History

Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.


ඒ ගැන මට ඇති වූයේ කණාගාටුවක්. ඔහුට ලාඕසයෙන් චතුස්කෝටිකය ගැන හොඳ දැනීමක් ලැබී නැහැ. ශූන්‍යය ගැන මා මට මතක හැටියට අවුරුදු විසිපහක් පමණ කතා කර තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යනට ඒ පිළිබඳ මා දේශනත් පවත්වා තියෙනවා. ඒ මට ගණිතය ඉගැන්වීමට වෙන් කර තිබූ දේශනවල බවත් කිව යුතුයි. ජී එල් පීරිස් මගෙන් ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද යනුවෙන් ඇසුවේ එවැනි දේ ඉගැන්වීම සම්බන්ධයෙනුයි. රෝම ලන්දේසි නීතිය ඉගැන්වු ඔහුට ශූන්‍යය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔහුට අංකගණිතයත් තරමක් අමාරුයි. 

ශූන්‍යය සඳහා සංකේතයක් නිපදවූයේ කවුද යන්නට මගේ හිතේ කොණක අදහසක් නොතිබුණා නො වෙයි. ශූන්‍යය ලිවීමට සංකේතයක් නිපදවිය හැක්කේ තර්කානුසාරි (logical) භාෂාවක් ඇති එමෙන් ම නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව පිළිබඳ දැනුමක් තිබූ සංස්කෘතියකට පමණයි. එකල ඉලක්කම් (සංඛ්‍යාංක) ලියුවේ භාෂාවේ අකුරු යොදා ගනිමින්. තර්කානුසාරී භාෂාවක් අවශ්‍ය වන්නේ එබැවිනුයි.

බටහිර රටවලට දැනට සියවස් කිහිපයකට පෙර ශූන්‍යය හඳුන්වා දුන් අවස්ථාවේ ඔවුන් (උගතුන්) අසා ඇති ප්‍රශ්නයක් නම් මොකවත් නැත්නම් ඒ හැඳින්වීමට මොකවත් තියෙන්නෙ කොහොම ද යන්නයි. මොකවත් නැත්නම් මොකවත් මොකට ද යනුවෙනුත් ඒ ප්‍රශ්නය අසන්න පුළුවන්. බටහිරයන්ගේ සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ ද්විකෝටික න්‍යාය මත. එහි මොකවත් නැත්නම් මොකවත් තියෙන්න බැහැ. 

එහෙත් චතුස්කෝටික න්‍යායට අනුව මොකවත් නැත් ද යන ප්‍රශ්නයට ඔව් හා නැහැ යන පිළිතුරු දෙක ම දෙන්න පුළුවන්. මොකවත් නැති වුණත් මොකවත් තියෙන්න පුළුවන්. මා මගේ නෑයෙක් ද යන ප්‍රශ්නයටත් නොනෑයෙක් ද යන ප්‍රශ්නයටත් පිළිතුර නැත වෙන්න පුළුවන්. දන්නේ නැතිනම් දේවානම්පිය තිස්ස රජුගෙන් අසන්න. අපට චතුස්කෝටිකය ඇඟේ තියෙන දෙයක්. අප ගෙදරකට ගොස් කියනවා නිකම් ආවා කියා. නිකම් ආවා කීවාට ගිහින් තියෙන්නෙ නිකම්මත් නො වෙයි. සුද්දාවාසවලට (සුද්දන් වාසය කරන ගෙවල්) නිකම් යන්න පුළුවන් ද? 

නාගර්ජුනපාදයන් ශුන්‍යතාව යන සංකල්පය නිර්මාණය කෙළේ දෙවැනි සියවසේ. ලංකාවේ අභයගිරිය නාගර්ජුනපාදයන් සමග සම්බන්ධකම් පවත්වා තියෙනවා. නාගර්ජුනපාදයන්ගේ ප්‍රධාන අනුගාමිකයා ලංකාවෙන් ගිය අරියදේව හාමුදුරුවන්. ශූන්‍යතාව බුදුදහම සම්බන්ධයෙන් ගත් කල නිවැරදි සංකල්පයක් කියා මා හිතන්නේ නැහැ. බුදුන්වහන්සේ ශූන්‍යය ගැන දේශනා කර තිබෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත ශූන්‍යය යනුවෙන් සමහර තැන්වල සඳහන් වෙනවා. එහෙත් ඒ එකක්වත් නාමපද නොවෙයි. ශූන්‍යය ශූන්‍යතාව යනුවෙන් නාම පදයක් බවට පත් කිරීම වරදක් බව මගේ හැඟීමයි. 

එහෙත් ශූන්‍යතාව යන නාමපදය ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කර ගැනීමට උපකාරි වී තිබනවා. මොකක්වත් නැති වුණත් නාම පදයක් ලෙස ශූන්‍යතාවක් තියෙනවා. මේ අදහස වැදගත්. ඒ චතුස්කෝටිකයෙන් ලැබෙන්නක්. නාගර්ජුනපාදයන් වැඩ විසූ ආන්ද්‍ර ප්‍රදේශය හා ලංකාව අතර සම්බන්ධකම් තිබුණා. සිංහලයන් පැහැදිලිව ම චතුස්කෝටිකයත් ශූන්‍යතාවත් දැන හිටියා. ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය විය හැක්කේ ලංකාවෙන් හෝ ආන්ද්‍ර ප්‍රදේශයෙන් හෝ යන හැඟීම මගේ සිතේ තිබුණා. 

මා ඊනියා රිසර්ච් (research) කරන්නකු නො වෙයි. රිසර්ච් යන්නෙහි තේරුම නැවත සෙචීම යන්නයි. මට එවැනි හැකියාවක් නැහැ. එබැවින් මා ශූන්‍යය ගැන සොයන්න ගියේ නැහැ. එහෙත් ඇක්සල් පිළිබඳ ලිපි පළවීමෙන් පසු මට කොළඹ විශ්විද්‍යාලයේ හර්ෂ විජේගුණවර්ධන පැරණි සිංහල ඉලක්කම් පිළිබඳ සොයා ඇති බව තමළු පියදිගම දන්වා සිටියා. තමළු මට හර්ෂ ලියූ පත්‍රිකාවක් ද එවා තිබුණා. හර්ෂ තමාට පෙර සිංහල ඉලක්කම් ගැන ලියූ මැන්දිස් ගුණසේකර, පී ද එස් කුලරත්න ආදීන් ගැන එහි සඳහන් කර තිබුණා. වැලිකල නමැත්තකු ද පැරණි සිංහල ඉලක්කම් ගැන ලියා තියෙනවා. මට ඒ බව කීවේ අනුරුද්ධ හේරත්. 

පැරණි සිංහල ඉලක්කම් වර්ග කිහිපයක් තිබී තියෙනවා. අපට මෙහි දී වැදගත් වන්නේ ලිත් ඉලක්කම්. මේ ලිත් ඉලක්කම් ලංකාවට පමණක් ආවේණික වූ බවයි හර්ෂ කියන්නේ. ලිත් ඉලක්කම් නකත් සතර සම්බන්ධයි. නකත් සතර කියන්නේ සංස්කෘත නක්‍ෂත්‍රය සිංහල කිරීමක් නොවෙයි. නක්‍ෂත්‍රයට සංස්කෘත නිරුක්ති නැති බව ඉඳුරාගාරේ හිමියන් මා සමග කලකට පෙර පැවසුවා. අපේ අස්විද බෙරණ කැති ආදී නැකැත් (නකත්) සිංහල. ඒවා සංස්කෘතකරණයට ලක් කිරීමෙන් භාරතීය නැකැත් සඳහා නම් දී තිබෙනවා. අපේ අනුර නැකත එහි අනුරාධා වෙලා. ඔවුන් කියනවා ඒ රාධා අනුව යන්නී කියා!  අනුරාධාලා ක්‍රිෂ්ණ පසුපස රාධා අනුව ගිය අය! අනෙකුත් නැකතුත් එහෙමයි. අපට සිංහල අවුරුද්ද ලබන්නේ සූර්යයා රේවති නැකතින් අස්විද නැකතට යන දවසේ (පඬියන් නම් කියන්නේ සූර්යයා යන්නේ නැහැ කියා). මේ මීනයෙන් මේෂයට යෑම අප අනුකාරකත්වයට පත්වීමෙන් පසු ලබා ගත්තක්. 

ලිත් ඉලක්කම්වල ශූන්‍යය සඳහා යෙදා ගෙන තියෙන්නේ හල් කිරීම (් ). සිංහල අකුරු තර්කානුසාරීයි ඒ ගැන වෙන ම ලිපියක් ලියන්න ඕන. ශූන්‍යය සඳහා හල් කිරීම යොදා ගෙන ඇත්තේ ඇයි? සිංහලයේ ස්වර හා ව්‍යංජන තියෙනවා. අ ආ ඇ ඈ ආදිය ස්වරයි. ඇ ඈ පසුව එකතු වී ඇති ස්වර බව කියැවෙනවා. ඒවා කලින් තිබී  ව්‍යවහාරයෙන් ඈත් වී පසුව නැවතත් එකතු වූවා ද යන්න සොයා බලන්නන්ට (researchers) හොඳ ව්‍යාපෘතියක් වේවි. ඇ ඈ නැතිව හෝඩියට පන්සල් හෝඩිය කියා කියැවිලා තියෙනවා. පන්සලෙන් ඇ ඈ ඈත් කළා ද? 

ඒ කොහොම වුණත් ක අකුර සෑදෙන්නේ ක් හා අ එකතුවීමෙන්. ක්+අ=ක . දැන් ක් ශබ්ද කරන්න. හරක් කියන තැන වගේ නොවෙයි. ක් තනියම ගෙන ශබ්ද කරන්න. ශබ්ද කරන්න බැහැ. ඒත් ශබ්දයක් තියෙනවා. ශබ්දයක් නැහැ එහෙත් ශබ්දයක් තියෙනවා. මොකක්වත් නැහැ මොකක්වත් තියෙනවා. හල් කිරීම (්) හා ශූන්‍යය අතර සම්බන්ධය දැන් තේරෙන්න ඕන. පැරණි සිංහලයන් ශූන්‍යය හැඳින්වීම සඳහා හල් කිරීම යොදා ගැනීම ඔවුන්ගේ බුද්ධිය පළ කරන්නක්. මෙය මගේ හිතළුවක්. මගේ කතන්දරයක්. 

ලිත් ඉලක්ම්වල 1 ලියා ඇත්තේ ෙ ලෙස. එවිට දහය ලියන්නේ ෙ ් ලෙස. කොම්බුව හල් කරලා. 2 ලියා ඇත්තේ න හෝ ණ හෝ ලෙස. විස්ස ලියන්නේ ණ් හෝ න් ලෙස. 21 ලියන්නේ ණ ෙ ලෙස. මෙලෙස ලිවීමට ස්ථාන අගය ගැනත් වැටහීමක් තියෙන්න ඕන. 12 ලියන්නෙ ණෙ ලෙස. සිංහල අකුරුවල ස්ථානගත අගය තියෙනවා. පිලි යෙදීම ඉතාමත් තර්කානුසාරීයි. කෙ, කො, කි, කී ආදියෙහි පිළිවෙළක් තියෙනවා. අප කෙ යන්න ක ෙ ලෙස ලියන්නේ නැහැ. කෝ යන්න ේකා ලෙසවත් ෙ ක ා ් යොදා වෙනත් ආකාරයකින්වත් ලියන්නේ නැහැ.

ලිත් ඉලක්කම් තුන් වර්ගයක්වත් තිබූ බව හර්ෂ කියනවා. ඔහු තවත් වැදගත් කාරණයක් කියනවා. හල් කිරීම සහිත ශූන්‍යය දැක්වෙන සංකේතයක් සීගිරියේ තියෙන බවත් එය පස්වැනි සියවසේ ලියුවක් ලෙස කියන්න පුළුවන් බවත්. එය එහෙම නම් පැරණිම ශූන්‍යය ඇත්තේ ලංකාවේ. 

හල් කිරීමත් ඉතාමත් තර්කානුසාරීයි. අප ක ග ජ ආදී අකුරු හල් කරන්නේ ක් ග් ජ් ආදී වශයෙන්. ට ම ඩ ආදී අකුරු හල් කරන්නේ ට් ම් ඩ් ආදීි වශයෙන්. මෙහි දෙආකාරයක් නැහැ. ට යන්නට වමෙන් හල් කිරීම යොදා අර ගැටය පහත් කළොත් ට් ලැබෙනවා. යතුරු ලිවීමෙන් මේ කිසිවක් හරියට පැහැදිලි කරන්න බැහැ. මෙහි හල් කිරීමේ ගැටය නැහැ. ක ග ජ ආදී අකුරු අවසන් වන්නේ වමෙන් නො වෙයි. වමෙන් අවසන් වන ට ඩ ම ව වැනි අකුරු හල් කර (ගැටය සහිත ව) ගැටය පහතට ගෙනෙන්න. එවිට ට් ඩ් ම් ව් ලැබෙනවා. 

සිංහලයන් ශූන්‍යය  සඳහා හල් කිරීම යොදා ගත්තේ ඇයි ද යන්න මට නම් පැහැදිලියි. හර්ෂ සඳහන් කරනවා හතරවැනි සියවසෙන් පමණ පසු සිංහලයන් ඉලක්කම් (සංඛ්‍යාංක) යොදා ගනිමින් සංඛ්‍යා ලිවීම අත්හිටවා අකුරෙන් ම සියල්ල ලියූ බව. උදාහරණයක් වශයෙන් 102, ේණ යනුවෙන් නොලියා එකසිය දෙක යනුවෙන් ලියා ඇති බව. ලිත් ඉලක්ම්වලින් 1002 ලියන්නේ ෙ ්  ්ණ  ලෙස. 

සිංහලයන් හතරවැනි සියවස පමණ වන තෙක් හිතන බුද්ධිමතුන් බිහි කර ඇති බව පේනවා. එහෙත් ඉන්පසු යම් ඇණහිටීමක් සිදු වී තිබෙනවා. සිංහලයන් දිගට ම තම හිතීමේ හැකියාව තබා ගත්තේ නම් අවකලනය (differentiation) අපේ නිර්මාණයක් කර ගන්න තිබුණා. වෙනස වෙනස්වීම ආදිය අප දන්නවා. අවකලනයේ දී x y ආදී රාශි ශූන්‍යයට යන්නෙත් නැහැ නොයන්නෙත් නැහැ. නිව්ටන්ට හොඳ ඉවක් තිබුණා. එහෙත් පසුව පැමිණි බටහිර ගණිතඥයන් අවකලනය ද්විකෝටිකය තුළට ම ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණා. බටහිර ගණිතඥයන්ගේ සීමාව අර්ථදැක්වීම වත්මන් සිසුන්ගේ බසින් කියනවා නම් කිසිම රහක් නැති දෙයක්. 

හතරවැනි සියවසෙන් පමණ පසු සිංහලයන් හිතන්නේ නැති උගතුන් බිහිකිරීම ගැන මගේ ඇත්තේ කණගාටුවක්. මේ ලිපිය කියවන උගතුන් මට මාධ්‍යමිකවාදියා ආදී වශයෙන් පරිභව කරාවි. එහෙත් මා ශූන්‍යතාව හොඳ සංකල්පයක් වුවත් නිවන සම්බන්ධයෙන් නාගර්ජුනපාදයන් වැරදි බව කියනවා. ඒ ඊනියා උගතුන්ට බයේ නම් නො වෙයි. මා එසේ හිතන නිසා.