History

Friday, 7 December 2018

පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ


පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ



මා මෙහි මොනවා කිව්වත් ඉන් නඩුවලට වැඩක් නැති බව නොදන්නවා නො වෙයි. නඩුවල දී වැදගත් වන්නේ නීතිඥයන් ඉදිරිපත් කරන කරුණු. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන එක හෙටට කල් දාලා. අපි එතෙක් බලා ඉමු. ඕනෑම තීන්දුවකට මුහුණ දීමට සූදානම් වෙමු. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයක් පවත්වන්නේ නම්  එක සංවිධානයකින් එක ලකුණක් යටතේ දිවයිනේ හැම දිස්ත්‍රික්කයකට ම තරග කරමු. ඇතැම් දිස්ත්‍රික්කයක වෙන වෙන ම තරග කිරීමෙන් වාසි අත්වන්නේ එ ජා පෙරමුණටයි. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරුණේ මෛත්‍රිපාල මහින්ද එකතුවෙන්. මොන හේතුවකටවත් එය කඩන්න ඉඩ දෙන්න බැහැ. නූතන මොල්ලිගොඩලට 2018, 1818ක් කරන්න දෙන්න බැහැ.




මේ තීන්දුව ගැනීමේ දී අර අපේක්‍ෂකයාට දිනන්න තිබූ අවස්ථාව එක සංවිධානයකින් තරග කළොත් නැති වේය වැනි අදහස්වලට ඉඩක් දීම සුදුසු නැහැ. එහෙම වෙයි කියල හිතන්න අමාරුයි. එහෙත් එහෙම වෙලා බැරි වෙලාවත් ඒ අපේක්‍ෂකයා පැරදුණොත් එයට සුදුස්සක් කරන්නත් ජේ ආර් ඉඩ සපයලා තියෙනවා. පැරදුණු අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවට යවන එක සුදසු නැහැ කියල තර්ක කරන්න පුළුවන්. ඒත් මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ එවැනි තර්කවලට වඩා සියල්ලන් ම එක පිළක ඉඳගෙන තරග කරනවා කියන කාරණයයි.



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් ඒකීය රාජ්‍යය තහවුරු කිරීමටත් පළාත් සභාවලට දී ඇති පොලිස් හා ඉඩම් බලතල අහෝසි කිරීමටත් ජනවරමක් ඉල්ලා මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. පළාත් සභා වෙනුවට දිස්ත්‍රික්ක සභා ඇති කරන්න ජනවරමක් ලබා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ මැතිවරණය බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මිදීමට අඩිතාලමක් හදා ගැනීමට යොදා ගත යුතුයි. 



උතුරු හා නැගෙනහිර පළාත්වලටත් තරග කරන්න ඕන.  දෙමළ නායකයන්ට හා මුස්ලිම් නායකයන්ට ඒ ජනතාවගේ නාමයෙන් බලයට පත් වී තමන්ට සේවය කර ගැනීමේ ක්‍රමය අත්හැරීමට පියවර ගන්න ඕන. අප දෙමළ හා මුස්ලිම් ජනයාට කතා කළ යුත්තේ ඔවුන්ගේ ඊනියා නායකයන් මගින් නොව සෘජුවමයි. දෙමළ වෙල්ලාල නායකයන් දෙමළ කතා කරන ජනයාට කරන සේවයක් නැහැ. උතුරු පළාත් සභාව ක්‍රියා කරන ආකාරයෙනුත් ඒ බව පැහැදිලි වෙනවා. උතුරු පළාත් සභාවට වෙන් කරන මුදල්වත් ඔවුන් යොදා ගන්නේ නැහැ. දෙමළ නායකයන්ටත් මුස්ලිම් නායකයන්ටත් එක් පැත්තකින් අවශ්‍ය තම ජනතාව යොදා ගනිමින් වරප්‍රසාද ලබා ගැනීමටත් අක්‍රමිකතාවල යෙදීමටත්.



ඔවුන් සන්ධීය රාජ්‍යයක් ඉල්ලන්නේත් තවත් පැත්තකින් එකී ජනතාව තව තවත් ගසා කෑමට. දෙමළ ජාතිවාදය මුළුමනින් ම ලන්දේසීන් හා ඉංගිරිසින් වෙල්ලාලයන් යොදා ගනිමින් ඇති කළ එකක්. දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නයක්  නැහැ. ඒ බව මා අවුරුදු තිහක් පමණ කියා තියෙනවා. එය බිඳීමට කිසිවකු සමත් වී නැහැ. දෙමළ නායකයන් ඊළමක් ඉල්ලන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමටත්. එහි දී ඔවුනට බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ලැබෙනවා.



අද සිදුවන ක්‍රියාදාමයෙන් ඒ බව හොඳහැටි පැහැදිලි වෙනවා. රනිල් අගමැති ධුරය දැරීම නතර කිරීමෙන් වඩාත් කලබලයට පත් වී ඇත්තේ බටහිරයන්. ඔවුන් පාර්ලිමේන්තු ගැලරිවල දැක ගන්න ලැබුණා. රනිල් කාගෙදෝ උපදෙස් පිට සංයුත්ත නිකායෙන් බණ කියන්න ගියත් ඔහු අතින් කියැවෙන්නෙ බයිලා. මේ පෘතුගීසීන් ලංකාවට පැමිණි පන්සිය වසර සමරන්න සූදානම් වූ තැනැත්තා. වාසනාවකට ඊට කලින් ඔහු අගමැති ධුරයෙන් ඉවත් කෙරුණා. ජනාධිපති කිව්වෙ මහානායක හාමුදූරුවන් වැඩ සිටින විට පන්සලේ හාමුදුරුවන් බණ කියනව කියලා. මට නම් හිතෙන්නෙ එහෙම නො වෙයි. වෙනත් ආගමක පූජකයකු බණ කියන්න හදනවා වගේ කියලයි.



අද රටේ පවතින තත්වයට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕන රනිල් හා දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනයයි. දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන් ම මේ තත්වයට වග කියන්න ඕන. දහනවවැනි සංශෝධනයට තුනෙන්  දෙකක බහුතරයක් ලැබීම වළක්වන්න තිබණා. එහෙත් නොයෙකුත් හේතු නිසා එසේ වුණේ නැහැ. මේ චෝදනාවෙන් ගැලවෙන්නෙ දහනවවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් සරත් වීරසේකරත් ඡන්දය දීමෙන් වැළකුණු ජානක බණ්ඩාරත්. සිංහලයන් සරත් වීරසේකර අම්පාරෙන් පරාජය කරල කෘතගුණ දැක්වූවා!    



අධිකරණ තීන්දුවේ කුමක් සලකා බලයි ද කියා අප දන්නේ නැහැ. රටේ ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. අනෙක් සියල්ලට වඩා ජනතා පරමාධිපත්‍යය වැදගත්. අද ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක නොවන නිසා ඊනියා කතානායක නීතිය තම අතට අරගෙන. එහෙත් ඔහු රූකඩයක් පමණයි. ඔහුගෙ අත ක්‍රියාත්මක කරන්නෙ කවුද කියන එක පැහැදිලියි. ඒ අය ඉන්නෙ පාර්ලිමේන්තු ගැලරියෙ. ඔවුන් අද සියුම් ව අරමුණක් සහිත ව රටට විරුද්ධ ව වැඩ කරනවා.

ඇතැම් මන්ත්‍රීවරුන්ට අනුව අගමැති තෝරන්නෙ පාර්ලිමේන්තුව. දහනවවැනි සංශෝධනයෙන්වත් එවැන්නක් කියැවෙන්නෙ නැහැ. එහෙත් නීතිය අතට ගත් ඇතැම් මන්ත්‍රීවරුන් හිතන්නෙ එහෙමයි. ඔවුන් දැන් ජනතාවගේ පරමාධිපත්‍යයෙහි විධායක බලයටත් අභියෝග කරන්න හදනවා. ඔවුන් විධායක බලතලත් තම අතට ගන්න හදනවා. පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් විශ්වාසභංගයක් ගේන්න, අයවැය පරද්දන්න පමණයි. එවිටත් සිදුවන්නෙ අමාත්‍ය මණ්ඩලය විසිරවෙන එක පමණයි. නැවතත් අගමැති පත් කරන්න පුළුවන් ජනාධිපතිට පමණයි.



බලකාමයෙන් උමතු වූ  පිරිස් ජනතා පරමාධිපත්‍යයෙහි අධිකරණ බලයටත් අත තියන්න උත්සාහ ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඔවුන් ජනතා පරමාධිපත්‍යය තම ආධිපත්‍යය බවට පත් කරගන්න උත්සාහ කරන බව. මේ බලකාමයෙන් අන්ධ වූවන් නැවැත්විය හැක්කේ පරමාධිපත්‍යය ඇති ජනතාවට ම පමණයි. ඒ සඳහා සූදානම් වෙමු.       පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ.