History

Monday, 11 February 2019

කුසුමාසනදේවි පහතට වැටීම


කුසුමාසනදේවි පහතට වැටීම



කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා. වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.




කිසිම නාළිකාවකට අපක්‍ෂපාත වෙන්න බැහැ. අයිතිකරුවන් ජනමාධ්‍යවේදීන් කාර්මික ශිල්පීන් ආදී  මේ කිසිවකු අපක්‍ෂපාත නැහැ. ඒ කියන්නේ ඔවුන් පෞද්ගලික ජීවිතයේ අපක්‍ෂපාත නොවී වෘත්තීය ජීවිතයේ අපක්‍ෂපාත වන බවක් නො වෙයි. වෘත්තීය ජීවිතයේත් ඔවුන් අපක්‍ෂපාත නැහැ. දෙරණෙ සමහරු ජ වි පෙරමුණ පුම්බන බව රහසක් නො වෙයි. ඒ අර සිස්ටම් චේන්ජ් විද්වතුන්. ලෙනින්ටත් බැරි වුණු සිස්ටම් චේන්ජ් කරන්න ද මේ අය සූදානම් වන්නෙ. සමාජය වෙනස් වෙන්නෙ සන්තතික ව මිසක් අසන්තතික ව නො වෙයි. අසන්තතික ව සමාජය වෙනස් කරන්න ගිය හැමෝ ම අසාර්ථක වෙලා. ජ වි පෙ ඒ සඳහා හොඳ උදාහරණයක්.



ලෝකයේ කිසිම රටක ජනමාධ්‍ය අපක්‍ෂපාත නැහැ. බීබීසිය තරම් අපක්‍ෂපාත නොවන නාළිකාවක් තවත් නැතිව ඇති. එහෙත් ඔවුන් තම ඊනියා අපක්‍ෂපාත බව සියලු අර්ථවලින් ම ප්‍රක්‍ෂෙපණය කරනවා. අපක්‍ෂපාතීත්වයේ ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතිය තීරණය කරන්නේත් ඔවුන්. දෙරණත් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන්න හදනවා. මට ඒ ගැන නම් මනාපයක් නැහැ. මා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඔය ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන් තීරණය කෙරෙන්නේ අපේ සංස්කෘතියට සාපේක්‍ෂ ව නො වෙයි.  මෙරට විද්‍යාඥයන්, සංගීතඥයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, විද්වතුන් තමන් කුමන වේශයකින් පෙනී සිටියත් අයින්ස්ටයින්, බීත්හෝවන්, ඩොස්ටොව්ස්කි ගණයේවත් ඊට පහළ ගණයේවත් නො වෙයි. අප හරි උගත් කියල කියන්න හැමෝ ම කැමතියි. මා අහගෙන විගණකාධිපතිත් එහෙම කතාවක් කියනවා. මා නම් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. 



කුසුමාසනදේවි පහළට ගියේ සිංහලයන් ඉතිහාසයෙන් ඈත් වී ඇති නිසා ද? අප තරම් වංශ කතා ලියූ ජාතියක් ජනවර්ගයක්, මිනිස් කොටසක් තවත් නැතිව ඇති. යුදෙව්වන්ගේ බයිබලයත් (එහි තේරුම පොත කියන එකයි. බිබ්ලියෝග්‍රැෆි කියන වචනය ගැන හිතන්න) අද ආගමික පොතක් වුවත් ඉතිහාස පොතක්. යුදෙව්වන් තවමත් ඉතිහාස විඥානයක් ඇතිව ඉන්නවා. එහෙත් අපට ඉතිහාස විඥානයක් නැද්ද? අනුරාධපුරේ ගියාම අප ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය වැඳ පුදා ගෙන ආපසු එන්නේ සිංහල බෞද්ධකමේ සිංහලකම නැති කර ගෙන නිසා ද?



දෙරණේ කුසුමාසනදේවී කතාව අප දන්නා කතාව නො වෙයි. මෙය කලා කෘතියක් නිසා කිසිවකු ඊනියා මූලාශ්‍ර ඉල්ලන්නේ නැහැ. ඒත් මේ කතාවට පදනම් වූයේ කිනම් දැනුමක් ද කියා දැන ගන්න පුළුවන් නම් හොඳයි. ඒ ආධ්‍යාත්මික ව ලත් දැනුමක් ද? ජනශ්‍රැතියෙන් ලැබුණු එකක් ද? පොතපතෙන් එකතු කර ගත් දැනුමක් ද? වෙනත් ක්‍රමයකින් ලබා ගත් දැනුමක් ද? ඒ කොහොම නමුත් දෝන කතිරිනා වෙනුවට මේ වන විට නම් කුසුමාසනදේවි ආදේශ වෙලා. ඉදිරියේ කෙසේ වේවි ද කියන්න බැහැ.



දන්න කුසුමාසනදේවී කතාව වෙනුවට වෙනත් කතාවක් ඉදිරිපත් කිරීම නිසා නරඹන්නන් ඈත් වුණා ද? එහෙම නම් සිංහලයන්ට ඉතිහාස විඥානයක් තියෙන්න ඕන. ඒත් එහෙම දෙයක් නම් පේන්න නැහැ. බොහෝ දෙනා අද රනිල් දොන් ජුවන් ධර්මපාල සමහ සංසන්දනය කරන ආකාරයට එකල අප චන්ද්‍රිකා දෝන කතිරිනා සමග සංසන්දනය කළා. එහෙත් චන්ද්‍රිකා දෙරණේ කුසුමාසනදේවි සමග නම් සංසන්දනය කරන්න බැහැ.



ඒ මොකක් වුණත් මෙතෙක් කුසුමාසනදේවී කතාව සංගත ව ගලා ගෙන ඇවිත් තියෙනවා. එයින් කියන්නේ මා ඒ කතාව පිළිගන්නවා කියන එක නො වෙයි. අලුත් කතාව සංගතයි, ඒ කියන්නෙ සමස්තයක් ලෙස පරස්පර නැහැ කියන එක පමණයි. ඒත් අප විමසිල්ලෙන් ඉන්න ඕන. අධ්‍යක්‍ෂකගෙ හා නිෂ්පාදකගෙ අරමුණු මොනවද කියන එකත් වැදගත් වෙනවා. දැන් කියන්න එපා අපේ අරමුණ හොඳ කලා කෘතියක් නිර්මාණය කිරීම වගේ පඬි කතා. අර තනි තට්ට,  සුළඟ  එන්න ආදී වශයෙන් සිනමා කෘති නික්‍ෂ්පාදනය කළ අයගෙ අරමුණ මොකක් ද කියන එක පැහැදිලි වුණා. ඒ සිංහල බෞද්ධ විරෝධී නිර්මාණ. එහෙම කරලත් ඒ අධ්‍යක්‍ෂලා බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ ලෝක පූජිත තත්වයට පත් වුණෙ නැහැ. ඒකෙන් බටහිරයන් ඔවුන්ගෙ ඊනියා දස්කම් විස්කම් මැන්න විධිය තේරුම් ගන්න පුළුවන්.



දෙරණ ඉදිරිපත් කරන රාවණ කතාවත් වෙනස්. ඒත් මා යක්ඛයන්ට මා කැමතියි. සුපිරි ජාතිකවාදීන් ඒකට කැමති නැහැ. ඔවුන් මා හළාහළ විසක් මෙන් සලකනවා.  අප තවමත් බටහිර විජාතික ආක්‍රමණයට එරෙහි ව තරමක්වත් කතා කරන්නෙ යක්‍ෂ සංස්කෘතියෙ ඇතැම් අංග සිංහල සංස්කෘතියෙ තියෙන නිසා. මේ අංග අපෙන් ක්‍රමයෙන් තුරන් වේගන යනවා. ඒකට නම් මා කැමති නැහැ. යක්ඛයන් නොවන්න අප පාඨලීපුත්‍රයේ ප්‍රාන්තයක් වෙන්න ඉඩ තිබුණා. යක්‍ෂ සංස්කෘතියෙ අංග නොවන්න අප බ්‍රසීලයක් හරි පිලිපීනයක් හරි වෙලා බොහෝ කල්. පිලිපීනයේ වත්මන් ජනාධිපතිට නම් ජාතිකත්වයක් තියෙන බවක් පේනවා. මගේ ලෝකය කෘතියෙහි තිස්වැනි සංවත්සරය වෙලාවෙ අප මහින්ද ඔහු සමග සංසන්දනය කළා. එහෙත් එතරම් ප්‍රතිඵලයක් අත්කර ගන්න බැරි වුණා.



මේ අතර නාළිකාවල ඇගයීම් (රේටින්) පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. මේ ඇගයීම් කරන්නෙ කොහොම ද කියන එක ප්‍රසිද්ධ කරන්න ඕන. මුළු රටේ ම රූපවාහිනී නැරඹීම තීරණය වන්නේ ගෙවල් දෙදහසකට අඩු ප්‍රමාණයක් සවිකර ඇති මාපක දෙදහසකට අඩු සංඛ්‍යාවක් උපයෝගී කරගෙන ද? එහි විවිධ හැසිරවීම් තියෙනවා ද? කුසුමාසනදේවි මේ හැසිරවීම් නිසා පහළට ගියා ද? මේ නූගතකු වූ මට එන අදහස් පමණයි. මට ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට කිට්ටු වෙන්නවත් බැරි බව වැටහිලා ලබන අවුරුද්දට අවුරුදු පනහක් වෙනවා.