History

Thursday, 18 April 2019

අවුරුද්ද ගැන තවදුරටත්

අවුරුද්ද ගැන තවදුරටත්

සිංහල අවුරුද්ද ගැන මට ඇත්තේ තරමක ආඩම්බරයක්. එය හෙළයන් ලෝකයට දුන් දෙයක් ලෙසයි මා සලකන්නෙ. අප අදත් එය පවත්වාගෙන යනවා. දේශපාලනඥයන්ට, රනිල්ට පවා තම ජීවිතයට සම්බන්ධකමක් නැති අවුරුදු සිරිත් විරිත් පැවැත්වීමට සිදු  වී ඇත්තේ අවුරුද්ද සිංහලයන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් නිසයි. එය සිංහලයන්ගේ ඇඟේ තියෙනවා. එහෙත් අද ලෝකයේ ඇතැම් රටවල නායකයන් ඒ රටවල ඉන්න දෙමළ කතාකරන ජනයාගේ කතා විශ්වාස කර සිංහල අලුත් අවුරුද්ද දෙමළ අවුරුද්දක් කර තිබෙනවා. එයට වග කියන්න ඕන අවුරුද්ද සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් කරපු ඉංගිරිසිනුත් එය සිංහල හා දමිළ අවුරුද්දක් කරපු නිවට ඊනියා උගතුනුත්. සිංහල අවුරුද්ද පටන්ගෙන ඇත්තේ හෙළයන්. ඒ හෙළයන් ද දෙමළ කිරීමේ වැයමක් ඊනියා ජාතිකවාදී යැයි කියන පුරාවිද්‍යාඥයන් සතුයි.


කෙසේ වෙතත් හෙළයන් හිරු අනුගමනය කළ අය. අද පඬියන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා සූර්ය වන්දනාව. පඬියන් කරන්නේ විද්‍යා වන්දනාව. කළු කුහරයක සාදා ගත් පින්තූරයක් ඔවුන්ට කළු කුහරයක ඡායාරූපයක්. කළු කුහරයක් වටා අවකාශ කාලය දෙන්නේ කර් (Kerr) අවකාශ කාලයෙහි. කර් අවකාශයෙහි කාල සමාන භූමිතිකවල (Time Like Geodesics)  සමීකරණ මා කලින් දිනක දැක්වූ මගේ නේචර් සඟරාවේ (1971) පත්‍රිකාවක ඇති. ඒ භූමිතිකවලින් ලබා ගන්න පුළුවන් එක නිගමනයක් තමයි කාලය මායාවක් කියන එක. පසුව අපි එය වැඩි දුරටත් සාකච්ඡා කරමු. 

පඬියන් විද්‍යාවට වඳින්නේ අඩු තරමින් විද්‍යාවේ කපු මහත්වරුන් වූ විද්‍යාඥයන් දැකවත් නො වේ. ලංකාවේ විද්‍යාඥයන් නැහැ. ලංකාවේ ඊනියා විද්‍යාඥයන් අර ඩ්‍රීම් ස්ටාර්ලා වගේ. ඔවුන් ගයන්නේ අනුන්ගේ ගීත. වැඩ කරන්නේ විිද්‍යාවේ වාටියේ. මා විද්‍යාඥයකුවත් දාර්ශනිකයකුවත් නොවෙයි. මා සිංහල බෞද්ධයෙක්.  අඩු තරමෙන් ලංකාවේ දේවාලවල කපු මහත්තුරු ඉන්නවා. දේවාල කියන්නේ කෝවිල් නොවන බව පමණක් මතක තබා ගන්න. දේවාල අපට උරුම වන්නේ යක්‍ෂ ජනතාවගෙන්. ගැමුණු කුමරුත් මහසෙන් දෙවොලට ගියා.

හෙළ සංස්කෘතියට වෛදීක සංස්කෘතියත් මිශ්‍ර වී තියෙනවා. අද වන විට බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ බටහිර අංගත් එකතු වී තියෙනවා. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් ලැබෙන්නේ ඒ ආධිපත්‍යයෙන්. ඒ ක්‍රිස්තියානි අවුරුද්දක්. සිංහල කතෝලිකයන්ට හෙළ උරුමයත් තියෙනචා. සිංහල අවුරුද්දට බුදුදහමින් එකතු වූ අංගත් තියෙනවා. ඒ නිසා කතෝලිකයන් සිංහල අවුරුද්ද සමරන්න ඕන නැහැ කියල කවුරු හරි කියනව නම් එතැන තියෙන්නෙ මොකක් ද කියල ප්‍රශ්න කරන්න වෙනවා. ඔවුන්ට හෙළ උරුමයක් නැද්ද? කෝ අර සංහිඳියාව. මෙය ඊනියා සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියන්න. එහෙත් වත්මන් බටහිර නූතනත්ව සංස්කෘතිය කතෝලික නොවන බව බොහෝ කතෝලිකයන් නොදන්නවා වෙන්න පුළුවන්.

සිංහල අවුරුද්ද ගැන ප්‍රශ්න තියෙනවා. මා නැහැ කියන්නේ නැහැ. සමහර ප්‍රශ්න මා කලින් කල සාකච්ඡා කර තියෙනවා. බටහිර තාරකා විද්‍යාවට සාපේක්‍ෂව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ අද වගේ දවසක. ඒ කියන්නේ අප්රේල් දහඅටවැනිදා පමණ. එහෙමත් නැත්නම් අටළොස්වැනි දා. දෙවැනි දශකයෙහි සංඛ්‍යා එකොළොහ දොළහ ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඇයි. පහළොව, සොළොස ආදී වශයෙනුත් කියන්න පුළුවන්. ඒ කොහොම වුණත් අප අවුරුද්ද දහතුන දහහතර ලෙස ගන්නේ ඇයි. 

සූර්යයා ක්‍රාන්ති වලයය (ecliptic) දිගේ ගමනේ උතුරට යන්නේ මාර්තු 21 වැනි දා. එක්තරා වකවානුවක සූර්යයා  මීනයෙන් මේෂයට ගියෙත් මාර්තු 21. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව මේෂ සංක්‍රාන්තිය  අවුරුදු හැත්තෑතුනකට එක දවසක් පමණ ඉදිරියට යනවා. මාර්තු 21 සිට අප්රේල් 18 වැනි දාට දින 28ක් තියෙනවා. දින 28ක් ඉදිරියට යන්න දළ වශයෙන් අවුරුදු 2000ක් පමණ යනවා. සමහර විට ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණෙ සූර්යයා මාර්තු 21 දින මේෂ රාශියට සංක්‍රමණය වූ දවස්වල වෙන්න පුළුවන්. මේ ගණිතය අමාරු නැහැ. කවුරු හරි ඒ ගණනය කරනවා නම් හොඳයි. විෂු කියන්නෙ සමාන කියන එක. මාර්තු 21 සූර්යයා උත්තරාර්ධයට යන දවස. එහි විවිධ සමානකම් තියෙනවා. විෂු ඇරඹිල තියෙන්නෙ ක්‍රිස්තු වර්ෂයෙන් 78 දි කියනවා. ඒ දිනවලත් අලුත් අවුරුද්දෙ සූර්යයා මීනයෙන් මේෂයට ගිහින් තියෙනවා. 

වුෂු වැඩිය තියෙන්නෙ කේරළයෙ. එහෙත් එහි අලුත් අවුරුද්ද වුෂු නො වෙයි. සමහර පළාත්වල වුෂු අවුරුද්ද වුණත් මලයාලම් අවුරුද්ද ලබන්නෙ අගෝස්තුවෙ. මෙවර එය අගෝස්තු 19. එදින පටන් ගන්නෙ චින්ගම් මාසය. අවශ්‍ය නම් නිකිණි මාසය කියන්න පුළුවන්. එදින සුර්යයා කටකයෙන් සිංහයට යන දවස. 

අප අප්රේල් 18 නැතිව මේ දවස්වල 13, 14 අවුරුද්ද සමරන්නෙ මොක ද? මේ ප්‍රශ්නයත් මා කලින් සාකච්ඡා කරල තියෙනවා. හෙළයන් තමයි නැකැත් (නකත්) පටන් ගත්තෙ. එය නක්‍ෂත්‍ර කියන සංස්කෘත වචනයෙන් බිඳුණු එකක් නොවෙයි. නක්‍ෂත්‍ර, නකත්වල සංස්කෘතකරණය. නක්‍ෂත්‍ර කියන එකට සංස්කෘතයෙන් නිරුක්ති නැහැ. මූලාශ්‍ර අවශ්‍ය නම් සංස්කෘත උගතකුගෙන් අහන්න. 

සිංහල ක්‍රමය අනුව අවුරුද්ද පටන් ගන්නෙ රේවති නැකතෙන් අස්විද නැකතට සූර්යයා යන දවසෙ කියන එකයි මගේ හිතළුව. පඬියන්ට තියෙන්නෙ වෙන අයගෙ හිතළු. අස්විද නැකත පටන් ගන්නෙ මේෂ රාශිය පටන් ගන්න තැන නො වෙයි. මේෂය පටන් ගන්නෙ අස්විද නැකතෙ දෙවැනි පාදයෙ විතර. සූර්යයා අස්විද නැකතට අප්රේල් දහතුන දහහතර යනවා. අහස නැකැත් 27කටත් රාශි දොළහකටත් බෙදල තියෙන්නෙ. අහස නකත් විසිහතකට බෙදුවෙ හෙළයන්. නක නාගයන්ට සම්බන්ධයන්. ඔවුන් වෙළෙන්දන්. ඔවුන්ට නාවික කටයුතු සඳහා අහස අවශ්‍ය වුණා. දැන් කියන්න නාග කියන්නෙ දෙමළ කියල. ඇසෑමෙයේත් නාගයන් ඉන්න බව අමතක කරන්න එපා. ඔවුනුත් දෙමළ ද? 

එක නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අහස පාද වශයෙන් ගත්තොත් එකසිය අටකට බෙදල තියෙනවා. මේ දොළහෙ ගුණාකාරයක්. සිංහල සංඛ්‍යාවල පදනම 12. මූලාශ්‍ර අවශ්‍ය නම් මාලදිවයිනට යන්න. එහෙ එකල හිටියෙ සිංහලයන්. 

සූර්යයාට පාද එකසිය අටක් යන්න දින 365ක් යනව නම් දින හතරකදි පාද කීයකින් යනව ද?  දළ වශයෙන් පාද එකක් හා ටිකක්. මා විශ්වාස කරන්නේ මේෂ රාශියෙ ආරම්භය අස්විද නැකතෙ දෙවැනි පාදයෙ තියෙනවා කියලා. අප්රේල් 18වැනි දා සූර්යයා අස්විද නකතෙ දෙවැනි පාදයෙ. සූර්යයා අස්විද නකතට යන්නෙ අප්රේල් 13 14 දවස්වල. අප සිංහල අවුරුද්ද ගන්නෙ සූර්යයා අස්විද නකතට යන විට. අර බැබිලෝනියාවෙන් ලැබුණු රාශි අපේ නකත් සමග එකතු කරන්න ගිහින් පටලැවිල්ලක් නිසා අප සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කතා කරනවා. මේ මගේ හිතළුව. මෙහි ගණනය දළ වශයෙන්. පඬියකු නොවන කාට හරි ඒ ගණනය ශුද්ධ කරන්න පුළුවන්. පඬියන්ට වාටියෙ ඉඳිමින් අනුන්ගෙ ගීත ගයන්න හරි කියන්න හරි පුළුවන්.