History

Saturday, 30 March 2019

නූතනත්වයේ හරය


නූතනත්වයේ හරය



විසිවැනි සියවස ආරම්භයේ සිට ම වගේ බටහිර නූතනත්වයේ පරිවාර අදහස් කඩා වැටෙන්න පටන් ගත්ත. පරිවාර අදහස් කීවාට ඒව වාටියෙ (පරිධියෙ) අදහස් නොවෙයි. ඒවත් වැදගත්. ඒත් හරය ම නො වෙයි. නිශ්චිතභාවය, හේතුවාදය, ඌනිතවාදය, නිරපේක්‍ෂතාව, වාස්තවිකත්වය, යථාර්ථය ආදී අදහස් ප්‍රශ්න කෙරෙන්න පටන් ගත්ත. එහෙත් එයටත් කලින් පශ්චාත්නූතන කියන වචන පාවිච්චි වුණා. විශේෂයෙන් ම චිත්‍රකලාවෙ නූතනත්වය පන්නපු චිත්‍ර ගැන කතා කෙරුණා. චිත්‍රකලාවෙන් පස්සෙ බටහිර විද්‍යාවෙ තමයි නූතනත්ව අදහස් ප්‍රශ්න කෙරුණෙ.




ඒත් බටහිර විද්‍යාවෙ නූතනත්වය වගේ වචන භාවිතා වුණෙ නැහැ. එහි නූතනත්ව අදහස් කඩා වැටෙන්න පටන් ගත්තත් අලුත් අදහසුත් ඊනියා නූතනත්ව අදහස් හැටියටමයි සැලකුණෙ. අනෙක් අතට ඒ කඩා වැටීම කඩා වැටීමක් ලෙසත් සැලකුණෙ නැහැ.  අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාව වගේ ම ක්වොන්ටම් භෞතිකයත් නිව්ටන්ගෙ නූතනත්ව විද්‍යාවට පටහැණියි. එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ සැලකුවෙ ඊනියා නූතනත්වය ඉදිරියට යෑමක් ලෙසයි.



ක්වොන්ටම් භෞතිකයෙන් යථාර්ථය ප්‍රශ්න කෙරුණත් අයින්ස්ටයින් වැන්නන් සිතුයේ ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ පද්ධතියක් ලෙසයි. ඔහු බලාපොරොත්තු වූයේ ක්වොන්ටම් භෞතිකය සම්පූර්ණ කෙරී යථාර්ථය තහවුරු වේ ය කියායි. එහෙත් බෙල්ගේ අසමානතා පිළිබඳ පරීක්‍ෂණවලින් යථාර්ථය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න සිද්ධ වුණා. ඒ කෙසේ වුවත් ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ සමාජයීය විද්‍යාවන්හි පශ්චාත්නූතනවාදය පශ්චාත්නූතනත්වය වගේ අදහස් හඳුන්වා දෙනු ලැබුවා. මේ අදහස්වලටත් විසිවැනි සියවසට පෙර ඉතිහාසයක් තිබුණු බවයි කියැවෙන්නෙ.



මා නම් හිතන්නෙ බටහිර විද්‍යාවෙ නිශ්චිතභාවය කඩා වැටෙන්න පටන් ගත්තෙ නිව්ටන් අවකලනය හා අනුකලනය තම විද්‍යාවෙ යොදා ගත්ත දවසෙ ඉඳන් ම කියල. ඒත් නිව්ටන්ගෙ ඉඳන් විසිවැනි සියවසේ අයින්ස්ටයින්, බෝර්, හයිසන්බර්ග්, බෙල්, වීලර් ආදීන් දක්වා කිසිවකු බටහිර විද්‍යාවෙ කඩා වැටීමක් දැක්කෙ නැහැ. එහෙත් බටහිර දර්ශනයෙහි ෆූකෝ, ඩෙරීඩා, ආදීන් මෙන් ම බටහිර සාහිත්‍යයෙහි කෆ්කා, කුන්දේරා ආදීන් නූතනත්ව අදහස්වල කඩා වැටීමක් දැක්කා.  මෙයට හේතුව කුමක් ද? බටහිර කිසිම අයකු ඒ ප්‍රශ්නය අසා ඇති බවක් මා දන්නේ නැහැ. එසේ අසා ඇත්නම් ඒ දැන ගැනීමට මා කැමතියි. මෙරට ඉන්නා පඬියන් නම් එවැනි ප්‍රශ්න හිතන්නෙවත් නැහැ. ඔවුන් දන්නෙ බටහිර පොතක තියෙන දෙයක් තමන්ට හැකි විධියට තේරුම් අරන් ඒක සිංහලෙන් කියන එක පමණයි. ඔවුන්ට වෙනත් දෙයක් නැත්නම් නිව්ටන්ගෙ ඔළුවට වැටුණු ඇපල් ගෙඩියේ වර්ගය ජුලී ද ගෝල්ඩන් ඩිලීෂස් ද, රෙඩ් ඩිලීෂස් ද ග්‍රැනි ස්මිත් ද එහෙමත් නැත්නම් කර්තකොලම්බ ද කියල හොයල බලන්න ගවේෂණයක් කරන්න පුළුවන්.

 

බටහිර විද්‍යාඥයන් හා බටහිර අනෙක් බුද්ධිමතුන් එසේ දෙවිධියකට හිතන්නේ ම නූතනත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි මට නම් හිතෙන්නෙ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ප්‍රධාන ලක්‍ෂණයක් වන්නෙ පෞද්ගලිකත්වය හා වෙන් කිරීම. කතෝලික චින්තනයේ ප්‍රධාන ලක්‍ෂණයක් වුණෙත් සාමූහිකත්වය. අවශ්‍ය නම් සාමූහික විඥානය කියන්න පුළුවන්. එහෙත් සාමූහික විඥානය එතරම් හොඳ සංකල්පයක් නොවෙයි. සාමූහිකත්වය සිංහල බෞද්ධ සංස්කෘතියෙ පමණක් ලක්‍ෂණයක් නො වෙයි. ඒ තේරුම් ගන්න චින්තනය කියන සංකල්පය අවශ්‍ය වෙනවා.

.

සාමූහිකත්වය කතෝලික චින්තනයෙත් තියෙනවා.  කතෝලික කියන වචනයෙ  තේරුම ම සාමූහිකත්වය කියන එක. මා මේ ගැන අවුරුදු විසිපහකට වැඩිය ලියල තියෙනවා. ඒත් මගෙන් ඉගෙන ගත්ත කියන පඬියන් හා පඬිපෝතකයන් ඒ කිසිවක් දන්නෙ නැහැ. ඊනියා සාමූහික විඥානයක්, සාමූහිකත්වයක් ගැන වෙනත් අයකු ලියපු ගමන් ඔවුන් ඒ අලුත් අදහසක් ලෙස ගෙන විචාර ලියනවා. මාක්ස්වාදයෙත් සාමූහිකත්වය තියෙනවා. එහි ඊනියා සමාජවාදය පදනම් වෙලා තියෙන්නෙ මේ සාමූහිකත්වය ගැන කතා කරන කතෝලික චින්තනයෙ. මාක්ස්වාදයෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් ගත්ත අදහසුත් තියෙනවා. එය දෙමුහුන් නැත්නම් දෙබිඩි දැනුම් පද්ධතියක්.



බටහිර විද්‍යාඥයන් පොදුවේ ගත් කල බටහිර නූතනත්වයෙ කඩා වැටීමක් දකින්නෙ නැත්තෙත් බටහිර සමාජයීය විද්‍යාඥයන් එහි කඩා වැටීමක්, ඇත්තට ම අවසානයක් දකින්නෙත් පෞද්ගලිකත්වය හා වෙන් කිරීම නූතනත්වයෙ ප්‍රධාන ලක්‍ෂණයක් බව සමාජයීය විද්‍යාඥයන් තේරුම් නොගන්න නිසා. බටහිර විද්‍යාඥයන් ඊනියා නූතනත්ව සංකල්පයක් මත පදනම් නොවුණත් ඔවුන් දන්නවා වෙන් කිරීම වැදගත් බව. අද බටහිර විද්‍යාව ශුද්‍ර පද්ධතීන්ට බෙදෙනවා. ඔවුන් නිකමට මෙන් මේ පද්ධතීන් අතර අන්‍යොන්‍ය  සම්බන්ධයක් ගැන කියනවා. එහෙත් එන්න එන්න දැනුම ශුද්‍ර නැත්නම් කුඩා දැනුම් පද්ධතිවලට බෙදෙනවා. බටහිර විද්‍යාඥයන් එයට අකමැත්තක් නැහැ. අද බටහිර විද්‍යාවෙ කුඩා ක්‍ෂෙත්‍රවලට විශේෂඥයන් ඉන්නවා.



බටහිර සමාජයීය විදාඥයන්ට හා මානව ශාස්ත්‍රඥයන්ට මේ වෙන් කිරීම හොඳින් ම තේරෙනවා. කුන්දේරා තම ආර්ට් ඔෆ් ද නවල් කෘතියෙන් කියන්නේ නවකතාව ඊනියා සමාජය නිරූපණය කිරීමෙන් වෙන් විය යුතුය කියා. ඔහුට අනුව බටහිර සමාජ විද්‍යාව තියෙන්නෙ සමාජය අධ්‍යයනය කරන්න. නවකතාව භාෂාව යොදා ගන්නේ කෙසේ ද වැනි ක්‍ෂෙත්‍රවලට සීමා වෙන්න ඕන. එවිට නවකතාවෙන් ඊනියා සමාජ යථාර්ථය නිරූපණය වෙනවා වගේ කතා අවලංගු වෙනවා. බටහිර සමාජ විද්‍යාව ආරම්භ කළ දවස්වල නවකතාව තියෙද්දි සමාජ විද්‍යාවක් මොනවට ද කියලා ඇතැමුන් (ලංකාවෙ පඬියන් නො වෙයි) ඇහුව. අද සමාජ විද්‍යාව සමාජ අධ්‍යනය තනි බුත්තියට අරගෙන. නවකතාවට දැන් සමාජ අධ්‍යයනයෙන් වෙන් වෙන්න සිදු වෙලා. ඒක තමයි නූතනත්වය. කුන්දේරාලා මොන කතා කීවත් අවිඥානික ව ඉන්නෙ නූතනත්වයෙ. ඔවුන් එයට අනුග්‍රහයත් දක්වනවා.



යථාර්ථය කියන එක කොහොමටත් වලංගු නොවන නිසා නවකතාවෙ අද්භූතවාදී යථාර්ථය වගේ විවිධ යථාර්ථවාද ගැන  සාහිත්‍යයෙ කතා වෙන්නෙ. ඒ වගේ ම ෆැන්ටසි කතාත් අපට අහන්න ලැබෙන්නෙ. බටහිර නූතනත්වයෙ හරය ම නොවන දේ ප්‍රශ්න කෙරුණත් පෞද්ගලිකත්වය වෙන් කිරීම ආදිය අද දිගට ම කෙරී ගෙන යනවා. අද බොහෝ තරුණ තරුණියන් සාමූහිකත්වයෙන් වෙන් වෙලා තනිව ස්මාට් ෆෝන්වලට කොටන්නෙ සමාජය නූතනත්වයෙ ඉදිරියට යන නිසා. ඊනියා පශ්චාත්නූතනවාදීන් ඩෙරීඩාගෙ විසංයෝජනය වගේ අදහස් පශ්චාත්නූතනවාදී ලෙස දකින්නෙ නූතනත්වයෙ හරය දන්නෙ නැති නිසා. කොහොමත් විසංයෝජනය කියන්නෙත් තවත් සංයෝජනයක් පමණයි.