History

Friday 29 March 2019

බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය


බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය



ලෝකයේ රටවල් විවිධ නිර්ණායක මත විවිධ කුලවලට බෙදන්න පුළුවන්. මේ නිර්ණායක අපේ, එනම් මිනිසුන්ගේ නිර්ණායක. ඒ කියන්නෙ මිනිසුන් නිර්මාණය කරන නිර්ණායක. ඒ ඒ මිනිසා නිර්ණායක නිර්මාණය කරන්නෙත් තමන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට මනසට සාපේක්‍ෂව. ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. වාස්තවික කියන්නෙ කාටවත් සාපේක්‍ෂ නොවන කියන අර්ථයෙන්. වාස්තවික කියන්නෙ එක අතකින් බැලුව ම දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එකයි. දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා වාස්තවික වුණෙ.




විවිධ රටවල් විවිධ කුලවලට බෙදන්න පුළුවන් දේශගුණය ආදී වශයෙන් මෙන් ම ඒ ඒ රටෙහි විශේෂිත නැත්නම් ප්‍රධාන නැත්නම් අධිපතිවාදී සංස්කෘති මත. ලෝකයේ කිසිම රටක් සංස්කෘතීන් සමාන ය යන අරූතින් බහු සංස්කෘතික නැහැ. ඒ කියන්නෙ කිසිම රටක සංස්කෘතීන් කිහිපයක් තිබුණත් ඒවා සමාන වෙන්නෙ නැහැ කියන එක. බහු සංස්කෘතික කියන එකත් ඒ ඒ රටවල යොදා ගන්නෙ විවිධ අර්ථවලින්. එංගලන්තය වගේ රටවල බහු සංස්කෘතික කියන්නෙ සංස්කෘතීන් කිහිපයක් තිබෙනවා යන අර්ථයෙන්. එහෙත් අප වැනි රටවල බහු සංස්කෘතික කියන්නෙ රටේ සෑම සංස්කෘතියක් ම සමානය කියන අර්ථයෙන්.



බහු සංස්කෘතික කියන එකත් අර්ථ දැක්වෙන්නෙ එංගලන්තය වැනි රටවලට අවශ්‍ය ආකාරයට. ලංකාවට වඩා කුඩා වුණත් ඉතා මෑතක දී බිහිවුණු සිංගප්පූරුවෙත් ඔවුන්ට ආවේණික චීන සංස්කෘතිය විශේෂිතයි. දුම්රියපොළවල නාම පුවරු භාෂා කිහිපයකින් සඳහන් කළ පමණින් අදාල සංස්කෘතීන් සමාන වෙන්නෙ නැහැ. ඒ සිගප්පූරු චීන සංස්කෘතිය නියෝජනය කරන නායකයන් කුඩා නොවන නිසා. ලංකාවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය රනිල් වැන්නන් අතින් කිසිසේත් ම නියෝජනය වන්නෙ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන අයත් පුංචි ම පුංචි මිනිසුන්. මේ රටේ උගතුන් කියන බොහෝ දෙනා දන්නෙ බටහිර අදහසක් තමන්ට තේරෙන විධියට කට ගාගෙන සිංහලෙන් කියන්න පමණයි. ඔවුන් ජඩමාධ්‍යවලට පින්සිදුවෙන්න පවතිනවා.



ලෝකයේ රටවල් පහේ කුලක දෙකක් මගේ මනසට ගෝචර වෙනවා. මේ මනස ද රටවල් ද සංස්කෘතීන් ද සියල්ල මනසේ නිර්මාණ බවත් අමතක කරන්න එපා. ඒ කොහොම වුණත් කුලක දෙක මෙහෙමයි. එකක් ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය හා ලාඕසය. අනෙක එක්සත් රාජ්‍යය (එංගලන්තය ප්‍රමුඛ), එක්සත් රාජ්‍ය(බහු වචනය, සාමාන්‍යයෙන් කියන විධියට ඇමරිකාව), ඕස්ට්රේලියාව, කැනඩාව හා නවසීලන්තය. පළමු කුලකය ථෙරවාදී බෞද්ධ රටවල්. දෙවැනි කුලකය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල්.



දෙවැනි කුලකය තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රමුඛ රටවල්. එහෙමත් නැත්නම් බටහිර සභ්‍යත්වයේ ප්‍රධාන රටවල්. ඒ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික අර්ථයෙන්. ප්‍රංශය බටහිර සභ්‍යත්වයේ කලාවට සහ සූප ශාස්ත්‍රයට ප්‍රධාන වුවත්, ජර්මනිය දර්ශනයට හා සංගීතයට ප්‍රධාන වුවත් එංගලන්තය සමස්ත බටහිර සභ්‍යත්වයේ ම ප්‍රධාන රට බවට පත් වූවා.  ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්තය වෙනුවට ඇමරිකාව ඒ තැන ගත්තා. ඒ කුලකයෙහි රටවල් පහ අතර සුළු සුළු ප්‍රශ්න තිබුණත් ඒ රටවල් පහ අතර සමානත්වය ඒ සුළු වෙනස්කම් අභිබවා යනවා.



ඒ රටවල් පහ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වය (බටහිර සභ්‍යත්වය) මෙහෙය වූ හා මෙහෙයවන රටවල්. ඊනියා පශ්චාත්නූතනත්වය (පශ්චාත්නූතනවාදය කියන්නෙ නම් පුස්සක්)  මෙහෙයවනු ලබන්නෙත් ඔවුන් විසින්. නූතනත්වයත් පශ්චාත්නූතනත්වයත් අද එකට පවතිනවා. ඇංග්ලිකන් සංස්කෘතිය ප්‍රංශ විප්ලවයේ අදහස් රාශියක් බටහිර සභ්‍යත්වය තුළට ගත්තා. නිව්ටන්ගේ අදහස් දාර්ශනික ව ස්ථාපිත කිරීමට ඉංගිරිසින්ට ජර්මානු අදහස් විශේෂයෙන් ම කාන්ට්ගේ අදහස් අවශ්‍ය වුණා. කාලය හා අවකාශය යන්න පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. කාන්ට් ඒවා ප්‍රාගානුභූත (a priori ඉන්ද්‍රිය අනුභූතියට පෙර) බව කියා නිව්ටන් බේරා ගත්තා. කාලෝ ෆොන්සේකා කිසි දෙයක් නොදැන කෑ ගහන ඉන්ද්‍රිය ගෝචර යන්න බටහිර විද්‍යාවේ මූලික ම අදහස් වන කාලයට හා අවකාශයට යොදා ගන්න බැහැ. බටහිර විද්‍යාව පිළිබඳ විවාදයකට එළඹෙන ලෙස මා කාලෝට කිහිප වරක් ම ආරාධනය කර ඇති නමුත් ඔහු එයට එකඟ වන්නේ නැහැ.



බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අදහස් අයින්ස්ටයින් සමග බිඳ වැටෙන්න පටන් ගත්තා. අයින්ස්ටයින්ට අනුව කාලය හා අවකාශය ඊනියා වාස්තවික සංකල්ප නො වෙයි. ඒවා සාපේක්‍ෂයි. මෙහි එක්තරා විධියක බොරුවක් තියෙනවා. මට හැඟෙන ආකාරයට බටහිර නූතනත්වය කඩා වැටෙන්න පටන් ගත්තෙ නිව්ටන් අවකල සමීකරණ (අවකලනය) බටහිර භෞතික විිද්‍යාවෙ යොදා ගැනීමත් සමග. අවකල සමීකරණයක විසඳුම නිශ්චිත නැහැ. අවකල සමීකරණයක් වීජීය සමීකරණයක් වගේ නො වෙයි. x +5 =7 සමීකරණයට නිශ්චිත විසඳූමක් තියෙනවා. ඒ x=2. මේ ඊනියා නිශ්චිත විසඳුම් ද මිනිසුන්ගේ නිර්මාණ! වර්ගජ සමීකරණයකට විසඳුම් දෙකක් තියෙනවා. ඒවාත් නිශ්චිත විසඳුම්. අනෙක් වීජීය සමීකරණවලටත් නිශ්චිත විසඳුම් තියෙනවා.



එහෙත් අවකල සමීකරණ  විසඳූ විට අභිමත නියත ලැබෙනවා. ඒ වගේ ම අනුකලනය කළාමත් අභිමත නියත ලැබෙනවා. දැන් මේ අභිමත නියත සොයා ගන්න ඕන. අවකල සමීකරණ නූගත් අයට මේ කතාව ටිකක් අමාරු වේවි. දන්නා අයකුගෙන් අසා දැන ගන්න කියා ආරාධනය කරනවා.



මේ අභිමත නියත සමග බටහිර විද්‍යාවේ ඊනියා නිශ්චිත බව කඩා වැටිණිය යන්න මගේ අදහසයි. අභිමත නියත සොයා ගැනීමට නිරීක්‍ෂණ යොදා ගන්න ඕන. ඒ කියන්නෙ අහවල් වෙලාවෙ අංශුවක් තිබුණෙ කොතැන ද ආදී වශයෙන්. අංශුවක් තියෙන තැන ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙනවා. බටහිර විද්‍යාවෙ නිශ්චිත විසඳුම් ඇතැයි කියන අදහස කඩා වැටෙන්න පටන් අරන් සියවස් තුන්සීයකට වැඩියි. එහෙත් සාපේක්‍ෂ යන්න නිරපේක්‍ෂ අදහසක් දෙන විධියට එංගලන්තය අපට ඉගැන්නුව. අප ඒ ගැන වැඩි තැකීමක් කෙළේ නැහැ.