History

Tuesday, 9 July 2019

වත්මන් සිංහල උගත්තු

වත්මන් සිංහල උගත්තු



ඊයේ ලිපිය ලිවීම ගැන මා කණගාටුවෙනවා. සිංහලයන්ට තම සංකල්පීය නිර්මාණ ගැන අවබෝධයක් අභිමානයක් නැහැ. වැඩිම වුවහොත් සිංහලයන්ට තම ශිල්පීය දැනුම හා දක්‍ෂතා ගැන පමණක් අභිමානයක් ඇති. වැව් දාගැබ් පිළිම වහන්සේ   සුළු ආනතියක් සහිත ඇළ ආදිය ගැන අප නිතර කතා කරනවා. අපේ බුද්ධිමය සංකල්පීය හැකියාවන් ගැන කතා කරන්නේ දේවානම්පිය තිස්ස රජු මිහිඳු හිමියන්ට දුන් පිළිතුරු ගැනයි. 


එහෙත් එහි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ සංකල්පීය හැකියාව කුමක් දැයි විශ්ලේෂණය නොකිරීම. දෙවනුව එයට බුදුදහම සම්බන්ධ ද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් නොමැති වීම. ඇතැමුන් කියන්නේ මිහිඳු හිමියන් මෙරටට වැඩම කරන විටත් මෙරට බෞද්ධයන් හිටි බවත් දේවානම්පිය තිස්ස රජුට පිළිතුරු දීමට හැකියාවක් ලැබුණේ බුදුදහමේ ආභාසය නිසා බවත්. එහෙත් මේ කිසිවකු ප්‍රශ්න විශ්ලේෂණය කරන්නේ නැහැ. අඹ ගස් ප්‍රශ්න මාලාව හා නැදෑයන් ප්‍රශ්න මාලාවේ ඇති වෙනස කියන්නේ නැහැ. හැමෝම දේවානම්පිය තිස්ස රජුගේ බුද්ධි මහිමය කුමක් දැයි නොකියා , නොදැන ඒ ගැන උදම් වෙනවා.

අවුරුදු තිස්පහකට පමණ පෙර මේ ප්‍රශ්න මා කොළඹ විශ්වවිිද්‍යාලයේ දේශනවල සාකච්ඡා කර තිබෙනවා. ඒ ගැන පළමු ලිපිය පළ කෙළේ 1988 දී. ඉන් පසු එය වර්ධනය කර තවත් ලිපි ලියා තිබෙනවා. එහෙත් ඒ කිසිවක් තවමත් සමාජගත වී නැහැ. මා තවමත් සමහරවිට පන්සලකට ගොස් දේවානම්පිය තිස්සේ රජුගේ බුද්ධිය ගැන කියනු අසා සිටිනවා. එවැනි තත්වයක් යටතේ ඊයේ ලිපිය ලිවීම මෝඩකමක් ලෙස මට දැන් වැටහෙනවා. 

මිහිඳු හිමියන්ගේ ප්‍රශ්නවලත් චතුස්කෝටික න්‍යාය ගැබ් වී තිබෙනවා. චතුස්කෝටිකය බෞද්ධ න්‍යායක් ලෙස කිවුව ද එය බුදුන් වහන්සේට පෙරත් ලෝකයේ තිබුණා. බුදුන් වහන්සේ නිවන සම්මාබෝධය සඳහා චතුස්කෝටිකය ද බැහැර කළ යුතු බව දේශනා කර තිබෙනවා. එහෙත් නිවනට මෙහා බොහෝ දේ චතුස්කෝටිකයෙන් විස්තර කරන්න පුළුවන්. දේවානම්පිය තිස්ස රජුගේ පිළිතුරුත් ඒ සඳහා උදාහරණයක්. 

ඊයේ මට අවශ්‍ය වූයේ සිංහලයන්ට තමන්ට අහිමි ගෞරවයක් ලබා දීම නො වෙයි. ශූන්‍යය සඳහා සංකේතයක් පළමු වරට නිර්මාණය කෙළේ කවුද යන්න සාකච්ඡා කිරීමයි. ඇතැමුන් හිතුවේ මා ශූන්‍යතාව ගැන කියනවා කියා. ශූන්‍යතාව යන්න වැරදි සංකල්පයක්. අද ඇතැම් උගත් යැයි කියන බෞද්ධයනට ශූන්‍යතාව වැදගත් ඇති. මට නම් බෞද්ධයකු ලෙස එහි ඇති වැදගත්කමක් නැහැ. මා හිතන්නේ ඉන් නිවන් සම්මාබෝධයට බාධාවක් වන බවයි. නාගර්ජුනපාදයන් ශූන්‍ය යන්න ශූන්‍යතාව ලෙස නාම පදයක් බවට පත් කිරීමෙන් කර ඇත්තේ වරදක්. 

එහෙත් ශූන්‍යතාව නාම පදයක් ලෙස ගත් කල ශූන්‍යයට සංකේතයක් නිර්මාණය කිරීමේ දී වැදගත් වෙනවා. ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට ශුන්‍යතාව ගැන අවබෝධයක් මෙන් ම චතුස්කෝටිකය ගැන ද දැනුමක් අවශ්‍ය වෙනවා. එයට අමතරව තර්කානුසාරී භාෂාවක් ද අවශ්‍ය වෙනවා. භාෂාව කෙසේ වෙතත් එකී  දැනුම ආන්ද්‍ර ප්‍රදේශ බෞද්ධයනට හා සිංහල බෞද්ධයනට දෙවැනි සියවසෙන් පසුව තිබුණා. මා තෙළිඟු භාෂාව දන්නේ නැහැ. එහෙත් මගේ සිංහල දැනුම අනුව නම් සිංහල තර්කානුසාරී භාෂාවක්. සිංහලයන්ට ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා.

එකල මෙකල මෙන් බටහිර දැනුම ඇසුරෙන් මුසපත් වූ (දැනුම නිසා නොව නොදැනුම හේතු කොට) පඬියන් නොසිටීම සිංහලයන්ගේ වාසනාවක් වුණා. ශූන්‍යය හා හල් කිරීම අතර සම්බන්ධයක් තිබෙන බව මා ඊයේ පැහැදිලි කළා. සිංහලයන් ශූන්‍ය සඳහා හල් කිරීම භාවිතා කෙළේ ඒ නිසා ය යනු මගේ හිතළුවයි. හල් කිරීම තරමක සංකීර්ණ සංකේතයක්. හල් කිරීමෙන් පසුව වෙනත් භාෂාවක . (තිත) යන සංකේතය යොදා ගන්න ඇති. එයටත් පසුව 0 යන්න යොදා ගන්න ඇති. ඒ විකාශය අනෙක් පැත්තට සිදුවන්න බැහැ. ඒ කියන්නේ 0 න් . ත් ඉන් හල් කිරීමත් සිදුවන්න බැහැ.

මගේ විශ්වාසය සිංහලයන් පළමු වරට ූශන්‍ය සඳහා සංකේතයක් නිර්මාණය කළ බවයි. එහෙත් ඊයේ ලිපියෙන් එහි වැදගත්කම සමාජයට ගොස් නැහැ. ඇතැමුන් මා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. බටහිර උගතුන් මා නාථ දෙවියන් හා වෙනත් දෙවියන් සමග ආධ්‍යාත්මික ව සම්බන්ධ වීම් ගැන කියනවාට කැමති නැහැ. ඔවුන් හිතන්නේ පංචෙන්ද්‍රියගෝචර දේ පමණක් ඊනියා ඇත්ත කියා. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය පංචෙන්ද්‍රිය ගෝචර  නොවීත් ඔවුන්ගේ විශ්වාසයට පාත්‍ර වෙනවා. බටහිර වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය මොන පුරසාරම් දෙඩුවත් අවුරුදු ගණනාවකට පසුවත් කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව දන්නේ නැහැ. 

බටහිර උගතුන් සුපුරුදු පරිදි මූලාශ්‍ර ඉල්ලනවා. යමකුට මූලාශ්‍ර අවශ්‍ය ම නම් කළ යුත්තේ මා සඳහන් කර ඇති කතුවරුන්ගේ පොතපත කියවීමයි. මා විශේෂයෙන් මූලාශ්‍ර දෙන්නේ නැහැ. මූලාශ්‍ර දුන් පමණින් ඒ මුලාශ්‍ර ගෑන විශ්වාසයක් ඇති වෙනවා ද? ඔය ගූගල් පඬියන්ට හර්ෂගේ නම ගූගලයට යොමු කිරීමෙන් අවශ්‍ය නම් ඔහුගේ පත්‍රිකාව ලබා ගැනීමට හැකි වේවි. එහෙත් ඔවුන් එසේ නොකර මගෙන් මූලාශ්‍ර ඉල්ලනවා. 

මෙරට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඊනියා ශාස්ත්‍රීය බුද්ධිමතුන් ලෙස පෙනී සිටියත් ඔවුන් වැඩම වුණොත් ශිල්පීන්. හතරවැනි සියවසෙන් පමණ පසුව අපේ ශාස්ත්‍රීය පුහුණුව විනාශ කෙරිලා. එය නැවත ඇති කිරීම පහසු නැති බව මගේ අවුරුදු තිස්පහක පමණ අත්දැකීමයි. ඉංගිරිසින්ගෙන් පසුව මෙරට ඉන්නේ වඳ අනුකාරකයන් අහිනක් පමණයි. ඔවුන් උගතුන් ලෙස පෙනී සිටින්නේ ඉංගිරිසින්ගේ ආධාරයෙන්. ඉංගිරිසින් දන්නවා මේ උගතුන් ලෙස පෙනී සිටින අප්‍රබුද්ධයන්ට සමාජ වැදගත්කමක් ලබා දීමට. ඉංගිරිසින් අනුමත නොකරන සංකල්පයක් දැනුමක් සමාජ ගත කිරීමට වෑයම් කිරීම සිය දිවි නසා ගැනීමක්. 

හර්ෂ කියන්නේ පස්වැනි සියවසේ සීගිරියේ හල් කිරීම ශූන්‍ය සඳහා සංකේතයක් ලෙස යොදා ගෙන ඇති බවයි. මා නම් විශ්වාස කරන්නේ එයට පෙර ද සිංහලයන් හල් කිරීම ශූන්‍යය සඳහා යොදා ගන්න ඇති බවයි. ඉන්දියාවේ හෝ බටහිර හෝ අනුකාරකයන් නොවී පුරාවිද්‍යාව ගැන උනන්දුවක් දක්වන්නන්ට ඒ ගැන හොයන්න පුළුවන්.