History

Monday, 24 December 2018

ඇමති පෙරේතයෝ


ඇමති පෙරේතයෝ



ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න බැරි නම් අඩුම තරමෙන් ඇමති ධුර දෙකක්වත් වැඩි කර ගන්න අද රනිල් හා පිරිස කටයුතු කරන බව පේනවා. ජනතාවට සේවය කිරීමට මෙතරම් උනන්දුවක් දක්වන පිරිසක් රටේ සිටීම අපේ ලොකු භාග්‍යයක් වෙන්න ඕන. දැන්වත් පැහැදිලි වෙන්න ඕන ඊනියා ජාතික ආණ්ඩු හදන්නෙ එංගලන්තෙ වගේ යුද්ධ කාලවල එකතු වෙලා රට රකින්න නොවෙයි ඇමතිකම් වැඩි කර ගන්න කියන එක.
 



පහුගිය ඊනියා ජාතික ආණ්ඩුව හැදුවෙ මහින්ද පරාද කරන්න බටහිරයන් හා ඉන්දියාව එකතු වෙලා හදපු සැලැස්ම (ඒ කිසිවක් කුමන්ත්‍රණ නොවෙයි) ක්‍රියාත්මක කරන්න මිසක් වෙන එහෙකට නො වෙයි. ඒකෙ දි විවිධ අයට ඇමතිකම් දෙන්න සිද්ධ වුණා. මා ඊයේ  පෙරේදා අහගෙන හිටියා අප්පචිචි මළෝ කැප්පටිපොළ වීරයා වෙන්න දඟලපු හැටි. ඔහු අද කැප්පටිපොළ වීරයා ගැන කතා කළත් 1998 පෙබරවාරි 4 වැනි දා එහෙම කෙළේ නැහැ. එදා චන්ද්‍රිකා වේල්ස් කුමරු (චාල්ස් වින්ඩ්සර්) ගෙන්නලා ඉංගිරිසියෙන් නිදහස සමරද්දි අප වෙල්ලස්සේ කුමාරයා සමරන්න අප්පචිචි මළෝගෙ ආසනයට ගියා. එහි දී සුමේධ වීරවර්ධන විශාල කාර්යභාරයක් ඉටු කළා. 



අප වෙල්ලස්සට ගිහින් ඉන්න කොට පෙබරවාරි 3 වැනි දා රෑ අප්පචිචි මළෝගෙ නියෝජිතයො ඇවිල්ල අපට තරජනය කළා. අප්පච්චි මළෝ එවකට චන්ද්‍රිකාගෙ නියෝජිතයෙක්. අප්පච්චි මළෝගෙ නියෝජිතයන්ට ඕන වුණේ අප ආපහු යවන්න. ඔවුන්ට කැප්පටිපොළ වීරයා ගැනවත් 1818 සිංහලේ නිදහස් සටනෙ අනෙක් වීරයන් ගැනවත් කිසිම අදහසක් ගෞරවයක් තිබුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකාගෙ වේල්ස් කුමාර නාඩගම නටන්න විතරයි. ඔවුනුත් චන්ද්‍රිකාත් ශ්‍රී ල නි පක්‍ෂයට එකල කෙළේ මහත් අගෞරවයක්. අද තමන්ගෙ තාත්තාගෙ කාලෙ ඉඳන් ශ්‍රී ල නි පක්‍ෂයේ සිටි බව කියන අප්පචිචි මළෝ තම පියවරුන් මරල හුඟක් කල්. අප අප්පච්චි මළෝවත් චන්ද්‍රිකාවත් සත පහකට ගණන් ගත්තෙ නැහැ. අප වෙල්ලස්සෙ කුමාරයා සැමරුවා. අප ජනරජ දිනය සමරන්නෙ නැත්තෙත් අප්පච්චිලා පමණක් නොව අම්මලාත් මරලා.



ඊයේ අපේ ගෙදර පැමිණි එක් අයකු කියා සිටියේ අප ක්‍රියාකාරී නොවන බවයි.  අද අප ක්‍රියාකාරී වුවත් එයට ජනමාධ්‍යයේ ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ජඩමාධ්‍යවේදීන් අප  කළ කී කිසිවක් වාර්තා කෙළේ නැහැ. මා අද දිනපතා ලිපියක් ලියනවා. එහෙත් ඒ ලිපි ජඩමාධ්‍යවේදීන්ට වැඩක් නැහැ. රසවත් නැහැ.  ඊයේ පැමිණි පුද්ගලයාත් ඒ එක ලිපියක්වත් කියවා නැහැ. මා හිතන විධියට මේ ලිපිත් දැන් බොහෝ අයට එපා වෙලා. ඒ ලිපිවල අහවල් ව්‍යවස්ථාව අහවල් අනුව්‍යවස්ථාව ආදිය සඳහන් කරන එක ලිපි කියවන අයට වෙහෙස කරයි. ඔවුන් පුරුදු වෙලා තියෙන්නෙ ප්‍රමූලධර්මවලින් නොව සාදෘශ්‍යයෙන් තර්ක කරන්න. අප බොහෝ දේ කරන්න කියන්නෙ සැසඳීමෙන්. යම් දරුවකුගෙ වයස ගැන අප කියන්නෙ අපේ ලොකු පුතාට වැඩිය අවුරුද්දක් වැඩිමල් ආදී වශයෙන්. යම් සිද්ධියක් ගැන කියන්නෙ අප මෙහෙ පදිංචියට ආපු දවස්වල වුණු දෙයක් ආදී වශයෙන්. එය නරක දෙයක් කියලා මා කියන්නෙ නැහැ. අප සංස්කෘතියෙන් ම සාපේක්‍ෂතාවාදීන්. දින වකවානුත් අපට සාපේක්‍ෂ කරුණු.



නීතිඥයන් බොහෝ විට තර්ක කරන්නෙ සාදෘශ්‍යයෙන්. ඒක නම් බටහිරටත් පොදුයි. එහෙත් බටහිර ඉන්නවා පූමූලධර්මවලින් තර්ක කරන්න සමත් නීතිඥයන්. අප රටේ එවැන්නන් ඉතා අඩුයි. දැන් මේ ඇති වී තිබෙන කතාව, එනම් ඇමති මණ්ඩලයේ තිස් දෙනකු සිටිය යුතු යැයි කියන විට එයට ජනාධිපති හා අගමැති ඇතුළත් ද නැත් ද කියන එක,  දැනගන්න ප්‍රමූලධර්මවලට යන්නෙ නැහැ. අද එ ජා පෙරමුණට කොහොම හරි ඇමති ධුර දෙකක්වත් වැඩි කරගන්න ඕන වෙලා. රනිල්ට ඇමතිකම් දෙකක්වත් නිර්මාණය කරගන්න වෙලා. ඇමතිකම් ඕන නැහැ කියපු මලික්ලාත් ඇමතිකම් ගත්තෙ හිරුණිකාගෙ සිප ගැනීමේ උණුසුම මැකී යන්නත් කලින්. 



ලිපි කියවන අයට ටිකක් කම්මැලි වුණත් ව්‍යවස්ථාවෙ 46(1) අනු ව්‍යවස්ථාවෙන් කියන්නෙ අමාත්‍ය මණ්ඩලයේ මුළු ඇමතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු ය බව කියන්න ඕන. මෙහි වැදගත් වචන මුළු සහ නොඉක්මවිය යුතු  යන්නයි. ඇමතිවරුන් සංඛ්‍යාව තිහක් විය යුතු ය කියලා නැහැ. මුළු කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද? අමාත්‍ය මණ්ඩලයෙ මුළු සාමාජික සංඛ්‍යාව තිහට වැඩි වෙන්න බැහැ. තිහක් වෙන්න ඕනෙත් නැහැ. දැන් තීරණය කරන්න වෙන්නෙ අමාත්‍ය මණ්ඩලයෙ සාමාජිකයන් කවුද කියලා. 42(3) අනුව්‍යවස්ථාවෙන් කියන්නෙ ජනාධිපති අමාත්‍ය මණ්ඩලයෙ සාමාජිකයෙක් ද ප්‍රධානියා ද කියන එක. එවිට ජනාධිපති පැත්තකන් තියලා අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ගණන් කරන්න බැහැ.



42(4) අනුව්‍යවස්ථාවෙන් කියන්නෙ අගමැති ගැන. 42(3)න් ජනාධිපති අමාත්‍ය මණ්ඩලයෙ සාමාජිකයකු කරලා ඒ ගමන් ම ජනාධිපති  අග්‍ර අමාත්‍ය පත් කිරීම ගැන කියනව. අග්‍ර අමාත්‍ය යනු අමාත්‍ය වරයකු නොවෙයි ද? අග්‍ර අමාත්‍ය කියන්නෙ අග්‍ර වූ අමාත්‍ය කියන එක. බයිලා රනිල්ගෙ අග්‍රකම පැත්තකින් තියන්න. එහෙත් නිල වශයෙන් අග්‍ර කියල තමයි කියන්නෙ. අමාත්‍ය මණ්ඩලයෙ සාමාජිකයකු හා ප්‍රධානියා වූ ජනාධිපති අග්‍ර වූ අමාත්‍යවරයා පත් කිරීම ගැනයි 42(3) හා 42(4)න් කියැවෙන්න. අග්‍ර වූ අමාත්‍යවරයා අමාත්‍යවරයකු නො වෙයි ද? ඔහු අග්‍ර වූ විහිළුකාරයා ද?



එහෙත් නීතිඥයන් තම සේවාදායකයන් වෙනුවෙන් බොරු කියනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනකු  අග්‍ර වූ බොරු කාරයන් වෙන්න පුළුවන්. උසාවියෙ බොරු කියන්නෙ නැහැ කියල තමයි කියන්නෙ. ඒක බොරුවක් ද? 



ඒ මොනවා වුණත් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒ සඳහා ප්‍රතිපාදන නැති වුවත් අප රාජ්‍ය ඇමතිවරුන් පත් කරනවා. ඒ ඇමති පෙරේතයන් සඳහා දෙන දොළ පිදේනි ද?