History

Saturday, 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 


රනිල්, බොහෝ මාක්ස්වාදීන් දෙමළ ජාතිවාදීන් ඇතුළු සිංහල විරෝධීන් අභිලාෂය අභිමානය වගේ වචන යොදා ගන්න පටන් ගත්තේ දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් දැයි ඇසීමෙන් පසුවයි. අද වන තුරුත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී නැහැ. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අවුරුදු විසිපහකටත් වැඩි කාලයක් ප්‍රශ්නයට පිළිතුරු හොයනවා. 

උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් නොව අනෙක් පළාත්වලටත් පළාත් සභා ලැබුණා. අද පළාත් සභා ක්‍රියාත්මක නැහැ. එහෙත්  පළාත් නවයෙහි ම වැඩ කටයුතු කෙරී ගෙන යනවා. අද පළාත් සභා යනු පාර්ලිමේන්තුවට යෑමට බලා සිටින්නන් පුහුණු කෙරෙන ආයතන පමණයි. පළාත් සභා නැතිවත් රටේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. 

ඉන්දියාව මධ්‍යම ආණ්ඩුවට තබාගත් බලතල දහතුනෙන් අපට දුන්නේ නැහැ. දහතුන ඉන්දු ලංකා ගිවිසුම මත පදනම් වුණා. ඉන්දියාව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හින්දු, මුස්ලිම් හා බෞද්ධ යනුවෙන් තුනට කඩා ඒ කොටස් තුන ම මධ්‍යම ආණ්ඩුවේ පාලනයට යටත් කරලා. ලංකාවේ නැගෙනහිර පළාතටත් එසේ කරමු ද? මෙරට මධ්‍යම ආණ්ඩුවක් නැති වන්න පුළුවන්. අර කල්මුණේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රශ්නය විසඳා ගත්ත ද? 

ගාමිණී දිසානායක ඉන්දු ලංකා ගිවිසුම කෙටුම්පත් කර සිංහලයන් පාවා දීමට කටයුතු කළ අයෙක්. ඔහුගේ පුතා නවීන් දිසානායක දහතුන දෙන්න කතා කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙත් අපේ කඳවුරේ අය දහතුන ගැන කතාව නැවතත් පටන් ගන්නවා නම් එය ප්‍රශ්නයක්. දහතුනක් මේ රටට අවශ්‍ය නැහැ. 13+ ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ. 

මෙරට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන මහින්දට ගෝඨාභයට මෙන් ම සරත් ෆොන්සේකාටත් අප කෘතඥ වෙන්න ඕන. ඒ තුන් දෙනා පමණක් නොව මෛත්‍රිපාල ද අද එකතු වෙන්න ඕන. ඒ සියල්ලන්ට යම් ජාතිකත්වයක් තියෙනවා. එහෙත් බද්‍යුද්දීන්ට හා හකීම්ට ඇති ජාතිකත්වය කුමක් ද? බද්‍යුද්දීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි පොලීසිය තීරණය කරලා තියෙනවා. පොලීසිය අධිකරණයක් නො වෙයි. ජනතාවට  ඒ නිදහස් කිරීම ගැන සැකයක් තියෙනවා. බද්‍යුද්දීන් පමණක් නොවෙයි හිස්බුල්ලා හකීම් අසාද් සාලි ආදීන් ද ඇතැම් මෞලවීන් ද මුල දී මුස්ලිම් අන්තවාදීන් ආරක්‍ෂා කරන්න කටයුතු කළා. අර පල්ලිවල කඩු තියෙන්නෙ තණ කපන්න යැයි කී අය කවුද කියා මතක ද? 

හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කරන්න එපා කියන්නෙ මුස්ලිම් ඡන්ද බලාපොරොත්තුවෙන් නම් ඒ මිථ්‍යාවක්. ඔවුන් ඡන්දය දෙන්නේ දිනන පැත්තට. ඔවුන්ගේ ඡන්දයෙන් දිනන්නේ නැහැ. දිනන පැත්තට ඡන්දය දෙන මුස්ලිම් අන්තවාදී නායකයන් කියන්නේ දිනුවේ ඔවුන්ගේ ඡන්දය නිසා කියායි. මෙරට මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය 9ක් පමණයි. ඉන් වැඩිම වුවහොත් 30%ක් ජාතික හා වාම කඳවුරට ඡන්දය දේවි. ඒ කියන්නේ මුළු ඡන්දවලින් ඒ කඳවුරට ලැබෙන ඡන්ද ප්‍රතිශතය 3කට අඩුයි. මෛත්‍රිපාලට තවමත් එයට වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. පළමුව කළ යුත්තේ මෛත්‍රිපාල ප්‍රමුඛ ශ්‍රී ල නි ප කඳවුරට එකතු කර ගැනීමයි. 

ජාතික හා වාම කඳවුරේ සංධානය ජාතික ප්‍රතිපත්ති මාලාවක් මත වහාම ඇති කර ගන්න ඕන. ඒ ප්‍රතිපත්ති අතර සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම, ඒකීය රාජ්‍යය සුරැකීම, ජාතිවාදී ත්‍රස්තවාද හා අන්තවාද නැත්තට ම නැති කිරීම, උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන සුරැකීම, භික්‍ෂූන් වහන්සේට මෙරට හිමි තැන ලබා දීම, සිංහල වෙදකම වර්ධනය කිරීම හා ආරක්‍ෂා කිරීම, සිංහල කෘෂිකර්මය නගා සිටුවීම, නැවතත් ගෞරවනීය ගුරු සේවයක් ඇති කිරීම, දේශීය කර්මාන්ත නගා සිටුවා කම්කරුවන්ට සුදුසු ජීවන තත්වයක් ලබා දීම, රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීම ආදිය විය යුතුයි. සඟ වෙද ගුරු ගොවි කම්කරු හා රණවිරු යන්න හුදෙක් සටන් පාඨයක් පමණක් නොවිය යුතුයි. පනස්හයෙන් පසු සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගයට සිදු වූයේ කුමක් ද?  

අප මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. මුස්ලිම් ඡන්ද ලබා ගත යුත්තේ මුස්ලිම් ජනයාට සෘජුව කතා කිරීමෙන් මිස නායකයන් සමග ගණු දෙනු (ඩීල්) කිරීමෙන් නො වෙයි. ගෝඨාභය  එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී ජාතියට ම ප්‍රතිඥාවක් දුන්නා. ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක හෝ පුද්ගලයකුගේ හෝ අපේක්‍ෂකයෙක් නො වෙයි. ජාතියට ම ප්‍රතිඥාවක් දීමෙන් පසු අතන මෙතන ප්‍රතිඥා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

ගෝඨාභය ප්‍රතිඥා දුන්නේ මෙරට ලෝකයේ ම සුරක්‍ෂිත රට බවට පත් කරන බවටයි. රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව තමන් භාර ගන්නා බවත් රටේ ස්වෛරිභාවය හමුවේ තමන් කිසිම බලවතකුට නොනැමෙන බවත් සියළු ත්‍රස්තවාද පරාජය කරන බවත් ඔහු දැඩි ලෙස කියා සිටියා. මා හිතන්නේ නැහැ තවත් ප්‍රතිඥාවක් අවශ්‍ය කියා. අනෙක් අතට කිසිවකු කාට නියේග දුන්නත් ගෝඨාභයට නියෝග දෙන්න බැහැ. ඔහු පක්‍ෂයක නොව ජාතියේ අපේක්‍ෂකයා.

අද පනස්හයේත් නැති තරමට භික්‍ෂූන් වහන්සේ ජාතික හා වාම කඳවුර වටා එක්වෙලා. සිංහලයන් සියල්ලන් ම පාහේ ගෝඨාභය වැළඳ ගන්නවා. අද සිංහල පමණක් දන්නවුන් නූගතුන් ලෙස සලකන ස්මාට් ජාතිකවාදීන් කෙසේ කීවත් සිංහල බෞද්ධයන්ගෙන් හා සිංහල කතෝලිකයන්ගෙන් අති විශාල බහුතරය ගෝඨාභය තම අපේක්‍ෂකයා ලෙස පිළිගන්නවා. පනස්හයේ ම එ පෙරමුණටවත් එතරම් පක්‍ෂපාතීත්වයක් තිබුණේ නැහැ. සිංහල ඡන්ද හරි මැදින් ප්‍රධාන පක්‍ෂ වටා බෙදී ඇතැයි කීම බොරුවක්. සිංහලයන්ගෙන් තුනෙන් දෙකකට වඩා ගෝඨාභයට පක්‍ෂයි. දෙමළ කතාකරන ජනයාත් මුස්ලිම් ජනයාත් යම් ප්‍රමාණයක් ඔහුට ඡන්දය දෙනවා. අප ඒ ඡන්ද ලබා ගත යුත්තේ නායකයන්ට කප්පන් ගෙවීමෙන් නො වෙයි.

අද කිසිවකුවත් සිංහලයන්ගේ උද්‍යොගය නැතිවන  අන්දමේ නියෝග දිය යුතු නැහැ. පක්‍ෂයක නැති අය ඒ නියෝග පිළිපදින්නෙත් නැහැ. මෙරට සිංහලයන්ගෙන් පක්‍ෂවලට බැඳී ඇත්තේ කී දෙනා ද? ගෝඨාභය කිසිම පක්‍ෂයක අපේක්‍ෂකයෙක් නො වෙයි. ඔහු ජාතික අපේක්‍ෂකයා.  ඔහු සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැහැදිලි ව කිව්වා උතුරට ඇති විශේෂ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා කියා. එහි ප්‍රධාන ම ප්‍රශ්නය ඇත්තේ ගොවීනට. දේශපාලනඥයන් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය යම් සංවර්ධනයක් (development). දේශපාලනඥයන්ට අවශ්‍ය බලය බෙදීම (devolution). 

අපි මේ වෙනස තේරුම් ගනිමු. අභිලාෂ අභිමාන ඇත්තේ දේශපාලනඥයන්ට මිස සාමාන්‍ය ජනතාවට නො වෙයි. දේශපාලනඥයන්ට අවශ්‍ය උතුරු හා නැගෙනහිර පළාත්වල ජනයා තම ආධිපත්‍යයටබ යටතට ගැනීම. ඒ බව ඒ ජනයාට පහදා දිය යුතුයි. ගෝඨාභයට ඒ කරන්න පුළුවන්.