History

Tuesday, 25 December 2018

පේරාදෙණි ගුරුකුලය


පේරාදෙණි ගුරුකුලය



පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කියල පොතක් කියෙව්ව. පිටු හයසිය ගණනක් ඇති ඒ පොත ලියල තියෙන්නෙ සේන තෝරදෙනිය. පොතේ දත්ත රාශියක් තියෙනවා. මුලාශ්‍රත් දක්වල තියෙනවා. බොහොම මහන්සි වෙලා කරපු වැඩක්. පොතේ කියන විධියට කතුවරයා මට අවුරුදු දෙකකට කලින් පේරාදෙණියට ගිහින් තියෙන්නෙ. මා පේරාදෙණියෙ ඉගෙන ගත්තෙ එක වසරයි. ඒ කොළඹට එන්න වුණු නිසා. ඒ කාලෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. ඒ ලංකා විශ්වවිද්‍යාලය. පේරාදෙණියෙ විද්‍යා පීඨයට කිව්වෙ දෙවැනි විද්‍යා පීඨය කියලා. මා පසුව අවුරුදු අටක් පමණ එහි ඉගැන්නුවා. ඒ කාලෙ කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකක් බවට පත් වුණා. දෙවැනි වතාවෙ පේරාදෙණියෙ මට පත්වීමක් දුන්නෙ නැහැ. ඒ වන විට විශ්වවිද්‍යාල මණ්ඩප වෙලා. දැන් අප ඉගෙන ගත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. අප දැන් නැති විශ්වවිද්‍යාලයක උපාධිධාරීන්. මා උපාධි සහතිකය ගත්තෙත් නැහැ. මා හිතන්නෙ ලංකා විශ්වවිද්‍යාලෙ වාර්තා තියෙන්නෙ පේරාදෙණියෙ කියලයි. ඒත් කොළඹත් තම උරුමය අත් හරින්නෙ නැහැ. මා නම් මේ සියලු උරුම අත්හැරලා. ඒ අයත් මා අත්හැරලා. මට විශ්වවිද්‍යාලයෙන් ලැබුණෙ භාර්යාව විතරයි.  





සේන තෝරදෙණිය තවමත් මාක්ස්වාදියකු බවයි පෙනෙන්නෙ. ඔහු මාඕවාදියකු බවත් පේනවා. මාඕවාදීන්ට යම් ජාතිකත්වයකුත් තිබුණා. මා එකල පූර්ණ ජාත්‍යන්තරවාදී ට්‍රොට්ස්කිවාදියෙක්. එහෙත් දැන් මා සම්පූර්ණයෙන් ම මාක්ස්වාදයෙන් කැඩිලා. ඒ විතරක් නොවෙයි බටහිර දැනුම් ආධිපත්‍යයෙනුත් සම්පූර්ණයෙන් ම කැඩිලා. දැනුම් ආධිපත්‍යයෙන් කැඩිල කියන එක බොහෝ අයට තේරෙන්නෙ නැහැ. ඒ කියන්නෙ අවශ්‍ය වෙලාවට බටහිර දැනුම තාක්‍ෂණය ආදිය යොදා නොගන්නවා කියන එක නො වෙයි. මා පරිගණකය යොදා ගන්නවා. මෝටර් රථවල ගුවන් යානාවල ගමන් කරනවා. දැන් නැති වුවත් කලක් මෝටර් රථයක් අයිති වෙලත් තිබුණා. එහෙත් මා බටහිර සංකල්පවලට ප්‍රවාදවලට යට වන්නේ නැහැ. මා ලෝකයක් නිර්මාණය කර ගන්නේ මගේ සංකල්ප හා ප්‍රවාදවලින්. මාක්ස්ගෙ ඔළුවෙ පමණක් තිබුණු කසිකබල් කම්කරු පංතිය හා පංති සංකල්පය මගේ හිතෙන් අහක් කරලා බොහෝ කල්. 



මෙය සේන තෝරදෙණියගේ පොත ගැන කෙරෙන විචාරයක් නො වෙයි. එහෙත් මෙය ලිවීමට නිමිත්ත වුණෙ ඒ පොත. ඒ වුණත් මෙහි දැක්වෙන අදහස් පොත නිසා ඇති වුවා නො වෙයි. මේ අදහස් පොත කියවීමට පෙරත් මට තිබුණා. මෙය එක්තරා ආකරයකින් ගත්තොත් ලිපි පෙළක ආරම්භයක් පමණයි. එහෙත් ඒ ලිපි දිනපතා පළ වන්නේ නැහැ. ලිපි අංක එක දෙක තුන ආදී වශයෙන් පළවෙන්නෙත් නැහැ. ලිපිවලට විවිධ  මාතෘකා තියේවි. ඒ ලිපි අනෙක් ලිපිවලින් වෙන් කර ගැනීම මේ කියවන්නන්ගේ වැඩක්.



කිසිම සංස්කෘතියක් වෙනස් නොවී පවතින්නේ නැහැ. වෙනස් වීම අනිත්‍ය සමග පටලවා ගන්න එපා. අනිත්‍ය කියන්නෙ වෙනස් වීම නොවෙයි. වෙනස් වෙන බව දැන ගත්තට නිවන සම්මාබෝධ වන්නේ නැහැ. සංස්කෘතීන් අභ්‍යන්තර හේතු නිසා මෙන් ම බාහිර සංස්කෘතීන්හි බලපෑම නිසා ද වෙනස් වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය අවුරුදු දහස් ගණනක් තිස්සෙ විකාශය වෙච්ච එකක්. සිංහල කියන එකටත් විවිධ අර්ථකථන තියෙනවා. සිංහයන් මෙරටට එන්න ඉස්සර හිටියෙ හෙළයන් කියා කියන්න පුළුවන්. යක්ඛ නාග දේව රාක්‍ෂස ආදීන් හෙළයන් හැයි කියමු. මට හිතෙන්නෙ සිංහ හා හෙළ එකතු වෙලා සිංහෙළ සිංහල වුණා කියලා. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඒකෙ නිරුක්ති හොයන්න ලැහැස්ති වෙන්න එපා. හෙළයන්ගෙන් පමණක්වත් සිංහයන්ගෙන් පමණක්වත් සිංහලයන් පැවත එනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඒ කොහෙම වුණත් එතන තියෙන්නෙ සංස්කෘතික මිශ්‍රණයක්. එහි දේශපාලනයක් ද ආර්ථිකයක් ද තියෙනවා. සිංහයන් ඔවුන්ගේ සංස්කෘතියත් දේශපාලනයත් ආර්ථිකයත් මෙරටට ගේන්න ඇති. එහෙම නොවන්නෙ නැහැ.



මෙරට ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා පැරණිය කියන එක පැහැදිලියි. කැනීමවලින් ඒ බව කියැවෙනවා. එහෙත් ඇතැමුන් කනින්නේ වෙනත් අරමුණකින් බව පැහැදිලියි. ඔවුන් ගැන ඇතැම් සිංහලයන් විශ්වාස කළත් මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ. ගොනා හැරෙන්නෙ මොකට ද කියල කලින් ම දැන ගන්න බැරි නම් පොල් පැළේ බේරා ගන්න බැහැ. ඒ මොකක් වුණත් වැදි ජනයා මෙරට ඊනියා ආදිවාසීන් කියා මා පිළිගන්නේ නැහැ. ආදිවාසි කියන එක බටහිරයන් තැනූ සංකල්පයක්. එය එක්සත් ජනපදයට ඕස්ට්රේලියාවට නවසීලන්තයට හරි ගියාට ලංකාවට හරියන්නෙ නැහැ. මාක්ස් ද ඇතුළුව බටහිරයන් මුළු ලෝකය ම ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවලින් තේරුම් ගන්න කියා අපට බලකරනවා. මා එසේ කරන්නේ නැහැ. මා ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වන්නේ නැහැ. බටහිරයන් වැදි ජනයා ආදිවාසීන් කරන්නේ එක් පැත්තකින් සිංහලයන්ට මෙරට හිමි තැන අහිමි කරන්න. සිංහලයන්ගේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයකට සීමා කරන අයත් බටහිරයන්ටත් ඔවුන් අනුව කනින අයටත් උඩගෙඩි සපයනවා. සිංහලයන් කියන්නෙ හෙළයන්ටමත් නො වෙයි. හෙළයන් නොවෙන්නන්ටමත් නො වෙයි. සිංහලයන්ට හෙළයන්ගෙ උරුමයකුත් තියෙනවා. සිංහලයන් විකාශය වෙලා තියෙන්නෙ හෙළ වාසීන්ගෙන්.



මහාබලි තාරක රාවණ ගැන අප කතා කරනවා. මේ ඉතිහාසය පාදා ගැනීම හිතන තරම් ලෙහෙසි නැහැ. කැනීම්වලින් පමණක් ඒ මතුකර ගන්න බැහැ. අපට අදෘශ්‍යමාන බලවේගවලින් උපකාර ලබා ගන්න වේවි. එහෙත් එයත් පහසු නැහැ. සමහර අදෘශ්‍යමාන බලවේග අපට ලණු දෙනවා. ලණු හඳුනා ගැනීමට අපට ක්‍රමයක් තියෙන්න ඕන. කොහොම වෙතත් මෙරට ඉතිහාසය මෙහි වාසය කළ අය බාහිර සංස්කෘතීන් සමග කරන ලද ගණුදෙනු සමගත් බැඳී  තියෙනවා. බාහිරින් ලැබුණු සමහර දේ අප අපේ කර ගෙන තියෙනවා. තවත් සමහර දේ අප එල්ල ගෙන තියෙනවා. අප සමහර වෙලාවට බෙල්ලෙ මාල බඳින්නෙ නැතිව ගෙජ්ජි බැඳ ගෙන තියෙනවා. අමුඩෙ වැටට තියල බැඳන් තියෙනවා. වැට ළඟට ඇවිත් අමුඩ ගැහැවුවෙ ඇයි කියලවත්, එතකන් කොහොම ද හිටියෙ කියලවත් අප අහන්නෙ නැහැ. ඒක සිංහලයන්ගෙ ගතියක්.



පේරාදෙණි ගුරුකුලය යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතිය සමග අප ගණුදෙනු කිරීමට ගොස් ඇති වූ ඇබැද්දියක්. ඒකෙ මුලිකයා එදිරිවීර සරච්චන්ද්‍රවත් මාර්ටින් වික්‍රමසිංහවත් නො වෙයි. ඔවුන් එහි ඉත්තන් පමණයි. ගුණදාස අමරසේකරත් ඉත්තකු පමණයි. ඔවුන් යම් යම් ප්‍රමාණවලින් ඉන් කැඩුණා. අමරසේකර තමයි වැඩියෙන් ම කැඩුණෙ. වික්‍රමසිංහ හිතන තරම් කැඩුණෙ නැහැ. බවතරණය කියන්නෙ නූතනත්වයෙ අනුගාමිකයකු ලිව්ව එකක්.  ඒ කිසිවකුටවත් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න බැරි වුණා. සිරි ගුණසිංහට ඔහුගෙ තාත්තා දාපු නම සිරි වෙන්න නම් බැහැ. ඔහු සිරි වීමත් නූතනත්වයෙ ප්‍රතිඵලයක්. ගුණදාස නමින් නම් එහෙම ම තමයි. ඊ ආර් ද සිල්වා, එදිරිවීර සරච්චන්ද්‍ර වුණෙ නූතනත්වය හින්ද ම නොවෙයි. මේවත් වැදගත් කරුණු. වික්‍රමසිංහ අමරසේකර සිරි ගුණසිංහ ඉපදුණෙ සිංහල බෞද්ධ පවුල්වල. එහෙත් ඊ ආර් ද සිල්වා එහෙම නො වෙයි. ඔහු පුතු සෙනේ ඇට සොයා ගොස් ඇට මිදුළුවලට වැද කියන කොට මට නම් ඔහු ගැන ගෞරවයක් හිතෙනවා. මස් ලේ නැති ඇට ලිව්ව සිරි ගුණසිංහ තිවංක පිළිම ගේ ගැනත් ලියනවා. අමරසේකරට යටලමත්තෙන් ඉවත් වෙන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය අප හිතනවාට වඩා ප්‍රබලයි. අද පේරාදෙණියෙ ඉන්න නපුංසකයන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැහැ. මා නම් ඔවුන් සතපහකටවත් ගණන් ගන්නෙ නැහැ. අපි මේ සියල්ල විටින් විට සාකච්ඡා කරමු.