනුවෙන් අක්‍රීය කරලා. කතානායක ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වෙලා.



මෙය ව්‍යවස්ථා විරෝධී වැඩක් පමණක් නො වෙයි. ජනතා විරෝධී කටයුත්තක්. 4 වැනි ව්‍යවස්ථාව කියවන්නේ පරමාධිපත්‍යය ගැන සඳහන් 3 වැනි ව්‍යවස්ථාවත් සමග. 4 වැනි ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ 3 වැනි ව්‍යවස්ථාවත් වෙනස් කිරීමක්. එහෙත් 3 වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි.



ඒ කියන්නේ 4 වැනි ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයයි. මේ පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණයක් ද තියෙනවා.  කතානායක අද මේ ව්‍යවස්ථාව කඩ කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය නොසලකමින් එය තදබල වරදක්.   



කතානායක පාර්ලිමේන්තුව අක්‍රීය කර ඇති විටෙක එය රටේ ආරක්‍ෂාවටත් බලපානවා. රට අස්ථාවර වීමටත් ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවක ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය 4(ආ) අනුව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන  විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව සක්‍රීය කිරීමට සිදු වෙනවා.



එහෙත් කතානායක එයට අවහිර කරන්නේ ජනාධිපති ගැසට් නිවේදනවලට ගරු නොකරමින්. එවැනි තත්වයක් යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුව සක්‍රීය කර ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් කැඳවීමටත් මැතිවරණයක් පැවැත්වීමට නාම යෝජනා පත්‍ර භාරදීමටත් දින නියම කිරීමෙන්.”