History

Saturday, 17 November 2018

දේශපාලන පාංශුකූලයක්


දේශපාලන පාංශුකූලයක්



අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන විවිධ අය විවිධ දේ කියනවා. මැතිවරණයක් තියන්න කියනවා. ජනාධිපතිවරණයක් තියන්න කියනවා. ඊනියා කතානායක ඉවත් කරන්න කියනවා. කවුරුන්වත් සියල්ලට ම හේතුව ව්‍යවස්ථාව කියලා එය වෙනස් කරන්න කතා කරල නැහැ. සියල්ලට ම හේතුව අතුරු තහනම් නියෝගය කියලා අගවිනිසුරු ඉවත් කරන්න කතා කරලත් නැහැ. ඕනම අයකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒව හරි ද වැරදි ද කරන්න පුළුවන් ද කියලා කියන්නෙ නැහැ.




ඒ අතර සමහරු මෙය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ප්‍රශ්නයක් ය කියනවා. බැලූ බැල්මට පේන්නෙ එහෙමයි. එහෙත් මෙය මූලික වශයෙන් ජාතිකත්වය හා විජාතිකත්වය අතර ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවෙ පිල් බෙදිල තියෙන විධියටත් ඒක පැහැදිලියි. රනිල්, චම්පක, අනුර, සම්බන්ධන්, හකීම්, බද්යුද්දීන්, ආදී සියල්ලන් ම විජාතික බලවේගවල කොටස්. ඔවුන්ට සහාය දෙන්න පාර්ලිමේන්තු ගැලරියෙ බටහිර තානාපතිවරුන් හා මැරයන් හිටියා. බටහිර තානාපතිවරුන් ඉන්නෙ අරාබි වසන්තය ඇති කරන්න. ඔවුන් 2009-2015 දක්වාත් දැනුත්  ඒ බලාපොරොත්තුව ඇතිව ඉන්නෙ. බටහිර තානාපතිවරුන් ආපසු යවන්න කියලත් තවමත් කිසිවකු කියා නැහැ. මැරයන් ආපසු යවන්න ඊනියා කතානායකට කියපු අයකුත් නැහැ.



මා නම් කියන්නෙ රනිල් අනුර සුමන්තිරන්  කල්ලියට හැකි ඉක්මණින් දේශපාලන පාංශුකූලයක් දෙන්න කියා. එහෙත් එයට යම් පමණකට බාධාවක් වෙලා තියෙන්නෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය. එය හදිසියේ වෙනස් කරන්න බැහැ. ඒ අතර ජාතිකත්වය වෙනුවෙන් තම තමන්ට කළ හැකි දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. බෝධි පූජා පැවැත්වීම, නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට පහනක් තැබීම වැනි සුළු යැයි සිතෙන දෙයක් වුණත් වැදගත් වේවි.



අද රටේ ඇති අධාර්මික බව නිසා මිථ්‍යාදෘෂ්ටික දෙවියන් බලවත් වෙලා. පඬියන් මෙන් ම ඕල්කට් බෞද්ධයන් ද මා මෙහෙම කියනවාට විරුද්ධ වේවි. එහෙත් ඔවුන් සියළු දෙනා ම මෙන් අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණයක් තියෙනවා කියලා කිසිම අයකුගේ, අඩු තරමෙන් නිවුටන්ගෙවත් ප්‍රත්‍යක්‍ෂයක් නැතිව විශ්වාස කරනවා. මට  වැරදුණා. කැලණිය විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨ මහාචාර්යවරයකුට ඒ පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් තියෙනවා. එහෙත් ඔහු ඒ ප්‍රත්‍යක්‍ෂ වන ඉන්ද්‍රිය පෙන්නන්න කැමති නැහැ.



පහුගිය දවස් කිහිපයෙ සිද්ධ වුණු දේ ලංකාවට අපකීර්තියක් කියල දුක් වෙන්න ඕන නැහැ. අප මොනවා කළත් බටහිරයන් හා ඔවුන්ගෙ ඊනියා අපක්‍ෂපාත මාධ්‍ය ජාතිකත්වයට එරෙහිව කටයුතු කරාවි. ඔවුන්ගේ ප්‍රචාර හැමදාමත් ජාතිකත්වයට විරුද්ධවයි. මෙරට ජාතිකත්වයට ගරු කරන්න ඔවුන් කිසි දා කටයුතු කරන එකක් නැහැ. ඔවුන් රනිල් කරන දේ ගැන කිසි දා  කියන්නේ නැහැ. රනිල් මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් කියලා ඔවුන් කියන්නේ නැහැ. එ වෙනුවට ඔවුන් රනිල් වෙනුවෙන් පාර්ලිමේන්තු ගැලරියට මැරයන් සමග එනවා. මැරයන් මැර බලය යොදන්නෙ ශරීර හා ආයුධ ශක්තිය යොදා ගෙන. තානාපතිවරුන් තම මැර බලය යොදන්නෙ තම දැනුම් ආධිපත්‍යයේ ශක්තිය යොදා ගෙන.



දහහතරවැනි දා හා දහසයවැනි දා සිදු වූ දේ පිලිබඳ මා වෙන ම ලිපි ලියා ඇති. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කිව යුතු කරුණක් දෙකක් තියෙනවා. පළමු විශ්වාසභංග යෝජනාව ගෙන ආවෙ ජනාධිපතිට හා අගමැතිට විරුද්ධව. එහි පළමු කොටස එනම් ජනාධිපතිට විරුද්ධව ගෙනා විශ්වාසභංගය දෝෂාභියෝගයක් වගේ. දෝෂාභියෝගයක් එහෙම ගේන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ම නියම වූ ක්‍රියා දාමයක් තියෙනවා. රනිල් අනුර සුමන්තිරන් කල්ලිය ඒ කිසිවක් ගැන හිතා තිබුණෙ නැහැ. ඔවුන්ගේ පළමු විශ්වාසභංගය ඒ නිසා ම වුණත් ව්‍යවස්ථා විරෝධියි.



ඔවුන් දෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙ පළමු යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව ඔවුනට වුවත් පිළිගන්න සිදු වූ නිසා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඊනියා කතානායක ඒ පළමු විශ්වාසභංගයත් සම්මත වූ බව කිවුවා. එය සම්මත වී ඇත්නම් ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට එකඟ යැයි ඔහු කියන්නේ නම් දෙවැන්නක් ගෙන ඒමට වැරදියට වුවත් ඉඩ දුන්නේ ඇයි. ජනාධිපති එසේ කීවා කියා ඇඟ බේරා ගන්න බැහැ. දෙවැන්න ගෙන ආවේ පළමුවැන්න වැරදි නිසා බව ඊනියා කතානායක ද පිළිගන්නා නිසා. ඊනියා කතානායක පළමුවැන්න සම්බන්ධයෙන් තමා වැරදි බව  පිළිගෙන තියෙනවා.



දෙවැන්න හරි ද? දෙවැන්න අගමැතිට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක්. විශ්වාසභංගයක් නොව ඕනෑම යෝජනාවක් ගෙනෙන ආකාරය ස්ථාවර නියෝග 27 හා 28 හි සඳහන් වෙනවා. රනිල් අනුර සුමන්තිරන් කල්ලිය ඒ කිසිවක් තුටටුවකට මායිම් කෙළේ නැහැ. ඔවුන් කෙළේ ස්ථාවර නියෝග අත්හිටුවීමට යෝජනාවක් ගෙන ඒම පමණයි. එහෙත් එයවත් ස්ථාවර නියෝග 135 යටතේ හරියට කෙරී නැහැ. සුමන්තිරන්ගේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සම්මත වී නැහැ. හඬින් සම්මත වීම කියන්නේ සද්දෙ අනුව තීන්දු ගැනීම නො වෙයි. පක්‍ෂ හා විපක්‍ෂ අය ගණන් කර ගත යුතුයි. ඊනියා කතානායක ගණකාධිකාරයකු ලෙස කටයුතු කළා ය කියනවා. එහෙත් ඔහු ගණන් කරන්න  ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ ගණන් කරන්න දන්නෙ නැති නිසා ද?



යම් යෝජනාවක් ගෙන ආ යුත්තේ ස්ථාවර නියෝග 27 හා 28 අනුව. ස්ථාවර නියෝග අත්හිටුවා ඕනෑම යෝජනාවක් ගෙන එන්න බැහැ. අපි උදාහරණයකට ජනාධිපතිට විරුද්ධ ව  දෝෂාභියෝග යෝජනාවක් සලකා බලමු. ස්ථාවර නියෝග අත්හිටුවා එය විශේෂ කාරණයක් කියමින් දෝෂාභියෝගයක් ගෙන එන්න බැහැ. ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවකුත් ඒ වගේමයි. එවැනි යෝජනාවක් විශේෂ කාර්යයක් කියමින් ස්ථාවර නියෝග අත්හිටුවා ගෙනෙන්න බැහැ. කොහොමටත් සුමන්තිරන්ගේ අත්හිටුවීමේ යෝජනාවේ විශේෂ කාර්යය මොකක් ද කියා සඳහන් වෙන්නේ නැහැ.



තවත් ප්‍රශ්නයක්. ස්ථාවර නියෝග අත්හිටුවා ඊනියා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසන්නේ කොහොම ද? දැන් රනිල් අනුර සුමන්තිරන් කල්ලිය කියන්නේ ස්ථාවර නියෝග 47 යටතේ හඬින් ඡන්දය ගත් බව. හඬින් ගැනීමේ වැරදි අප කලින් ලිපිවලත් සඳහන් කර ඇති. එහෙත් එයට වඩා මූලික ප්‍රශ්නයක් තියෙනවා. ස්ථාවර නියෝග අත්හිටුවා ඇතැයි කියන අවස්ථාවක දී 47 වලංගු වන්නේ කෙසේ ද? ඒ අනුව කටයුතු කළා යැයි රනිල් කියන්නේ කෙසේ ද?



අපි හිතමු තර්කය සඳහා ස්ථාවර නියෝග නිවැරදිව ස්ථාවර නියෝගවලට අනුකූල ව අත්හිටුවා තිබුණා කියා. එමෙන් ම ඊනියා විශ්වාසභංග යෝජනාව ගෙන ඒමත් නිවැරදි ය කියා. එවිට ඡන්දය ලබා ගන්නේ කෙසේ ද? මරණාධාර සමිතියක ව්‍යවස්ථාව අනුව ද? ඊනියා කතානායක පාර්ලිමේන්තුව මරා දමා ඇති විටක මරණාධාර සමිතියෙන් අහන්න වෙන්නෙ රනිල් අනුර සුමන්තිරන් කල්ලියේ දේශපාලනයට පාංශුකූලය දෙන්නෙ කොහොම ද කියන එක විතරයි.