History

Saturday, 8 December 2018

අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද


අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද



පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ. පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි. පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ එක්සත් කරනු ලැබීමෙන් පසුව.




කොහොමටත් රට කියන සංකල්පය හැදුනෙ කාලෙකට පස්සෙ. රටක් ජාතියක් කියන සංකල්ප බටහිරයන් ළඟ තිබුණෙ නැහැ. අදත් රටවැසියා කියන්න ඉංගිරියෙන් තියෙන වචනය පුරවැසියා (citizen) යන්නයි. අපත් ඒ වචනය පරිවර්තනය කරගෙන රටවැසියන්ට පුරවැසියන් කියා කියනවා. රෝමයන්ට අනුව කන්ට්‍රි කිව්වෙ රෝමයට පිට ප්‍රදේශවලට. ඇමරිකා එක්සත් රාජ්‍යවල කන්ට්‍රි මියුසික් කියන්නෙ ගමේ සංගීතය වැනි අදහසකින්. බටහිර පුරය (city) තමයි ප්‍රධාන. එහෙත් කන්ට්‍රි  කොහොම හරි සිටි පරදවා රට ම හඳුන්වන පදයක් බවට පත්වෙලා. එහෙත් තවමත් රටවැසියන්ට කියන්නෙ පුරවැසියන් කියා. අපෙත් සමහර අය කන්ට්‍රි සයිඩ් කියා තම සීයලාගේ ගම්වලට කියනවා.



අපේ රට කියන සංකල්පය රුහුණු මායා පිහිටි වගේ ම උඩරට පහතරට යනුවෙනුත් යෙදෙනවා. කන්ද උඩරට හයරට කියාත් භාවිතා කෙරුණා. රටේ රාළලා හිටියා. පස්සේ රටේ මහත්තුරුත් හිටියා. රට කරවනවා කියලා සංකල්පයකුත් තිබුණා. පැරණි කාලයෙ රටවල් තුනේ එකතුවට තුන් හෙළය කියාත් තියෙනවා. රටක නුවර ගම් පුර තිබුණා. සමහර විට ගම් පළාත කියාත් යෙදුණා. අපේ රට හා බටහිරයන්ගෙ රට කියන සංකල්ප වෙනස්. අද අපි ඉංගිරිසි කන්ට්‍රි යන්නට රට කියා කියනවා. ඒ අතර රටවැසියන්ට පුරවැසියන් කියා කියනවා.  මේ සංස්කෘතික ආධිපත්‍යයේ ප්‍රතිඵල.



ප්‍රජාතන්ත්‍රවාදය රටවැසියන්ට කියා කියනවා. රටවැසියන්ට නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් තියෙනවා කියනවා. එහෙත් හැම රටවැසියකුට ම ජනාධිපති නීතිඥයකු තමා වෙනුවෙන් පත් කර ගැනීමට බැහැ. ඉංගිරිසින්ගෙ පොතේ තියෙන කතා ප්‍රායෝගික ව සිද්ධ වන්නේ නැහැ. රටවැසියන් සියලු දෙනාට ම මූලික අයිතිවාසිකම් තියෙනවා.  පොතට අනුව මගේ පරමාධිපත්‍යය වෙනත් අයකුගේ පරමාධිපත්‍යයෙන් වෙනස් වන්නේ නැහැ.



පරමාධිපත්‍යය බටහිර රටවල ඉස්සර තිබුණෙ රජුට. රජුගෙ වචනය නීතිය වුණා. රජු ඒ පරමාධිපත්‍යය දිනාගත්තෙ පාප්වහන්සේගෙන්. එංගලන්ත රජු තමයි ඒ සම්බන්ධයෙන් මූලික වුණෙ. එකල රජුගෙ විවාහ අයිතියත් තීරණය කෙළෙ පාප්වහන්සේ. රජවරුන්ගෙ විවාහ අයිතිය කොහොමත් සීමා වෙනවා. ඒ විවිධ හේතු මත. ඒ අතරෙ කතෝලික විවාහ නීතියකුත් තිබුණා. පාප්වහන්සේගෙ පරම ආධිපත්‍යය කලක බටහිර යුරෝපය පුරාම තිබුණා. එංගලන්තයට පාප්වහන්සේගේ ආධිපත්‍යයෙන් මිදෙන්න අවශ්‍ය වුණා. රජුගෙ විවාහයත් එයට බලපෑවා.



පාප්වහන්සේගේ පරම ආධිපත්‍යයෙන් මිදීම ස්වෛරීභාවයත් සමග බැඳුණා. ස්වෛරිභාවය ඇති රටක පරමාධිපත්‍යය තිබුණෙ රජුට. පසු කලෙක තත්වය වෙනස් වුණා. එංගලන්තයේ හා ප්‍රංශයේ කැරළි විප්ලව ආදිය නිසා රජුගෙ පරමාධිපත්‍යය නැති වුණා. ඇතැම් රජවරුන්ට පරමාධිපත්‍යය තබා හිසට තිබූ අයිතියත් (ආධිපත්‍යය, එයට හිස් ආධිපත්‍යය යැයි කියනවා ද) නැති වුණා. රජුගෙ පරමාධිපත්‍යය වෙනත් පිරිසකට ගියා. ඔවුන්ට ඒ පරමාධිපත්‍යයට උරුමයක් තිබුණෙ නැහැ. ඔවුන් එය ජනතාවගෙන් ලැබුණු දෙයක් යැයි කිව්වා. ජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ කිව්ව ම ප්‍රශ්නය පොතේ ඉවරයක් කරන්න පුළුවන්. සියලු ජනතාවට පරමාධිපත්‍යය තියෙනවා කිව්ව. එවිට එය ලැබෙන්නෙ උරුමයෙන් ද ධනයෙන් ද ආදී වශයෙන් ප්‍රශ්න කෙරෙන්නෙ නැහැ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියො.



ජනතාවට පරමාධිපත්‍යය දුන්නට එය ක්‍රියාත්මක කරන්නෙ කොහොම ද? හැම ප්‍රශ්නයක් ම හැමෝම  එකතු වෙලා විසඳන්න බැහැ. ඒ නිසා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වුණා. එහෙම කිව්වට ඒක සිද්ධ වුණෙ අනෙක් පැත්තට. පරමාධිපත්‍යය රජුගෙන් ලබා ගත් පිරිස තමන්ට උරුමයක් නැති නිසා ජනතාවට පරමාධිපත්‍යය දී තමන් එහි විවිධ අංග ක්‍රියාත්මක කරන පුද්ගලයන් බවට පත් කර ගත්තා. එංගලන්ත පාර්ලිමේන්තුව ඒ සඳහා හොඳ උපකරණයක් වුණා.  අප කියනවා ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, විධායක බලය අහවල් අහවල් ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙනවා කියලා. පාර්ලිමේන්තුව කියන වචනෙ බිඳිලා එන්නෙ ප්‍රංශ භාෂාවෙ කතා කිරීමට කියන වචනයෙන්. එය එංගලන්තයට නෝමන්වරුන්  මගින් ගිහින්. එංගලන්තෙ එය විකාශය වෙලා ව්‍යවස්ථාදායකයට කියන නම බවට පත්වෙලා. ලෙනින් පාර්ලිමේන්තුවට කිව්වෙ කතා සාප්පුව කියලා. එයාට වෙන සාප්පුවක් තිබුණා.



ජනතාව තමන්ට ඇතැයි කියන පරමාධිපත්‍යය තාවකාලික ව ඒ ඒ ආයතනවලට පවරනවා. ජනතාවට පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න වෙලාවක් නැහැ. අපට නීති හදන්න, ඒවා අර්ථ නිරූපණය කරන්න, නීති ක්‍රියාත්මක කරන්න වෙලාවක් නැහැ. අපට වෙන වැඩ තියෙනවා. මහෞෂධ පඬිතුමා, අසඩැක් දැන් නඩු අහන්නෙ නැහැ. ඔවුන් පැත්තකට කරලා. ඒ වෙනුවෙන් ම ඇරුණු පිරිසක් පත් කර ගෙන. එංගලන්තෙ ඉහළ ම උසාවියට තාමත් කියන්නෙ සාමි මණ්ඩලය (privy council) කියා. එයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එය එකල රජුට උපදෙස් දුන් මණ්ඩලයක්. ඔවුන් සාමිලා (ස්වාමිලා - lords). අදත් නීතිඥයන්  අධිකරණය අමතන්නෙ මාගේ ස්වාමීනි (my lord) කියා. ඇතැම් බටහිරකරණය වැළඳගත් නීතිඥයන් එය milord  කියාත් ශබ්ද කරනවා. ඒ කලකට පෙර යුරෝපයේ සංචාරය කළ ඉංගිරිසි වංශවතුන් ඇමතූ ආකාරය.



අපට මේ සියල්ල එන්නේ ඉතිහාසයෙන් විකාශයෙන් නොවෙයි. ඉංගිරිසි ආධිපත්‍යයෙන්. අර අධිපති වර්ෂ වගේමයි. ඒ කොහොම වෙතත් අද ලෝඩ්ස්ලා ඉන්නෙ උසාවියෙ. එහෙත් ව්‍යවස්ථාවට අනුව ඔවුන් කරන්නේ අපේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම. අද සමහරු ව්‍යවස්ථාව කියන්නෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට. එහෙත් මේ බොහොමයක්, ජනාධිපතිට තම මතය අනුව අගමැති පත් කරන්න ඇති අයිතියත් ඇතුළුව, දහනවයට ඉස්සරත් තිබුණා. 2009 ජනවාරියෙ රනිල් අගමැති වෙන විට දහනවවැනි සංශෝධනය තිබුණෙ නැහැ. එහෙත් ඔහු ජනාධිපති කෙරුණා. එහෙත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියන 62(2) හා 33(2)(ඇ) අනුව්‍යවස්ථා නම් ඒ විධියට කලින් තිබුණෙ නැහැ. 62(2) පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය යටතේත් 33(2)(ඇ) ජනාධිපති බලතල යටතේත් සඳහන් වෙන්නෙ. දහනවයට ඉස්සර මේ බලතල ජනාධිපතිට ප්‍රකාශිත ව ලබල දීල තිබුණෙ නැහැ. එහෙත් 70(1) යටතේ ඇතැම් කොන්දේසිවලට යටත් ව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැකි ය කියා තිබුණා. එදා ඒ එක් කොන්දේසියක් වුණෙ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අවුරුද්දක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියා.



අද ඒ කොන්දේසිය අවුරුදු හතරහාමාරක් යනතුරු කියා දීර්ඝ කර තිබෙනවා. එහෙත් 62(2)ක් දැන් තියෙනවා. ඒ අතර (3) (4) ව්‍යවස්ථා යටතේ පරමාධිපත්‍යයත් ජනතාවට තියෙනවා. ජනාධිපති ක්‍රියාත්මක කරන්නෙ අපේ පරමාධිපත්‍යයේ විධායක බලය. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්නෙ අපේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය. අපේ පරමාධිපත්‍යයෙ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන අයට පුළුවන් දෝෂාභියෝගයක් ගෙනැල්ල අපේ පරමාධිපත්‍යයෙහි විධායක බලය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඉවත් කරන්න. අපේ පරමාධිපත්‍යයෙහි විධායක බලය ක්‍රියාත්මක කරන පුද්ගලයාට අපේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ආයතනයත් විසුරුවා හරින්න පුළුවන්. විශේෂයෙන් ම රට අරාජික වෙන්න යන විට (3) හා (4) ව්‍යවස්ථා අනුව අපේ පරමාධිපත්‍යය වෙනුවෙන්. ඒ මදිවාට අපේ පරමාධිපත්‍යයෙහි විධායක බලය ක්‍රියාත්මක කරන තැනැත්තාට අපි අපේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නන් ලවා මුක්තියක් දී තියෙනවා. අපේ පරමාධිපත්‍යයෙහි අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙනුවෙන් ක්‍රියාත්මක කරන අයට මුක්තිය නැති කරන්න පුළුවන් ද? අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද?