History

Sunday, 10 February 2019

ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්


ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්



ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණක් අවසානයේදී නඩුවක් පැවරුවා. එය මැයි මාසෙට කල් ගිහිල්ලා. මාත් කැමතියි ඒ ගැන විනිසුරුවරුන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න.




අපි ඒක දැනට පැත්තකින් තියමු. වෙල්ගම නම් ඔක්තෝම්බර් විසිහයට විරුද්ධයි. ඔහුට ඕන මහින්ද ජනාධිපති වෙන්න. ඒකට ඉඩක් නැති බව ඔහු දන්නෙ නැද්ද? ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිගෙ කීමක් අල්ලෙගෙනයි මේ කතාව කියන්නෙ. මහින්ද ජනාධිපති තරගෙට ඉදිරිපත් වුණොත් මැතිවරණ කොමිසම නාම යෝජනා පත්‍රය පිළිගන්නවා කියලයි සභාපති කියා තියෙන්නෙ. ඒත් මහින්දලා ම ඡන්දය දී තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කළ දහනවයෙන් මහින්දට තහංචි පනවලා තියෙනවා. මැතිවරණ කොමිසම ඉඩ දුන්නත් මහින්ද දිනුවත් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරල මහින්දගෙ පත්වීම අවලංගු කරන්න පුළුවන්. එවිට ඊළඟ අපේක්‍ෂකයා ජනාධිපති වෙනවා. වෙල්ගමට ඕන ඒක කරවන්න ද?



ඇතැමුන් කියන්නෙ ඔක්තෝම්බර් විසිහය නිසා රනිල් ශක්තිමත් වුණා කියලා. ඒක මධ්‍යම පාංතික අදහසක්. මධ්‍යම පංතියට කිසිම ස්ථිර අදහසක් නැහැ. ඔවුන් තම ස්ථරයෙ රැඳී ඉන්න නොයෙකුත් උපාමාරු කරන පිරිසක්. මා පංතිය ගැන කියන්නෙ මාක්ස්වාදී අර්ථයකින් නො වෙයි. මාක්ස්වාදයට  ශ්‍රමය මත පදනම් වෙලා සමාජය නිශ්චිත ව පංතිවලට (කොටස්වලට) බෙදන්න බැහැ. මාක්ස්වාදයට තියෙන්නෙ වචන ටිකක් පමණයි. සමහරු ඒ වචන පණ්ඩිතමානී ව යොදා ගන්නවා. බොහෝ පඬියන් කරන්නෙ මාක්ස්වාදයෙත් වෙනත් ක්‍ෂෙත්‍රවලත් තමන්ට හරියට තේරෙන්නෙ නැති වචන එවැනි ම වූ අනෙක් අය ඉදිරියේ අතහැරීම පමණයි.



2015 මහින්ද පැරදුණෙ කොළඹ අවට මධ්‍යම පාංතික අයගෙ අදහස් මාරු වීම නිසා මිසක් ඊනියා සුළු ජාතික ඡන්ද අහිමි වීම නිසා නො වෙයි. කොහොමටත් මධ්‍යම පංතිය  ඔක්තෝම්බර් විසිහය ගැන කී දේ අද වන විට වෙනස් කරගෙන. ඔවුන් හෙට කොහොම ක්‍රියා කරාවි ද කියල ඔවුන්වත් දන්නෙ නැහැ.  සුළු ජාතික කියන යෙදුම ම වැරදියි. මෙරට ඇත්තේ එක් ජාතියක් පමණයි. ඒ සිංහල ජාතිය. දෙමළ ජනවර්ගයක්වත් නැහැ. ඉන්නෙ දෙමළ කතා කරන ජන කොට්ඨාශ තුනක් පමණයි. මුස්ලිම් සංස්කෘතියෙ අයගෙනුත් පිරිසක් දෙමළ කතා කරනවා. (ඒ ඔවුන්ගෙ සීයලා අරාබි කතා කරපු නිසාත් ආච්චිලා සිංහල කතා කරපු නිසාලු!)



මා කියන මධ්‍යම පංතියෙ පොඩි මුදලාලිත් ඉන්නවා. වැටුපෙන් ජීවත්වන විනිසුරුවනුත් අමාත්‍යංශ නිලධාරින් හා වෙනත් අයත් ගුරුවරුත් ඉන්නවා. මොවුන්ගෙන් හා ලොකු මුදලාලිගෙන් ජාතිකත්වයක් ගෑවිලා තියෙන අය තමයි  ජාතික හෙළ උරුමයට ඡන්දෙ දුන්නෙ. මට බෙල් බොටම් විහාර මහා දේවිල මතක් වෙනවා. කොහොමටත් දැන් බෙල් බොටම් නැත්තෙ ඇයි? තවත් සමහරු 2015 දි මෛත්‍රිපාලට ඡන්දෙ දුන්න. ඔවුන්ට තීරණාත්මක අවස්ථාවල දි ප්‍රතිඵල වෙනස් කිරීීමේ හැකියාවක් තියෙනවා. 2015 මෛත්‍රිපාල දිනුවෙ එහි ප්‍රතිඵලයක් ලෙස.



රනිල්ට ඔක්තෝම්බර් විසිහයෙන් පස්සෙ තුනෙන් දෙක නැති වුණා. ඔහුට අද පක්‍ෂයෙවත් තැනක් නැහැ. එහෙත් එ ජා පක්‍ෂයට වෙනත් නායකයකු නැති නිසා රනිල්ට එල්ලිලා ඉන්න පුළුවන්. මහින්ද අගමැති කළා ම වැඩියෙන් ම කලබල වුණෙ දෙමළ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයයි. ඒ ඔවුන්ගෙ සිංහල බෞද්ධ විරෝධයෙන් ඇති වූවක්. ඔවුන්ට අවශ්‍ය වුණෙ කොහොම හරි මහින්ද එළවන්න. විශ්වාස භංග, නඩු පැවරීම් ආදී ඔවුන්ට කළ හැකි සෑම දෙයක් ම ඔවුන් එදා කළා. මහින්ද ගියෙ  ඔහුගෙ පත් වීමෙ ප්‍රශ්නයක් හින්ද නො වෙයි. නියම විධියට සම්මත නොවුණු විශ්වාස භංග නියම විධියට සම්මත වූ බවට කරුණාරත්න ජයසූරිය තැන තැන කළ ප්‍රකාශ නිසයි. කරුණාරත්නට ඒ නිසා එ ජා පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකකම ලැබෙයි ද?



මහින්ද අගමැති ධුරයෙන්  ගියාම ඇතැමුන් හිතුවෙ මහින්ද දුර්වල වුණා රනිල් ශක්තිමත් වුණා කියලා. සමහරු හිතන්න ඇති රනිල් මයිලෝ බිව්ව කියලා. ශක්තිය කියන්නෙ එනර්ජි ද කියලා අහපු මහාචාරියොත් හිටියා. සිරිජාතිකවාදියා කියල නමක් පටබැඳි අයත් හිටියා. ඒ කුමක් වුණත් අද මහින්දගෙ තත්වය මොකක් ද රනිල්ගෙ තත්වය මොකක් ද මෛත්‍රිපාලගෙ තත්වය මොකක් ද? අද වඩාත් ම දුර්වල රනිල්. ඔහුට අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වෙලා. ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තවෙ සාමාන්‍ය බහුතරයක් පමණයි. අද ඔහුට අවශ්‍ය113ත් නැහැ. ඔහු අද ජාතික ආණ්ඩුවක් සඳහා ඕන අයකුට ආරාධනා කරන තැනට පසු බැහැලා. අර ගමගේලට ඇමතිකම් දෙන්න වෙලා. මේක ඇමති පෙරේතයන්ගෙ රටක්. 



අද එ ජා ප පසුපෙළ රනිල්ට විරුද්ධයි. චම්පක රනිල් වෙනුවෙන් ඔවුන් මෙන්ඩිස් අරක්කු කාරයන් හැටියට හඳුන්වනවා. ඔවුන් චම්පකට ජනාධිපති අපේක්‍ෂක වෙන්න දෙන්නෙ නැහැ. එ ජා ප පසුපෙළට නායකයකු නැති කමේ ප්‍රශ්නය තියෙනවා.  රනිල්ට අද හකීම් හා බද්‍යුද්දීන් තව තවත් කොන්දේසි දානවා. ඔවුන් තව තවත් ඇමති ධුර ඉල්ලනවා. ඔවුන් එ ජා පෙරමුණේ. රනිල්ට මුස්ලිම් කොංග්‍රසයෙ මන්ත්‍රී එක්ක ඊනියා ජාතික ආණ්ඩු හදන්න බැහැ. ඒ හකීම්ලා ආණ්ඩුවෙ ඉන්න හන්ද නො වෙයි. හකීම්ල පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මුස්ලිම් කොංග්‍රසය හැටියට නො වෙයි. ඔවුන් ඉන්නෙ එ ජා පෙරමුණේ මන්ත්‍රින් හැටියට. රනිල් ඊනියා ජාතික ආණාඩුවක් හදන්න අඩු තරමෙන් තවත් පක්‍ෂයක් එකතු කරගන්න ඕන. ජ වි පෙරමුණවත් දෙමළ ජාතික සංධානයවත් එයට ප්‍රසිද්ධියේ එකඟ වන්නෙ නැහැ. රනිල්ට ඉන්නෙ ශ්‍රී ල නි පක්‍ෂයෙ මන්ත්‍රීවරු ටික දෙනෙක් විතරයි. ඒත් ඔවුන් එ ජ නි සංධානයෙන් පත්වෙච්ච අය. ඔවුන්ට මහින්ද අමරවීරගෙන් ඊනියා ජාතික ආණ්ඩු හදන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. රනිල්ට පිහිටවෙන්න බටහිරයන්ටවත් බැහැ.



දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් අවශ්‍යතාවක් වුණොත් ආණ්ඩුවට පක්‍ෂ වේවි. ඒත් ඔවුන්ට ප්‍රසිද්ධියෙ ආණ්ඩුවෙ කොටස් කරුවන් වෙන්න බැහැ. ඒ රටේ හැම තැනක ම වගේ මහජන මතය රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධ නිසා. උතුරු පළාතෙත් එහෙමයි. වෙල්ලාලයන් හා එ ජා ප ප්‍රධානින් අතර  තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික සම්බන්ධයක් බව ටිකෙන් ටික රට ම දැන ගනීවි. උතුරු පළාතෙ වෙල්ලාල නොවන දෙමළ කතා කරන ජනයාගෙ පක්‍ෂ හදන්න උත්සාහ ගන්න ඕන.



මෛත්‍රිපාලට ජන්මාන්තර වෛරයක් තිබූ මහින්දවාදීන්ටත් අද මෛත්‍රිපාල ගැන කතා කරන්න වෙලා. මෛත්‍රිපාල 2014 දි කරපු වැඩේ වැරදියි. ඒත් අද ඔහු රනිල්ට විරුද්ධ ව කටයුතු කරනවා. අද ඉතාම සුපිරි ගණයේ මහින්දවාදීන්ට හා බැසිලිකාවට හැරෙන්න අන් අයට මෛත්‍රිපාල මහින්ද සමගිය ගැන කතා කරන්න වෙලා තියෙනවා. අද වඩාත් ම ශක්තිමත් කඳවුර මහින්ද මෛත්‍රිපාල කඳවුරයි. ඔවුන්ට පැහැදිලිව ම ඡන්දවලින් නම් 60%කට වඩා තියෙනවා.



ඔක්තෝම්බර් විසිහයෙන් රටේ විශාල වෙනසක් සිදු වුණා.  ඒ බව පිිළිගන්න අකමැති මෛත්‍රිපාල සමග බද්ධ වෛරයෙන් ඉන්න පිරිස් හා මෛත්‍රිපාල රනිල් වෙත යැවූ බැසිල් වැනි අයත් බැසිලිකාවෙ පූජකයනුත් තවමත් ඊනියා සිස්ටම් චේන්ජ් ගැන කතා කරන කසිකබල් මාක්ස්වාදය දන්නව යැයි කියා හිතන ජ වි පෙ නායකයනුත් චම්පකලා වනි අයත්. ජ වි පෙ තවමත් ආර්ථික අධෝව්‍යුහයක් ගැන අධෝමුඛයෙන් කතා කරනවා. බැසිල් හොරගල් අහුලනවා.