History

Wednesday, 17 April 2019

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිද්ධාර්ථ කුමාරයා ලංකාවෙ උපන්නා කියන එකට හරි හමන් සාධකයක් නැහැ. ඒත් ථෙරවාද බුදුදහම යම් ආකාරයකින්  ආරක්‍ෂා කර ගත්තෙ නම් සිංහල බෞද්ධයො. ඒකට මහාවිහාරෙන් ලැබුණු අනුග්‍රහය හේතු වුණා. එහෙම වුණත් සිංහල බුද්ධාගමේ (සිංහල බෞද්ධ සංස්කෘතියේ) වෛදික බලපෑම් වගේ ම ඇතැමකු අකමැති වුණත් යක්‍ෂ නාග ආභාසත් තියෙනවා. සිංහල දවුරුද්ද යක්‍ෂ නාග බලපෑම මත ථෙරවාද බෞද්ධ සංස්කෘතිය අතුරපු එකක් ලෙසයි මට පෙනෙන්නෙ.


සිංහල අවුරුද්ද ශක වර්ෂයත් සමග බැඳුණු පමණින් අපට කියන්න බැහැ සිංහල අවුරුද්ද උත්තර භාරතයෙන් ලැබුණු එකක් කියලා. ශාලිවාහන රජු නාස්තික ශ්‍රමණ ආගමකට අයත් බව කියැවෙනවා. නාස්තික යන්න ජෛනයන්ට වඩා බෞද්ධයන්ට සම්බන්ධයි. ඇතැම් වෛදිකයන් බුදුදහම නාස්තික දහමක් ලෙස සැලකුව. ඒ නිවන ශූන්‍යය සම්මාබෝධ කරන්නේ ය යන අරුතින් (මෙහි සම්මාබෝධය යන්න මාගේ වචනයක් බවත් වෛදිකයන් එවැන්නක් යොදා නොගත් බවත් සලකන්න. නිවන් අවබෝධ කළ හැකියැයි මා සිතන්නේ නැහැ. දර්ශනය නම් අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධය හා සම්මාබෝධය දෙකක් ලෙසයි මා සලකන්නේ. නිවන සංකල්පයක් නො වෙයි. බුදුහාමුදුරුවන්ට තිබුණු ප්‍රශ්නය මේ සංකල්ප නොවන අනිර්වාචික නිවන ශූන්‍යය අනිත්‍ය දුක්ඛ අනාත්ම වචනයෙන් ප්‍රකාශ කිරීම යන්න යැයි මගේ අවබෝධයයි. අවබෝධය යනු සම්මාබෝධයක් නම් නො වෙයි. අපි පසුව ඒ ගැන තවදුරටත් කතා කරමු. සහම්පති මහා බ්‍රහ්මයාට ධර්මය දේශනා කරන්නට බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්න වූ බව අමතක කරන්න එපා. බුදුහාමුදුරුවන් සම්මා, සම්‍යක් වැනි වදන් යොදා ගත්තේ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසය යන්න මගේ වැටහීීමයි).

ශක රජවරුන් ථෙරවාදීන් බවට මතයක් තියෙනවා. ථෙරවාද සිංහල කුමාරිකාවක් ශක රජුගේ භාර්යාව වූ බව කියැවෙනවා. මගේ හිතළුව (කාගෙ කාගෙත් තියෙන්නෙ හිතළු) ශක රජු අවුරුද්ද ආරම්භ කෙළේ සිංහල බෞද්ධ බලපෑමෙන් බවයි. අවුරුද්දට ශක කියන නම යොදා ගැනීම ඔහුගේ වැඩක්. සිංහල අවුරුද්ද සූර්යයා සමග මිස චන්ද්‍රයා සමග සම්බන්ධ දෙයක් නො වෙයි. පැරණි හෙළයන් සූර්යයා අනුව ගියවුන්. හෙළ යන්න හීලියොස් සමගත් සම්බන්ධයි. හීලියොස් කියන්නෙ ග්‍රීකයන්ගෙ සුළු දෙවියකුට ඒ සූර්ය දෙවි. හීලියොස් ප්‍රධාන දෙවියකු වුණෙ රෝමයන් ඒ දෙවියන් තම සංස්කෘතියට අවශෝෂණය කර ගත්තට පස්සෙ. හීලියම් කියන මූල ද්‍රව්‍ය මුලින්ම දැක්කෙ සූර්යයාගෙ. එය හීලියම් ලෙස නම් කෙරුණෙත් ඒ නිසා. 

කොහොමටත් සිංහල අවුරුදු දා අවුරුද්ද ලබන්නෙ ථෙරවාදී බෞද්ධ රටවල. දෙමළ කතා කරන ජනයාගේ අවුරුද්ද තෛපොංගල් දින ආරම්භ වන්නෙ. ඔවුනුත් උත්තර භාරතයෙ බලපෑම නිසා සමහර තැන්වල අප්‍රේල් මස අවුරුද්ද පටන් ගන්න දිනය ලෙස සලකනවා. මේ පිළිබඳ ප්‍රශ්නයක් වසර කිහිපයකට උඩදි තමිල්නාඩුවෙ දේශපාලන ප්‍රශ්නයක් වුණා. අවුරුද්ද පටන් ගන්නෙ අප්රේල් ද ජනවාරි (තෛපොංගල් දින) ද කියා. දෙමළ කතා කරන ජනයාට අවුරුදු තුනක් ලබනවා වෙන්න පුළුවන්. එකක් තෛපොංගල්, එකක් ජනවාරි පළමුවැනි දා අනෙක අප්‍රේල් 13, 14. ඔවුන් අවුරුද්දක් ලෙස සලකල උත්සව පවත්වන්නෙ ඉන් කවදා ද? සිංහලයන් අවුරුද්ද ලෙස උත්සව පවත්වන්නෙ ජනවාරි පළමුවැනි දා ද නැත්නම් අප්‍රේල් 13, 14

මා මේ ගැන මෙතරම් ලියන්නෙ සිංහල උගතුන් තමන්ගෙ මුත්තලාගේ නිර්මාණත් තමන්ට අහිමි කර ගැනීමට දඟලන නිසා. අපට පුරුදු වෙලා තියෙන්නෙ හැම දෙයක් ම භාරතයෙන් හරි බටහිරින් හරි ලැබුණ කියල හිතන්න. සිංහල අලුත් අවුරුද්ද දෙමළ කතා කරන ජනයා පමණක් නො වෙයි උතුරු ඇමෙරිකානුවන් පැවැත්වුවත් මට ප්‍රශ්නයක් නැහැ. එහෙත් එය සිංහල ඇමරිකන් අවුරුද්ද කියල හඳුන්වනවා ට මා කැමති නැහැ.  අද ඊනියා උගතුන්ගෙ කටේ තියෙන්නෙ සිංහල දමිළ අවුරුද්ද. 

අප මහාරාෂ්ට්‍රය සමග ඇති සම්බන්ධකම් සොයා බලා නැහැ. මට හිතෙන්නෙ ඒ ප්‍රදේශයේත් සූර්යයා අනුව තම සංස්කෘතිය සකස් කර ගත් අය සිටියා/සිටිනවා කියා. ආදිත්‍යලා එහෙ ඉන්නවා. ආදිත්‍ය කියන්නෙ හිරුට. ඇතැමුන් කියන විධියට ශාලිවාහන රජු වික්‍රමාදිත්‍ය රජුගේ මුණුබුරෙක්. තවත් අයට අනුව ඔවුන් දෙදෙනා සතුරන්. අපට වංගයන් හා කාලිංගයන් සමග දැඩි සම්බන්ධයක් තියෙනවා. අප ඒ ගැන දන්නවා. ඒත් භාරතයේ බටහිර වෙරළ සමග ඇති සම්බන්ධකම් අමතක කරනවා.

අද වංගයන් ආර්යයන් ලෙසත් කාලිංගයන් ද්‍රවිඩයන් ලෙසත් සැලකෙනවා. මෙය අර්ථවත් බෙදීමක් නො වෙයි. වංගය අද බෙංගාලය වෙලා. ව, බ අකුරු මාරුවෙනවා. විමල් බිමල් සලකා බලන්න. කාලිංගය ඔඩෙස්සා වෙලා. එකල වංගයන් හා කාලිංගයන් නෑදෑයන්. සුප්පා දේවිය වගු රජුගේ දියණිය. ඇය සිංහ වාංශිකයකු සමග ගියා. සිංහබාහු සිංහගෙන් ගැලවී ආපසු ගියේ කළිඟු රටට. එහි රජ ව හිටියේ සුප්පා දේවිගේ මස්සිනා. කළිඟු රජු සුප්පා දේවි විවාහ කර ගත්තා. සිංහලයන්ගේ හා බෙංගාල ජනයාගේ ජාන අතර සම්බන්ධයක් තියෙනවා. විශාල වශයෙන් වංග කාලිංග සංක්‍රමණයක් අවුරුදු දෙදහස් පනසීයකට පමණ පෙර සිදුවන්න ඇති. එමෙන් ම  භාරතයේ බටහිර වෙරළෙන් ද මෙරටට සංක්‍රමණය වී ඇති බව පේනවා. විජයගේ නැව බටහිර වෙරළේ භාරුකච්චා වරායේ කරක් ගැසී යැයි කියන්නේ අහවල් දේකට දමිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කෙළේ භාරුකච්චා තොටුපොළෙන් බවටද මතයක් තියෙනවා. වංගය ආර්ය වී ඇත්තේ වංගයන් මුල දී ම ආර්ය සංස්කෘතිය අවශෝෂණය කර ගත් නිසා. ද්‍රවිඩ යන්නෙහි තේරුම දකුණ යන්නයි. දකුණට ආර්ය සංස්කෘතිය මිශ්‍ර වී ඇත්තේ කාලයකට පසුවයි. භාරතයේ දකුණට ආර්ය සංස්කෘතිය ලැබෙන්න පෙර සිංහලයන්ට ලැබුණා.

වංගය හා කාලිංගය තරමට ම නැති වුණත් අපට මහාරාෂ්ට්‍ර හා භාරතයේ බටහිර වෙරළ සමග සම්බන්ධකම් තියෙනවා. සිංහල අවුරුද්ද හා ශක වර්ෂය අතර සම්බන්ධය ඒ ඔස්සේ ලබා ගත යුතුයි. ශක වර්ෂ ක්‍රමය භාව්තා කළ පමණින් සිංහල අවුරුද්ද ශක රජුගෙන් ලැබුණු එකක් ලෙස සලකන්න බැහැ. ශක වර්ෂ පටන් ගන්න අවධිය වන විටත් සිංහල අවුරුද්ද සිංහල ථෙරවාද අවුරුද්දක් වී තිබෙන බව පේන්න තියෙන්නෙ. සිංහල අවුරුද්ද ථෙරවාද රටවල සැමරීම එයට සාක්‍ෂියක්.