History

Saturday, 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.


බිජය සිංහට රජකම අයිති වේ යැයි සිතූ ප්‍රධාන බිසව (අග බිසව) බිජය සිංහ හා ඔහුගේ බිරිය මරා දැමීමට කුමන්ත්‍රණය කර තිබෙනවා. මේ කුමන්ත්‍රණය බිජය සිංහගේ ඔත්තුකරුවනට (බුද්ධි අංශයට!) දැන ගන්නට ලැබී කුමරු බිරිඳ හා හත්සියයක පිරිසක් භාර්යාවන් හා දරුවන් ද නැව් හතක නැගී තාම්රලිප්තයෙන් පිටවී ගොස්.

කුණාටුවකට හසු වූ නැව් ලංකාවට පැමිණ තියෙනවා. දිවයිනෙහි සිටි ආදිබාසීන් බිජය සිංහට හා පිරිසට ඇඳුම් ආහාර හා නවාතැන් දී තිබෙනවා. ආපසු ගම් රටවල් බලා යෑමේ අවස්ථාවක් නැති බිජය සිංහ හා පිරිස ලංකාවේ ම නැවතිලා. කාලය දවස්බවටත් දවස් වර්ෂබවටත් පත් වීමෙන් පසු ලංකාවෙහි සිටි පිරිස බිජය සිංහට රටේ රජු වන ලෙස ආරාධනය කරලා. බිජය සිංහ ඒ පිළිගෙන ලංකාවේ රජු වෙලා. බෙංගාල ජනප්‍රවාදයට අනුව ලංකාව ප්‍රායෝගික ව බෙංගාලයේ කොටසක් බවට පත්වෙලා

මේ වංග ජනප්‍රවාදය මහාවංස කතාවට සමහර කරුණු අතින් සමාන වෙනවා. තවත් සමහර කරුණු වෙනස්. වංගයන් අපට වඩා ව යන්න බ යන්න බවට පත් කරනවා. බිජය කියන්නේ විජයට. ආදිබාසි කියන්නේ ආදිවාසි කියන එකයි. අපෙත් විමල්ලා බිමල්ලා වෙනවා. අනෙක් පැත්තට දුර්බල දුර්වල වෙලා. විජය සිංහගේ පියා සිංහබාහු බවක් මෙහි කියැවෙන්නේ නැහැ. එහෙත් සිංහබාහු සිටි බවට කොල්කතාව අස සාක්‍ෂි හමු වී තිබෙනවා. වංග කතාවට අනුව විජය රජු අග බිසවගේ පුතකු නොවෙයි.  අපේ කතාවේ සිංහබාහු සිංහයා මරනවා. වංග හෙවත් බංග (බෙංගාල) කතාවේ විජයට සිංහයකු මරා දැමීමේ හැකියාව තිබුණා. 

අප තම්බපණ්නි යන්නට විජය හා පිරිස වෙරළේ තැබූ අත් තඹ පාට ගැන්විණි ය කියා අරුත් කියනවා. එහෙත් වංග කතාවේ කියැවෙන පරිදි විජය තාම්රලිප්තයෙන් පැමිණි නිසා මේ දිවයින තාම්රලිප්ත කියා හඳුන්වන්න ඇතැයි සිතන්න පුළුවන්. එංගලන්තයෙන් ඇමරිකාවට ඕස්ට්රේලියාවට නවසීලන්තයට ගොස් ඒ රටවල ප්‍රදේශ එංගලන්තයේ නගර හා ප්‍රාන්ත නම්වලින් නම් කරල තියෙනවා.  තාම්රලිප්ත තම්බපණ්නි වූ බවට කතාවක් අප අතර තියෙන බව අමතක නොකළ යුතුයි. 

විජය හා පැමිණි පිරිස මෙරට වැසියන් ආදිබාසීන් ලෙස හඳුන්වා තිබෙනවා. වංගයන් මෙරට වැසියන් ආදිබාසීන් ලෙස හඳුන්වනවා. මේ ආදිබාසි කියන්නේ ආදිවාසි යන්නට. වංග කතාවේ මෙරට හිටියේ අමනුෂ්‍යයන් කියා කියන්නේ නැහැ. එහෙත් වංග කතාව තරමක් ඉංගිරිසින් ඇමරිකාවේ සිටි ජනතාව ආදිවාසී කියා හැඳින්වීම සමග සමපාත වෙනවා. එමෙන් ම වංගයන් ලංකාව බෙංගාලයේ කොටසක් බවට පත් කර ගෙන! වංගයෙන් හා කාලිංගයෙන් මෙහි පැමිණි විජය හා පිරිස එන්න ඇත්තේ ඒ ප්‍රදේශ ආර්ය සංස්කෘතියට හසු වූ පසුව බව පැහැදිලියි. ඒ ආර්ය සංකල්ප අනුව වෙන්න ඕන ඔය ආදිවාසි කතාව හා ලංකාව බෙංගාලයේ කොටසක් වූ බවට ඇති කතාව කියන්නෙ.

වංග කතාවේ කුවේණි නැහැ. විජය ඇවිත් තිබෙන්නේ ඔහුගේ භාර්යාව සමග. ඇය මෙරට රැජන (රාණි) වුණා ද? අපේ කතාවේ විජය පසුව පාණ්ඩ්‍ය කුමාරිකාවක් ගෙන්වා ගන්නවා. වංග කතාවේ මෙරට වැසියන් විජයට ආරාධනය කර තිබෙනවා රටේ රජු වන ලෙස. වංගයන් විජය අප රට වැසියන් යටත් කර ගත්තේ යැයි කියන්නේ නැහැ. අප ම තමයි ඔහු රජකමට පත්කර ගෙන තියෙන්නෙ. 

කෙසේ වෙතත් වංග කතාවෙන් කියන්නේ විජයගේ පිරිස මෙරට වැසියන් සමග සහජීවනයෙන් සිටි බවයි. එහෙත් එසේ වී නැති බව පකුණ්ඩකගේ හෙවත් පණ්ඩුකාභයගේ කතාවෙන් පැහැදිලි වෙනවා. වංගයන් අප රට තමන්ගේ රටේ කොටසක් ලෙස එකල සලකන්න ඇති. එහෙත් කල් යෑමේ දී ඒ කොටස් කතාවට වැදගත් තැනක් ලැබී නැහැ. එහෙම නැත්නම් මෙරට වැසියන් පකුණ්ඩකලාගේ නායකත්වයෙන් වංගයෙන් නිදහස් වෙන්න ඇති. පකුණ්ඩක තම මාමලා ඝාතනය කිරීමෙන් වංගයන්ට තිබූ ඊනියා අයිතිය නැති කරලා. එහෙත් වංග සංස්කෘතික බලපෑම් ඉතිරි වෙලා. 

මේ කතාව හා තවත් කතා බෙංගාලයේ ඇති. අප ඒ ගැන එතරම් අධ්‍යයනයක් කරල නැහැ. ඉතිහාසයේ ප්‍රවාද ගොඩ නැගීමේ දී එනම් කතන්දර හැදීමේ දී ජනප්‍රවාද ද වැදගත් වෙනවා. ජනප්‍රවාදවලට විවිධ දේ එකතු වෙලා ඇති. ඒ වගේ ම විවිධ දේ ජනප්‍රවාදවලින් ඉවත් වෙන්නත් ඇති. මේ ජනප්‍රවාද අධ්‍යයන කරල මහාවංසයත් එක්ක සංසන්දනය කරලා අපට ඉතිහාසය නිර්මාණය කර ගන්න පුළුවන්. ඉතිහාසයත් නිර්මාණයක් බව කියන්න පශ්චාත්නූතනවාදියකු වීමට අවශ්‍ය නැහැ. සෑම දෙයක් ම අපේ නිර්මාණ. අපේ සංස්කරණ. අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාබෝධ නොවීම නිසා එකතු කෙරෙන සංස්කාර. අපේ වංග සම්බන්ධයවත් යක්‍ෂ නාග දේව සම්බන්ධයවත් නැති කරන්න බැහැ. 

පකුණ්ඩක හෙවත් පණ්ඩුකාභය සිංහයන් පරාජය කළත් සංස්කෘතික සම්බන්ධකම් නැති කෙළේ නැහැ. එවා නැති කරන්නත් බැහැ. අපට වංගයෙන් හිමි වූ ආර්ය සංස්කෘතික සම්බන්ධකම් පසුව තවත් තරවුණා. අශෝක රජුටත් ආර්ය බලපෑම් තිබුණා. අපට දේවානම්පිය තිස්ස රජු දවස අශෝක බලපෑම ඇති වුණා. අපට ලැබුණේ අශෝක බුද්ධාගම. පසු කලෙක ආන්ද්‍ර ථෙරවාදී අදහස් ද හතරවැනි සියවසෙන් පමණ පසු ලැබුණා. අපේ උගතුන්ට සිංහලට වඩා පාලි වැදගත් වුණා. මේ ඉතිහාසය සංකීර්ණ බව පමණක් කියා කතාව අදට නතර කරමු.